ඇත්තටම මට මේ රිසල්ට් එක ගැන දුකක් නෑ. මොකද මට තවදුරටත් මේ රිසල්ට් එක ඕන වෙන්නෙ ඉස්සරහාට ඉගෙනගනිද්දි 'උසස් පෙළ සමත්' කියලා ලේබල් එකක් විදිහට පෙන්නන්න විතරයි. ඒත් උසස් පෙළ කියන අවුරුදු දෙකක කාලෙට සූදානම් වෙන්න කාලය, ශ්‍රමය, ධනය කැපකරපු මිනිස්සු පිරිසක් ඉන්නවා. මම ඒ අයට අද කරේ ලොකු අසාධාරණයක්. මගේ හිත ඒක දන්නවා. ඒත් ඒ ගිය කාලෙ ආපහු ගේන්න බැහැ. ඒ කාලෙදි කරපු පිස්සු මෝඩ තකතීරු වැඩ නවත්තගෙන ඉස්සරහට යන්න කාලයක් ඉදිරියේ තියෙන්නෙ. අම්මා, තාත්තා, මගේ ගුරුවරු, මගේ ඉස්කෝලෙ, මේ දේවල් මගේ ගැන තියන් හිටි බලාපොරොත්තු අද මං විනාස කරලා ඉවරයි.
අම්මායි තාත්තයි දන්නවා මට දැන් උසස් පෙළ රිසල්ට් එකෙන් වැඩක් නෑ කියලා. ඒ නිසා කමක් නෑ. ඒත් අපේ පන්තියෙ මිස්... කවදාවත් මට බැනලා නෑ. අද බැන්නෙත් නෑ. කෝල් එක ආන්සර් කරලා කිවුවෙ, බැජ් එක ගහගත්තෙ නැත්නම් ඒ 3ක් ශුවර් කියලා. ඒ කිවුවාට මිස් දන්නවා ඒ නිසා නෙමෙයි මෙහෙම උනේ කියලා. ඒ කොහොම වෙතත් මිස් අද කියපු දේවල් වලින් ලොකු දුකක් දැනුනා.
මම මිස් ට කිවුවා,
"ආයෙ ඒ ලෙවල් කරන්න නම් බලාපොරොත්තුවක් නෑ, මම දැන් ඩිග්රි එකක් කරන ගමන් ඉන්නෙ" කියලා.
මිස් කිවුවෙ,
"දැන් කරන දේ හොදට කරන්න" කියලා.
ඔය වම්පැත්තෙ ඉන්නෙ ගණිතය අංශෙන් ගාල්ලෙ 6 වෙනියා |
ඒත් එක්කම තවත් දුකක් තියනවා. හැමදාම උසස් පෙළ විභාගෙන් ලොකු තැන් වල ඉන්න මිනිස්සු හදපු අපේ ඉස්කෝලෙට මම අද කිසිම දෙයක් දුන්නෙ නෑ. ඒ මොනවා උනත් මගේ එහාපැත්තෙ හිටි යාලුවා ගාල්ලෙ 6 වෙනියා. පේලියක් පස්සෙන් උන්නු යාලුවෙක් ගාල්ලෙ 10 ලංකාවෙ 47 වෙනියා. මාත් එක්ක ෆිසික්ස් පන්තියේ මගේ එහා පැත්තෙ ඉදන් සමහර ගණන් මගෙනුත් අහන් හදපු ගජයා බයෝ වලින් ගාල්ලෙ 7 වෙනියා. ඔය වගේ අහල පහල උන්නු අය බහුතරයකගෙන් අහන්න ලැබුනෙ ගොඩක් හොද ප්‍රතිඵල. අවංකවම මාර සන්තෝසයි. එකී මෙකී නොකී හැමෝටම මගේ හදපිරි උත්තමාචාරය. ඒ වගේම දැන් කොච්චර කළකිරුනත් ගිය නුවණ වගේම ගිය කාලෙ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ. ජීවිතේ කියන්නෙ උසස් පෙළත් නෙමෙයි. ඒ නිසා අර 'මෝඩයො 3 දෙනා' ගෙ කතාවෙ වගේ මම දැන් කරන්නෙ මම ගොඩක් ආස ක්ෂේත්‍රයක්.. ඒ දෙයින් ඉස්සරහට යන්න උපරිම උත්සාහය දෙනවා..