ආගන්තුකයා තමන්ගේ පළවෙනි කතා මාලාව එලිදක්වන්න හැදුවා විතරයි "සුනාමියක් එනෝ.." කියලා පළවෙනි දුරකථන ඇමතුම ආවෙ "කවිකාරි" ගෙන්. (මතකද දන්නෙ නෑ).
"මල්ලී.. ටී.වී. බැලුවෙ නැද්ද? අන්න සුනාමියක් එනවා ලු. බුදුසරයි !"
"අහ්.. හා අක්කේ.. තෑන්ක්ස් ඈ.. බුදුසරණයි"
පස්සෙ එක දිගට කෝල් එන්න ගත්තා. ඒක අස්සේ අම්මා පැළ ටික උඩින් තියන්න ඕන කියලා ඒ වැඩ. තාත්තා ආච්චි අම්මා තනියෙම කියලා මහගෙදර. ඒක අස්සේ ආපු කෝල් වලට ආන්සර් කරනවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නෑ. වෙනදා ආසාවට රිංග් වෙන්නෙ නැති ෆෝන් එක අද පුදුම වදයක් දුන්නේ. ඒ මොනවා උනත් අද සුනාමියක් ආපු නැති එක නම් වාසනාවක් තමයි. ක්ෂිතිජ රේඛාව ලියන එක පොඩ්ඩකට කල් තියලා සුනාමිය ගැන ලියන්න හිතුවා.
මේ අවුරුද්දේ නෙවෙයි 2004 දෙසැම්බර් 26 වෙනි උදුවප් පෝය දවසේ ලංකාවට ඇවිත් දෙනෝදාහක් මුහුදට අරගෙන ගිය ඒ අදුරු දවස. මම ඒ කාලෙ 6 වසරේ. එදා උදේ පාන්දරම අපේ ගෙදර කට්ටියම කුස්සියේ එක් රැස් වෙලා. කට්ටිය එක එක වැඩ. පෝය දවසෙ නිසා ටිකක් නිස්කලංකයි. ඒත් එදා උදේ අමුතුම කාළකණ්නි බවක් පරිසරේ තිබ්බා. උදේ ඉදන් හැමෝම හරිම අලස ගතියක් පෙන්නුවා. අම්මා රෙදි වගයක් හෝදලා වැලට දාලා ඇවිත්. ඒ තිබ්බ අමුතු මූසල කළුවර නිසාම මමත් අම්මයි තාත්තයි එක්කම. අපේ බල්ලා උදේ ඉදන් ආගිය අතක් නෑ. අපි එදා තමයි උදේ යන්න හිටියේ ගාලු ටවුමට බඩු ගන්න. ඒත් අදහස කලින්ම වෙනස් උන නිසා කලින් දවසෙම දවල් 12 ට ටවුමට ගියා කවදාවත් නැතුව.
මේ ඔක්කොම අස්සෙ මිනිස්සු වගයක් පාරෙ දුවනවා අපිට පෙනුනා. ගාල්ල මාතර ප්‍රධාන පාර අපේ ගෙදර ඉස්සරහා. මීටර් 150 ක් විතර පිටිපස්සෙන් ගෙදර හදලා තියෙන්නෙ දූවිලි දුම වදින නිසා. එයින් එක මනුස්සයෙක් අපේ ගෙදර දිහාවට හැරුනේ පුරුද්දට වගේ. ඒ කාලෙ අපේ වත්ත පල්ලෙහාට ගොඩක් මිනිස්සු එනවා වතුර ගෙනියන්න අපේ ලිදෙන්. මේ එහෙම එන කෙනෙක්. මේ කෙනා හති දම දම දුවගෙන ආවේ,
"මහත්තයෝ.. බලං ඉන්න එපා.. අපි යමු.. මු..... මුහු.... මුහුද ගොඩගලනවා මහත්තයෝ.. යමු කන්දට.."
අපේ පවුලේ හැමෝම අන්දුන්කුන්දුන් වෙලා. අම්මාගෙ මූන වෙනස් වෙලා.. අර මනුස්සයා එහෙම කියාගෙන වත්ත පල්ලෙහාට දිවුවා. මේ අතරෙ අම්මා කලබල වෙයි කියලා හිතපු තාත්තා කිවුවේ,
"අහ්.. එහෙනම් මේ පාර බිලි දෙන්න වෙන්නෙ අපේ චන්ද්‍රිකා මැඩම්ව තමයි"
(විහාරමහා දේවි ව මුහුදට බිලි දුන්නා ලු නේ. ඒ කාලෙ හිටියේ චන්ද්‍රිකා මැඩම් නෙ. )
මොනවා උනත් එන්න එන්නම මිනිස්සු වැඩිවෙන්න ගත්තා. ඒ පාර නම් මේ කතාව විහිලුවකට ගත්ත තාත්තත් ටිකක් කලබල වෙලා ශර්ට් එකක් දාගෙන ඉස්සරහාට ගියා. පාර පුරා මිනිස්සු දුවනවා. ඒ පාර නම් වැඩේ බරපතලයි. පස්සේ තාත්තා ගෙදරට ඇවිත් කිවුවා,
"ඇත්ත තමයි මිනිස්සු දුවනවා. කෝකටත් බඩුමුට්ටු ටික උඩිං තියාගත්තොත් හොදයි. වතුර ටික ස්ලැබ් එක උඩට දාමු"
ඒ අදහස ක්‍රියාත්මක උනා. ඒ කාලෙ අපේ ගෙදර 1/4 යි හදලා තිබ්බේ. උඩ තට්ටුවය යන්න පඩිපෙලක්වත් තිබ්බෙ නෑ. ඉනිමගක් තියාගෙන ඕන කරන බඩුමුට්ටු ටික උඩ තට්ටුවට දාන්න පටන් ගත්තා. ඔන්න ඒත් එක්කම වත්ත පල්ලෙහා තිබුනු ඕලන්ද ඇලෙන් වතුර ටිකෙන් ටික වත්ත ඇතුලට එන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් උඩ තට්ටුවට ගෙනිච්ච මගේ බයිසිකලේ ආයෙත් බිමට බාන්න සිද්ධ උනා. කොහොම නමුත් මගේ බඩේ බාගයක් විතර උසට වතුර. බොහොම අමාරුවෙන් ඔක්කොම අය යටගල පන්සලට ගියා. එදා රෑ අපි ගත කරේ එහේ. මිනිස්සු එකිනෙකාට කොච්චර උදවු පදවු කරගන්නවාද කියලා එදා මට තේරුම් ගියා.
දුප්පත් පෝසත්, ලොකු පොඩි කියලා භේධයක් නෑ. එදා හැමෝම ආවෙ තමන් ඇදන් හිටි ඇදුම පිටින්. සමහරු අනුන්ගෙන් ණයට ඉල්ලගත්ත ඇදුමක් පිටින්. හැමෝම හිටියෙ එකම මරණ බයෙන්. හැමෝටම තිබ්බේ එකම පිහිට. හැමෝම වෙනුවෙන් හිටියෙ හැමෝම. හැමෝම කෑවේ එකම දේ. හැමෝම බිවුවේ එකම වතුර. හැමෝම නිදාගත්තේ පැදුරු එලාපු ධර්මශාලාවෙ. අනිත් දවසෙ උදෙන්ම අපි ගෙදර ගියා. ගෙදර බිත්ති වල ඉරිතැලිලා තිබ්බා යන්තම්. ගේ ඇතුලට වතුර නොඑන්න වැලි කොට්ට දාලායි තිබ්බේ. පැල නම් මැලවිලා තිබුනෙ.
ඒත් එක්කම අහන්න ලැබුනෙ "සුනාමිය වෙලාවෙ මාල කඩපු මිනිස්සු, හොරකම් කරපු මිනිස්සු, දාස් ගාණකට හයර් ගියපු මින්ස්සු" ගැන. ලොකුම ලොකු කළකිරීමක් ඇති උනා ඒ වෙලාවෙදි. ඒත් එක්කම අහන්න ලැබුනෙ නත්තල් දවසෙ හොදට කණමදයො වගේ බීලා දපනෙ දාලා දොයියං හිටි අය ඔක්කොම මුහුදට ගහං ගිහිං කියලා. ඒත් එක්කම ටෙලිෆෝන් කිසි දෙයක් වැඩකරන්නෙ නෑ. කරන්ට් එකත් නෑ. ටෝච් එකේ බැට්‍රි කෑලි දෙකෙන් රේඩියෝ එක පණගහගත්ත අපි තිබ්බ දෙයක් උයාගෙන කෑවා. ඒත් කඩෙන් බඩු ගන්න විදිහක් නෑ. කඩ ඔක්කොම වහලා දාලා.
මේ අතරේ එක එක සංවිධාන වලින් ලංකාවට ආධාර ආවා. සිරස සහන යාත්‍රාව ගමට ආවා. මේ හැම දෙයින්ම ආධාර ලැබුනා. කවදාවත් කාටවත් අතපාන්න ඉදිරිපත් නොවුන අපිට එදා අතපාන්න සිද්ධ උනා. ඒත් ඒක අතපෑමක් කියලා කියන්නෙ නෑ. මොකද මිනිස්සුන්ගෙ අසරණකම දැකපු තවත් මිනිස්සුන්මයි මේ උදවු උපකාර කරන්නෙ. ඒ අයට ගොඩක් පිං. ඒත් එක්කම අපිට උදවු කරපු ඇමරිකාවෙ ඩොලර් එක 95 කට විතර වැටුනයි කියලා ඒ තත්වෙම දිගටම පවත්වගන්නවැයි කියපු දේසපාලුවො ගැන නම් ඇති වෙන්නෙ කළකිරීමක්.
මේ සිද්ධියෙන් පස්සෙ මාස ගාණක් යනකන් "සුනාමිය" ගැන කසුකුසුව මුළු ලංකාව වටේම තිබුනා. මිනිස්සු දහස් ගාණක් එකට මැරිලා ඉන්න තැන්, තමන්ගෙ පුතාව හොය හොය දෙයියන්ට කන්නලවු කරන අම්මලා, තමන්ගෙ ගෙදර කවුරුවත් හොයාගන්න බැරුව අඩ අඩ ඉන්න පුංචි දරුවෝ, තමන්ගේ ආදරණීයයන් නැති වුනු මිනිස්සුන්ගෙ කදුළු කතා ඇහෙද්දි හිතට දරාගන්න බැරි තරම් වේදනාවක් ඇති නොවුනා නෙමෙයි. දුප්පත්, පෝසත්, ජාති, කුළ මේ කිසිදෙයක් තැකුවෙ නෑ සුනාමිය. හැමෝම එක්කගෙන ගියා. අපේ ඉංග්‍රීසි පන්ති ආපු ගෑණු ළමයෙක්වත් සුනාමිය අරන් ගියා. ඇත්තටම එදා ඒ ළමයා හිටි තැන හිස් වෙලා තියනවා දකිද්දි මොන තරම් කාළකණ්නි දෙයක්ද මේ කියලා මටත් දැනුනා.
මේ මොන දේ කොහොම උනත් ඒ අන්ධකාර දවස එදායින් ඉවර උනා. මිනිස්සු ආයෙමත් කදුළු අස්සෙන් හිනා උනා. තමන්ගේ ජීවිත ආයෙත් පටන්ගත්තා. අද දවසෙ ඒ අදුරු අතීතය ආයෙත් මතක් කරලා දුන්නා. ආගන්තුකයා උණවටුනේ හිටියට නොමැරී ඉන්නේ රූමස්සල කන්ද අපේ ගෙදරත් මුහුදත් වෙන් කරන නිසා. උණවටුනෙ පොඩි ප්‍රදේශයයි එහෙම ආරක්ෂා වෙලා තියෙන්නෙ. එක අතකට මම වාසනාවන්තයි.
ඒ මොනවා උනත් ආයෙ ඒ විලාප, අදෝනා, දුක්ගැනවිලි අහන්න දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ පෝස්ට් එක ඉවර කරන්නම්..
ලබන්නා වූ නව වසර සාමය, සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා...!!!
ප.ලි. : සුනාමිය එනවා කියලා මේ වතාවෙ දැනගන්න ලැබුනාම කතා කරලා කොහොමද කියලා අහපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.
එදා සුනාමිය නිසා අදටත් මුහුද අද්දර මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නේ බයෙන්.. කොහොම උනත් ආයෙම ඒ වගේ විපතක් වෙන්න එපා කියන එක තමයි ප්‍රාර්ථනාව..
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් මලයටත්..
ඒක ඇත්ත.. ගිණිපෙනෙල්ලෙන් බැටකාපු මිනිස්සු කණාමැදිරි එලි වලට බයෙන් පැනලා දුවන හැටි අපි ඊයෙ දැක්කා නේ..
Deleteමාර වැඩේනෙ වුණේ නේද?
ReplyDeleteඅය්යටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
මොකක්ද වැඩේ..
Deleteස්තූතියි..