Saturday, December 31, 2011

අපේ අයත් ලියන්නයි ඉන්නේ A/L ලබන අවුරුද්දේ

මෙම වසරේ උසස් පෙළ විභාගය අවසන් වූ වහාම සියල්ලන්ගේ ම මුවින් නැගුනේ පෙර වර්ශ වලට සාපේක්ෂව ඉක්මනින්, විධිමත් ලෙස ප්‍රථිඵල නිකුත් කරන බවයි. නමුත් මෙයත් තවත් එක් ඡන්ද පොරෙන්දුවක් ආකාරයෙන්ම හැඩගැසී ඇති ආකාරය අප හට දිස් වූයේ පසුව යි. නමුත් එය එසේ තිබියදීත් අප විශ්වාස නොකළ අමුතු අන්දමේ ප්‍රශ්නයක් පැණනැගෙන ආකාරයක් පසුව දක්නට ලැබින. එය "Z" ළකුණ මත පදනම් වූවකි. නව විශය නිර්දේෂය හා පැරණි විශය නිර්දේෂය යන දෙකට "Z" ළකුණු 2ක් ලබා දී අවසානයේ ඒවා සමපාත කරගන්නේ කෙසේද යන්න යි. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම  "Z" ළකුණ පිළිබද තමාට ද නොතේරෙන බවයි. 


ඔහු එවැනි ප්‍රකාෂයක් කිරීමේදී උසස් පෙළ කරන සිසුන් හට මොනවා නම් සිතෙන්නට ඇත් ද? ගණිතය උසස් පෙළට හැදෑරුවෙක් ට නම් අනිවාර්යයෙන්ම "මූ වගේ එකෙක් ද අපේ උසස් අධ්‍යාපනේ ගැන බලන්න ඉන්නේ?" යයි කීම සාධාරණ ය. එසේ වන්නට හේතුව නම්, තමුන් ගේ වයස මෙන් තුන් ගුණයක් පමණ වයසැති, රටේ උසස් අධ්‍යාපනය ට වගකියන පුද්ගලයෙක්, තමුන් ද මැනවින් දන්නා, උසස් අධ්‍යාපන ප්‍රවේශයට මංපෙත් සලසන වැදගත්ම සමීකරණය නොදැනීම යි. 

බලධාරියෙක් යනු යම් දෙයක් නිසි පරිදි කිරීමෙහිලා මුල් තැන ගෙන කටයුතු කරන පුද්ගලයෙකි. නිසි දෙය අනිසි ලෙස සිදු කළ විට ගැරහුම් ලබන්නට සිදුවනු නොඅනුමාන ය. නමුත් එයට තමුන් ද වගකිවයුතු යැයි නිහතමානීව පවසා එය නිවැරදි කරනු වෙනුවට මොවුන් තමුන්ගේ නිරුවත වසා ගැනීමට තවත් ජනයා මංමුලා කිරීමට සැරසෙයි. විද්‍යා විශයධාරාවන් කළ අය ට කළා ප්‍රථිඵල ලැබීම හාස්‍යයට නොව භීතියට කරුණකි. එසේ තමුන් නොකළ විශයක ප්‍රතිඵල තමුන්ට ලැබේ නම්, තමුන් කළා යයි කියන විශයේ ප්‍රතිඵල තමාගේම ද යන්න ගැටළු සහගත විය හැකි ය. එක් සුළු අතපසුවීමකින් තමාට, තමාගේ ආනයට එහා ආසනයේ සිටි කෙනාගේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාව ඉහළ අගයක පවතින්නේ තමුන් නොකළ විශයධාරාවකින් තමුන්ගේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාවට වඩා එය ඉහල අගයක් ගන්නා බැවිනි. 

ඒ අතර තවත් කවුරුන්දෝ කියා සිටින්නේ එසේ ප්‍රතිඵල ලැබූවන් සියල්ල ඇතුලත් කර තිබෙන්නේ GIT විභාග අංකය බවයි. මෙම ප්‍රකාෂයේ බරපතල කම මෙපමණක් යයි කිව නොහැක. පළමු කරුණ නම් තම ජීවිතයේ වැදගත්ම විභාගයෙහි ප්‍රතිඵල ලබාගැනීමට සිසුවෙක් වැරදි විභාග අංකයක් භාවිතා කරන්නේ යයි පැවසීමෙහි ගම්‍ය වී ඇත්තේ උ.පෙළ කරන සිසුන් ද තමුන් වන් ම බත් කන බූරුවන් රොත්තක් යයි බලධරයින් විසින් සිතා සිටීම යි. අනෙක නම් බූරුවන් තප්පුලද්දී ඉන්නා යමක් කමක් තේරෙන බුද්ධිමතුන් යයි කියාගන්නා පිරිස කරබාගෙන සිටීම යි. අනෙක නම් GIT විභාග අංකය ඇතුල් කළ විට ලැබිය යුත්තේ "
මෙය වුවත් වෙනත් ප්‍රතිඵලයක් ලැබීම හාස්‍යයට කරුණක් යයි තේරුම් ගැනීමට තරම් අපේ අධ්‍යාපනය ගැන හිතන ලොකු පුටු වල ලොක්කන්ට නොතේරීම යි.
මේ සියල්ලම අස්සේ ළමුන්ට කුමක් සිදුවන්නේ ද යන්න එක බලධාරියෙක් වත් නොසිතන්නට ඇත. තමුන් උදෑසන ඉන්ජිනේරුවෙක්, දොස්තර කෙනෙක් යයි තමුන්ට හැබෑකරදුන් සිහිනය සවස් වෙද්දී වෙනස් වීමෙහි ඇති බලපෑම තේ‍රෙන්නට නම් ඒ අය ද ඡන්දයේ ප්‍රථිඵල වලින් තමුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් යයි වරෙක පවසා පසුව එය එසේ නොවන බව පැවසීම ම කළ යුතු වේ. එවිට ඔවුන් මිණී මරාගන්නට පෙළඹෙනු ඇත. එය නොඅනුමාන ය. නමුත් ජීවිතයේ වැදගත්ම ප්‍රථිඵලයක් වැරැද්දීම, ලෝකයම පිලිගන්නා අපේ උසස් පෙළ හාස්‍යයට ලක් කිරීම, එ‍සේ කර ඒ වැරදි වසාගන්නට මතක් වෙන හැම බොරුවම කියා ජනතාව මුලා කිරීමේ හාස්‍යජනක උත්සාහයක නිරත වීම, විභාගයක් කරන්නට පෙර සිතිය යුතු දෑ පසුව සිතන්නට ගොස් ළමුන් මෙපමණ පීඩනයකට පත් කිරීම කොතරම් සදාචාරසම්පන්නද? සාමාන්‍ය වායුගෝපීය පීඩනය 1x10^5 Pa වන විශාල පීඩනය මිනිස් සිරුර ට දරාගත හැකි වුවද මනසට, සිතිවිලි වලට එල්ල කරන මෙම පීඩනය මිනිසෙක් ට විශේෂයෙන්ම ළමයෙකු ට දරාගන්නට නොහැකි වන්නට පුළුවන. 


අපේ යහළුවන් ලබන වසරේ උසස් පෙල කරන්නට සිටී. ඔවුන් හට මොනවා සිතෙනවා ඇත් ද? ලබන වසරේ ද මෙවන් ම "Z" ළකුණ පිළිබද ප්‍රශ්නයක් සිදු නොවන බවට ඇති සහතිකය කුමක් ද? වැරදි අංක ඇතුල් කළ විට පමණක් වැරදි ප්‍රතිඵල ලැබෙන්නේ යයි පවසා තමුන්ගේ වැරදි වසා ගන්නා  පිරිසකගෙන් තමාගේ නිවැරදි ප්‍රථිඵලය ලැබෙන බවට ඇති සහතිකය කුමක් ද? මේ සියල්ලෙන් විනාශ වී යන්නේ කෙනෙක් ගේ අනාගතයක් යයි මොවුන් තේරුම් ගන්නේ කවදා ද? 

Friday, December 30, 2011

විශ්වාසය..

ජීවිතේ අපිට ගොඩක් දෙනෙක් මුණගැහෙනවා. කතාබහ කරනවා. විහිලු කරනවා. බැනගන්නවා, ගහගන්නවා. සතුටින් ඉන්නවා.. දුකේදි එකට ඉන්නවා.. සැපේදි ත් එකට ඉන්නවා. අනිත් අයගෙ ජීවිත කතාව අපේම ජීවිතේ කොටසක් වෙනවා. හීන දකිනවා. ඒ හීන ලෝකෙ අතරමං වෙනවා. ගොඩක් දේවල් අනිත් අය වෙනුවෙන් කැප කරනවා. සමහරු ඒ දේවල් දන්නවා. සමහරු දන්නෙ නෑ. දැනන් හිටිය නැති අය ඒ දේවල් දැනගත්තා ම සමහර විට ගොඩක් දුක් වෙනවා. ඒත් සමහරුන්ට වෙනසක් නෑ. 

තමුන් ළගින් ඉන්නකම් අගයක් නැති අයට තමුන් නැති වෙලාවෙදි අගේ දැනෙනවා. ආයෙ තමන්ව ඒ අයට ඕන වෙනවා. ඒත් ඒ අය ආපහු අපිට සලකන්න හිතන්නෙත් කලින් සලකපු විදිහටම යි. අපි අපේ ජීවිතේ සමහර අයට විශ්වාස කරනවා. ඒ අතරින් ගොඩක් විශේෂ අයව ගොඩක් විශ්වාස කරනවා. තමුන්ගේ හැම දෙයකදිම ඒ අය නැතුව බැරි වෙනවා. ජීවිතේ වෙන සුළු සුළු සිද්ධි පවා ඒ අය ට කියනවා. මුළු ජීවිතේම ඒ අය වෙනුවෙන් කැප කරනවා. ඒත් සමහර අපි විශ්වාස කරන් ඉන්න අය අපිට ජීවිත කාළෙම කළේ බොරුවක් කියලා දැනගත්තා ම මොනවා ද දැනෙන්නේ? තමුන්ට තමුන්ගේ ජීවිතේ ගැන කළකිරෙනවා. 


තමුන් අනුන්ට කොච්චර දේවල් කිවුවද, කරා  කියලා මතක් වෙද්දි ඇති වෙන්නෙ දුකක්. ලොකු දුකක්. අපිට බොරු කරපු කෙනෙක් ආයෙ ඇවිත් ඒ බොරුවම කරන්න හදද්දි? කලිං දේවල් ඒ විදිහටම කරද්දි? තමුන් ඒ කෙනා වෙනුවෙන් කළ දේවල් ගැන ඒ කෙනාට පොඩ්ඩක්වත් ගාණක් නැති උනා ම? ඊට වඩා දුකක් දැනෙන දෙයක්, ඒ තරම් පසුතැවීමක් දැනෙන දෙයක් තවත් නෑ. 

අනිත් අය ව විශ්වාස කරන්න. ඒ අය ට තමුන් ගැන විශ්වාසෙ ඇති වෙන්න දෙන්න. ඒත් එක්කම අනිත් අයත් ඒ අය ගැන විශ්වාසෙ ඇති වෙන්න වැඩ කරනවා ද කියලා බලන්න. ඉල්ලීමක්. නැත්නම් අන්තිමේදි ලොකු දුකක් විදින්න වෙයි. සත්තකින්ම...!!!  

මං හිතන්නෙ නම්,

පිරිමියෙක් කියන්නෙ පිටකොන්දක් තියන එකෙක්. විලි ලැජ්ජාවක් කියලා එකක් තියන එකෙක්. ඕන දේකට ඔට්ටු එකෙක්. අනිත් මිනිස්සුංගෙ රෙදි අස්සෙ හැංගි හැංගි වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන එකෙක් නෙමෙයි. තමුන් හරි නම් මොකෙක් මොකක් කිවුවත් නාහන කෙනෙක්. තව කෙනෙක් ගේ අදහසක් හොදයි නම් ඒ දේ පිලිගන්න තරම් නිහතමානී කෙනෙක්. තමුන් ගේ හැම මගුලක්ම හරි කියලා හිතන් වැඩ නොකරන කෙනෙක්. තමුන් ගේ වැරදි තේරුම් ගන්න කෙනෙක්. ඒ වැරදි හදාගන්න උත්සාහ කරන කෙනෙක්. යාළුවෝ වෙනුවෙත් පණ උනත් දෙන එකෙක්. අතේ පැල වෙන බොරු බේගල් ඇද බාලා යාළුවෝ කොටවන එකා මිනිහා නෙමේ.. ඌ ට කියන්නෙ **** කියලා. බල්ලො බූරුවො බුරද්දි තප්පුලද්දි, පවු අසරණ බල්ලා බූරුවා කියලා කරබාගෙන ඉන්න කෙනෙක්. ඒත් හැමදාටම නෙමෙයි. ඔය වල් බල්ලො බුරන්න විතරයි දන්නෙ. ඕකුන් එකෙක් වත් දන්නෙ නෑ තමුන් බුරන්නෙ සිංහයෙක්ට කියලා. සිංහයා ට තරහා ගිය ගමන් ඔය බල්ලොන්ගෙ බහිස්‍රාවී පද්ධති වලින් අමුතු ජාති ස්‍රාවය වෙන්න ගන්නවා. 
ලු.

හරි ද මන්දා.. 


Thursday, December 8, 2011

විභාග ළකුණු

මෙවර,
සංයුක්ත ගණිතය - 57 (ශුද්ධ ගණිතය-33 ව්‍යවහාරික ගණිතය-81)
භෞතික විද්‍යාව - 53
රසායන විද්‍යාව - 50
ඉංග්‍රීසි - 83
මුළු ළකුණු - 243
පන්තියේ වෙනියා 10 ටත් අඩු වන බව පැහැදිලි ය. 


ගිය වර,

සංයුක්ත ගණිතය - 58 (ශුද්ධ ගණිතය-45 ව්‍යවහාරික ගණිතය-71)
භෞතික විද්‍යාව - 68
රසායන විද්‍යාව - 71
ඉංග්‍රීසි - 82
මුළු ළකුණු - 279
පන්තියේ ලැබූ ස්ථානය - 5


ලබන වර

සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව = 44


අ.පො. ස. උ/පෙළ

සංයුක්ත ගණිතය - ab (ශුද්ධ ගණිතය-ab ව්‍යවහාරික ගණිතය-ab)
භෞතික විද්‍යාව - ab
රසායන විද්‍යාව - ab
ඉංග්‍රීසි - ab
මුළු ළකුණු - 4(ab)
පන්තියේ ලැබූ ස්ථානය = විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව


අ.පො. ස. සා/පෙළ


ගණිතය - A
සිංහල - A
විද්‍යාව - A
බුද්ධාගම - A
ඉංග්‍රීසි - A
ඉතිහාසය - A
තොරතුරු තාක්ෂණය - A
ඉංග්‍රීසි සාහිත්‍ය - A
ව්‍යාපාර හා ගිණුම්කරණය - A



Saturday, December 3, 2011

යන්න කලිං කියලා යන්න දෙයක්,

යාළුවනේ, ‍


මම ආගන්තුකයා‍. 2011-05-22 ම ඉස්සෙල්ලාම පෝස්ට් එකක් ගැහුවේ. එදා ඉදන් අද දක්වා මගේ පෝස්ට්ස් කියවපු අයට ස්තුතියි. මගේ පෝස්ට්ස් වැරදීමකින් හරි 6915 වතාවක් යාළුවොන්ගෙ අතින් එබිලා තියනවා කියලා stats වල පෙන්නනවා. ඒ හැම වාරෙකටම ගොඩක් ස්තුතියි. පටන්ගැන්මේදී ජීවිතේ සිද්ධ වෙන දේවල් කියන්න කියලයි ආගන්තුකයා ඇතිවුනේ. ඒත් ආරම්භෙදිම සිද්ධවුනු දේවල් ආගන්තුකයා ට ආගන්තුක උනා. කොහොම හරි ආගන්තුකයා තමන්ගේ මතකයන් බ්ලොගයට එකතු කලා. මට දැනිච්ච දේවල්, මට සිද්ධ වුනු දේවල්, මට කියන්න ඕන වෙලා තිබ්බ දේවල් මේ හැම දෙයක්ම ආගන්තුකයා එකතු කලේ ආත්මාර්ථකාමීව. කවදා හරි ආගන්තුකයාටම කියවලා බලන්න හිතුන නිසා. 


මගේ හිත්රිදීම් වලදී ඒ දේවල් මම බ්ලොගයේ ගැහුවා. මගේ පර්ස් එක නැති උන එක, අපේ මිස් මට උදවු කළ හැටි, මගේ අයියලා දෙන්නා මගෙන් ගොඩක් දුර ගිය එක වගේ දේවල් මට හිතට තදින් වැදුනු දේවල් ගොඩක් මම දන්න විදිහට ලිවුවා. ඒ දේවල් වලදි මාත් එක්ක හිටපු හැම කෙනාටම ගොඩක් ස්තුතියි. 


හැමදාම මේ මතකයන් රැදිලා තියෙයි මාත් එක්ක. අද මම හැමෝගෙන්ම සමු ගන්නවා. හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි...!

Sunday, November 27, 2011

සිහිනයක නිමාව


අදුරු රැය එලි කරන සිසි කිරණ ඔබම විය...
කුරිරු ලොව පහළ වුණු සොදුරු ලිය ‍ඔබම විය..
මගේ සිත සැනසවූ පැන් පොදත් නුඹම විය..
මගේ සිත බිද දැමූ සොදුරු ලිය ඔබම විය..

නොසැගුවෙමි මා කිසිත් මගේ ලොව ඔබෙම විය..
සැගවුනා පෙර දිනෙක තීන්දුව ඔබෙම විය..
එනමුදුත් මගෙ ලොවේ රැජිණියද ඔබම විය..
තව තවත් සගවන්නෙ, 

ඔබට ආලය නොකළ නිසා ද...
ඔබ තරම් නොවන නිසා ද...
නැතිනම්,
ඔබේ කුමරු නොවන නිසා ද...

??????????????????????????

ඉදින් අදින් සමුගනිමි ආගන්තුකයා.. නොම එමී මතුවටත් කවර යම් දිනකටත්.. නැත මා ඉතිරි කළ දෙයක්.. සියල්ල අදින් අවසන් වේවි.. ආගන්තුකයා, ආගන්තුකයෙක් ම වේවි.. මග පෙන්නන්නට උත්සුක වූවන්ට අවසානයේ පසුතැවිලි වීමට සිදුවනු ඇත. ඒ මග පෙන්නන්නට ගත් කාලය ගගට කැපූ ඉනි වූ බැවිනි. ඉදින් සමුදෙන්න මට.. නැවත නොම එමි.. තැවෙන්නට කිසිවකුත් නොමැති ය.. හඩන්නට කිසිවෙක් නොමැති ය.. සෙවූ මග පෙනෙන මානයක නැත. නැවත මග සොයන්නේ ද නැත.. නැවත හමුවන්නේ ද නැත.. 



Thursday, November 17, 2011

Facebook Games

මේක අද කාලෙ කාලීන මාතෘකාවක් කියලා හිතුනා. ඒ මොකද කියනවා නම් Facebook එකේ ඉන්න හැමෝම වගේ Facebook Games ගහන්න පුරුදු වෙලා නෙමෙයි ඇත්තෙන්ම කියනවා නම් ඇබ්බැහි වෙලා තියන නිසා. ඒවගේ හොද ඒවත් කාලෙ කන ඒවත් තියනවා. ඒත් කොච්චර කරත් මේවට ඇබ්බැහි වෙන එක නවතින්නෙ නම් නෑ. ඒකට ප්‍රධාන හේතු ගොඩක් තියනවා. එකක් තමයි තමන් ඒකට ගොඩක් කැමති වීම. අනිත් එක තමයි ඒ Game එකම ගහන තමන්ගෙ යාළුවො තමන්ට වඩා උඩට යනවා දකින්න බැරි කම හරි තමන්ට තමන්ගේ යාළුවන්ට වඩා උඩට යන්න තියන දැඩි අදිශ්ටානය. 

අද ‍Facebook එකේ ඉන්න ඕන කෙනෙක් Barn Buddy කිවුවොත් දැනගන්නෙ නැතිවෙන්න නම් විදිහක් නෑ. මොකද තමන් ඒක ගැහුවත් නැතත් තමන්ට ඒකෙන් Request නම් පිරෙන්න ඇව්ත් ඇති. මටත් ඇවිත් තිබුනා. මමත් මීට මාස ගානකට කලිං ගැහුවා. ගහලා ගහලා අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා. මමම කොච්චර ඇබ්බැහි උනා ද කියනවා නම් උදේ ඉස්කෝලෙ යන්න කලිං, ගෙදර ආපු ගමන්, පන්ති ගියා නම් යාළුවෙක්ගේ ගෙදරකින් Facebook ආවෙ Barn Buddy ගහන්න. ඔහොම තමයි මාසයක් යන්නත් කලිං ලෙවල් 100 පහු කරේ. පල්ලෙහා ඇති මගේ ෆාම් එක.

Brain Buddies, ඒ කියන්නෙ මොලේ තත්වෙ බලාගන්න තියන ගේම් එකක්. මේකෙ ප්‍රධාන වශයෙන් කෙටස් 4 ක් තියනවා. Memory, Logic, Calculation, Visual. ඇත්තෙන්ම මේක නම් හොද ගේම් එකක්. මම එහෙම කියන්නෙ ඒකෙන් ඇත්තටම තමන්ගේ මො‍ලේට පුහුණුවක් ගැබෙන නිසා. ඒකෙන් අපිත් එක්ක අපේ යාළුවො තරග කරනවා. එතකොට ඉතිං තමන් දස්සයි කියලා පෙන්නන්න සමහරු නම් හොරත් කරවා. ඒත් එහෙම කරා කියලා වැඩක් වෙන්නෙ නෑ. තමන්ගෙ ඇත්ත තත්වෙ දන්නෙ තමන්ම නේ. පල්ලෙහා ඇති මම Brain Buddies ගහපු එක.

දැන් කියන්නෙ Happy Hospital ගැන. මේකත් ජොලි ගේම් එකක්. මේකෙ කරන්න තියෙන්නෙ අපෙන් බෙහෙත් ගන්න එන සත්තුන්ට එක එක ජාතියෙ විදිහට බෙහෙත් කරන්න. කරන්න දෙයක් නැති උනාම මේක ගහන එක පුරුද්දක් වෙලා දැන් නම්. ඒකෙ ප්‍රොෆයිල් එකත් ඇති පල්ලෙහා.

දැන් කියන්නේ ගෑණු ළමයි අතරෙ ජනප්‍රිය ගේම් එකක්. It Girl. ඒකෙ කරන්න තියෙන්නෙ hot වෙන්න ගෑණු ළමයෙක්ට ඇදුම් අන්දලා අනිත් ගෑණු ළමයි එක්ක Showdowns කරගෙන points ගන්න. එක එක තැන් වලට හරියන විදිහෙ ඇදුම් ගන්න. Parties වලට යන්න. ගිහින් showdowns වලින් දිනන්න. Boyfriends ලා ගොඩක් එක්ක relationships තියාගෙන ඒ හැම කෙනාවම තියාගන්න ඕන නම් gifts දෙන්න kisses දෙන්න. තමන්ව showdowns වලින් පරද්දපු අය ඉන්න Rival's List ඉන්න අය එකින් එක පරාද කරලා revenge එක ගන්න‍. අපේ ගෑණු ළමයිත් ඉතිං තෑගි හම්බුවෙයි කියලා පුලුවන්තරම් කොල්ලො එක්ක යාළු වෙනවා It Girl එකේ‍. හැබැයි මම නම් මේක ලංකාව වගේ එටකට සුදුසුයි කියන්නෙ නම් නෑ. 


ඒත් එක්කම Chess වගේ ගේම්ස් නුත් ෆේස්බුක් එකේ නැතුව නෙවෙයි. ඒත් එක්කම කියන්න තියන තව කාරණාවක් තමයි අපේ තරුණ පරපුරට ෆේස්බුක් එකේ ගේම්ස් වල ඉස්සරහට යන්න තියන ආසාව පාඩම් වැඩ වලටත් ආවා නම් කොච්චර එකක්ද කියලා.  


Saturday, November 12, 2011

ශිෂ්‍යත්වය පෙවීම

අද කාලෙ ළමයි ඉස්කෝලෙ යන්නත් කලින් තමයි ඒ ළමයින්ව දෙමවුපියො ටියුෂන් පන්ති වලට දාන්නෙ. ඒ පොඩි කාලෙ ඉදන්ම ළමයින්ව ලොකු තැනකට ගේන්න ඔවුන්ට ඕන නිසා. ඒ වගේම ගෙදර ඉන්දිද්දිත් ළමයාට හොදට පාඩම් දන්න දන්න විදියට කියලා දෙන්න දෙමවුපියො අමතක කරන්නෙ නෑ. කොහොම හරි පළවෙනි ලොකු විභාගෙ ශිෂ්‍යත්වෙ නෙ. ඒක හොදට පාස් වෙන්න කියලා කියලා දුන්න දෙයක් අන්තිමට අමුතුම ජාතියෙ වැඩක් වෙලා. ඊයෙ අපේ ෆිසික්ස් සර් කිවුවෙ. මට මේක අමතක වෙන්න කලිං ලියන්නෙයි කියලා හිතුනා.

ශිෂ්‍යත්‍ව විභාගෙ අනිවාර්යය ප්‍රශ්නයක් නෙ අර මොකක් හරි එකක් ගැන වාක්‍ය 5ක් ලියන එක. ඔන්න එක තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට කියලා දීලා "හොදම යාළුවා" කියන මාතෘකාවට රචනයක් ලියන විදිහ. 

මගේ හොදම යාළුවා
1. මට යාළුවන් ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම යාළුවා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මෙන්න මේ වගේ ටිකක් ලියලා දීලා ළමයා ට හොදට බලාගන්න, මේ වගේ ලියන්න කියලා ඒ දෙන සිද්ධියට සම්බන්ධයෙන්. පස්සෙ ඉතිං ඔන්න ශිෂ්‍යත්වෙ ඇවිත්. ළමයා රචනාවත් ලියලා. හැබැයි ඉතිං මේකෙ මැතෘකාව ඇවිත් තියෙන්නෙ "මගේ තාත්තා" කියලා. ළමයත් අර උඩ එක පොඩ්ඩක් සංශෝධනය කරලා ලියලා. 


මගේ තාත්තා

1. මට තාත්තලා ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම තාත්තා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මේක මාක් කරපු සර් ට තරු විසි වෙලා. අන්තිමට ඒ ළමයා ව හොයාගෙනත් ගිහින් ලු අ‍පේ සර් කිවුව හැටියට. දෙයක් කටපාඩමේ තියාගන්න ගියාම මරු වැඩ තමා වෙන්නෙ. අර 3 වල වුනා වගේ. හි හි..


Friday, November 4, 2011

සිතු දේ නොම වෙයි

සිතු දේ නොම වෙයි....
නොසිතු දෙයක්ම සිදු වෙයි..


ඇය මා හට හැම දෙයක්ම උනි..
නමුත් ඇයට..?


සිතුවේ නොම එසේය යි කියා මුත්,
නොසිතු දේ සිදු වෙයි.. 


නොමැත මම ඇය හට ලොවක්..
කරුණු දැනගත් විගස මා..


ඉදින් අත්හැර එම කුරිරු ලොව..
තනිවුනෙමි සැගවී..


සියල්ලන්ටම නොකී රහසක්..
ඇයට පමණක් සිතාගන්නට.. 


හඩන්නට නොව සිනාසෙන්නට‍‍..
සිනාසෙනු මැන.. සිනාසෙනු මැන..

Thursday, November 3, 2011

R.P.L අවසන් කොටස (ගුරු-සිසු තරගය සහ අවසානය)

ආගන්තුකයා කාලෙකිං බ්ලොග් එක පැත්තෙ ආවෙ නෑ තිබුන ප්‍රශ්න නිසා. මේ දැං කියන්න යන දේ නම් ගොඩක් අයට අමතක වෙලා කියලා මම දන්නවා. ඒත් මේක මම මටම හරි කවදා හරි බලලා සතුටු වෙන්න බ්ලොග් එකේ ගහන්න හිතුවා. නැත්නම් මටම මේ දේවල් අමතක වෙයි. එදා අපේ R.P.L එක තිබ්බ දවස ගැන ගැහුවෙ බාගෙට. ඒකෙ හොදම හරිය තමයි දැන් ගහන්න යන්නේ. ඒ දේ කොච්චර හොදද කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒත් මේක ලියද්දි කොහොම වෙයි ද කියලා නම් දන්නෙ නෑ.


කොහොම හරි, එදා ඔන්න අපේ ඉස්කෝලෙ ගුරුවරු 4 විතර වෙද්දි එන්න පටන් ගත්තා. සමහරු අපි ආරාධනා කර නිසා බලලා යන්න, අනිත් අය ගුරු-සිසු තරගෙට සහභාගී වෙන්න. ඉස්සෙල්ලම ආවෙ අපි හැමෝම අදුනන ෆිසික්ස් කිවුවම හැමෝටම මතක් වෙන අපේ සුනිල් ප්‍රේමතිලක සර්. හැබැයි සර් නම් ආවෙ උදේ පාන්දර. සර් එනවා දැකපු කෙනෙක් මට කතා කලා.

"ඒ ඒ.. පපං එනෝ ඒ... ඉක්මනට වරෙං.. "
මමත් ඉතිං නිසලතාවෙන් අරඹලා විචල්‍ය ත්වරණයකින් ගිහින් උපරිම v වේගයක් ලබාගෙන සර් ඉස්සරහට ගිහිං ඒකාකාර මන්දනෙන් නතර උනා. හි හි.. ඊට පස්සෙ සර් කියපුවා හඩ පටේ ඇති. කිවුවෙ නම් ඕවා ම නෙමෙයි ඒත් ඒ දේවල් තමයි කිවුව ඒවාගෙං මතක.

කොහොම හරි. ඔන්න දැන් හවස ග්‍රවුන්ඩ් එකත් තෙත් වෙලා.. සර් ලා ඒත් ඇවිත්. මම ගිහිං නිකමට වගේ අපි හැමෝම දන්න "මැරයා" ගෙං ඇහුවා,
"සර්.. ග්‍රවුන්ඩ් එක නම් හරි නෑ... මැච් එක ගහන්න පුලුවන් ද?"
"අපෝ පුතා.. ඔය වැස්ස මොකද්ද.. අපි ගහමු.."
සර් ලා ටත් මාර උනන්දුවක් තියනවා කියලා අපිට තේරුනා. අන්තිමට අපි ගහන්න ලෑස්ති උනා. Organizing Committee V Teachers. කාසියේ වාසිය දිනුවෙ මම. අපි කලිං හදාගෙන උන්න ප්ලෑන් එකට අනුව අපි සර් ලා ට ගහන්න දුන්නා. ඒත් එක්කම අපේ ඉන්න හොද බෝලර්ස් ලා ට දාන්න නොදී අනිත් අයව දැම්මා. මම දැම්මෙත් හිමීට මැද කොටලා එන්න. එතකොට ගහන්න ලේසියි නේ. කොහොම හරි සර් ලා 100+ ගැහුවා.. සර් කෙනෙක් ගහන හැම පාරකටම පුදුම චියර් එකක් තිබුනේ.. සර් ලා ගේ 1 විකට් එකක් විතරද කොහෙද අවුට් උනේ..

ඊට පස්සේ අපි ගියා ගහන්න. මම කට්ටියට කිවුවේ කොහොම හරි ටාගට් එකට ලං කරමු කියලා විතරයි. අපේ එක්කෙනා දෙන්නා අවුට් උනා. මාත් ගියා. මටත් ඕන උනේ අවුට් වෙන්න. එක තැන උඩ ගහන්න ගියපු එකක් 6 ක් ගියා. ඕන නැති වෙලාවට හැම එකක්ම වෙන්නේ. කොහොම හරි අපි පැරදුනා. ඒක තමයි අපිටත් ඕන වෙලා තිබ්බේ. අපි දින්නා නම් ඒකෙ කිසි ගතියක් නෑ. අපි පෙන්නුවෙ අපි කොච්චර දක්ෂ උනත් අපිට මග පෙන්නන අපේ ගුරුවරු ගවු ගානක් දුරින් ඉන්නවා කියලා. ඇත්තටම අත්දැකීම් අතින් ඒක එහෙම තමයි.

දැන් තමයි අවසානෙ. ප්‍රයිස් ගිවින් එකක් තිබ්බා පුංචි පහේ. මහ රෑ. ඒ වෙලේ කවුරුත් රොක් වෙලා. අපි හැමදෙයක්ම හොදට සූදානම් කරලා තිබ්බේ. කප් ටිකත් ගෙනල්ලා. දැන් නම් ටිකක් කලුවර වැටිලා. ඒත් අපි එදා එල්ලපු අකුරු ටික නම් නියමෙට තියනවා. කොහොම හරි අන්තිමට කට්ටියට තෑගිබෝග කාරිය දුන්නා. ටයිල් කැටේකුයි සහතිකේකුයි හැම ක්‍රීඩකයෙක්ටම ලැබුනා. අන්තියම ඩී.ජේ. එකක් ගහලා සතුටි වෙන්නත් අපි අමතක කරේ නෑ.




කොහොමින් කොහොම හරි අපේ RPL'11 නිමා උනා. ගොඩක් අය ගෙදර ගියේ හුගක් සතුටින්. මේක මටත් ලොකු අත්දැකීමක්. මෙච්චර සාර්ථක තරගයක් සංවිධානය කරන කමිටුවේ ප්‍රධානත්වය අරගෙන වැඩ කරන්න මට සිද්ධ උනා. ඒත් එක්ක ජීවිතේට ලැබුනු අත්දැකීම් කියලා නිම කරන්න බෑ. යාළුවොත් එක්ක ගත කරපු ඒ මොහොතවල් ජීවිතේ කවදා හරි මතක් උනාම මූනට පොඩි හිනාවකි ගෙනෙයි. අපිත් එක්ක වැඩ කරපු අය අනිවාර්යයයෙන්ම මේ රටේ ලොකු තැනක කවදා හරි ඉදී කියලා මට විශ්වාසයි. කොහොම හරි වැඩක් සාර්ථකව නිම කරනවා තරම් සතුටක් වෙන නෑ.

Saturday, October 29, 2011

පුංචි උදවුවක් දෙනවා ද?

මට එච්චර හොදට සින්දු කියන්න නම් බෑ. ඒත් මට සින්දුවක් කියන්න උවමනා වෙලා තියනවා. මට තෝරගන්න බෑ මොන එක ද හොද කියලා. ඒ නිසා මම මතක්වෙන මතක්වෙන සින්දු කියාගෙන ගියා. ඒ ටිකේ පළවෙනි පේලි ටික පල්ලෙහා තියනවා. අනේ ඔයගොල්ලොන්ට මේක අහන් ඉන්න පුළුවන් නම් මට මේ ටිකෙන් ටිකක් හරි හොදයි කියලා හිතෙන එක තෝරලා දෙනවා ද? අනේ කරුණාකරලා දැක්කෙ නෑ වගේ ඉන්න එපා. ඒ නිසා කියලා යන්න. අහන් ඉන්න බැරි වගේ නම් නොකිවුවට කමක් නෑ. ඒත් තෝරලා දෙනවා නම් ලොකු උදවුවක්.. 
ස්තුතියි අමාරුවෙන් හරි අහන් හිටියාට.. ටිකක් හරි හොදට තියන එක කියලා යන්න..  


Friday, October 28, 2011

All For Richmond - Non For Self

සිත් රිදුමක් මෙය ලිවීමට අඩිතාලමක් විය. ඒ අන් කවරක් නිසා වත් නොව, මේ අපේ විදු මෑනියන්ට කළ නින්දාවක් නිසාවෙනි. ඒ මෙයයි. අපගේ නිල ලාංඡනයට කර ඇති නින්දිත ක්‍රියාවයි.


බලන අයට ඕනෑම දෙයක් කීමට හැක. මෙය ද එයින් එක් අවස්ථාවකි. අප දෙවන මෑණියන් ලෙස සලකන රිච්මන්ඩ් මාතාමට අපහාස කොට ලබාගන්නා නින්දිත සතුට කුමක් දැයි තේරුම්ගැන්මට නොහැක. එය කෙනෙකුට මහත් ප්‍රීතියක් වන්නට ඇත. ඒ ප්‍රීතිය භුක්තිවිදීමට ඉඩ හැර බලා සිටින්නම්. සියල්ලටම පෙර තමන් ද යම් පාසලක් නියෝජනය කරන බැවු අමතක කර ඇත්තේ එම පාසලට ගරු නොකරන, හෙන ගැහුවත් කම් නැති යයි සිතා සිටින අයවලුන් ය. නොඑසේ නම් වීදුරු ගෙවල් වල සිට ගල් නොගැසිය යුතු යයි නොදන්නා මුක්ධයන් ය. 1 වසරේ සිට 13 වසර දක්වා අදටත් ඉගෙනගන්නා මාගේ පාසල් මාතාවට, එහි කියවෙන්නා වූ උදාර වචන පාඨ වලට අගරු කරන්නේ මොන සිතකින් ද කියා නම් මම නොදනිමි. අප හට උගන්වා ඇත්තේ අන් දේ ට ගරුකරන්නටයි. එමගින් අප ලබා ඇති තත්වය කිසි කෙනෙක් ට සම කළ නොහැකි බැවු අමතක නොකළ යුතු ය. "ජීවිතය නම් වූ සාගරයේ බුදුන්, දහම්, සගුන් කියූ පරිදි යාත්‍රා කරන අධ්‍යාපනය නම් වූ නෟකාව වසර 135 කට වැඩි කලක් තිස්සේ චණ්ඩ මාරුතයන්ට හසු නොවුනා නොවේ. ඒ සියල්ල මැඩ ඉදිරියට ඇදුන් අපි අන් කිසිවෙක්ට ක්‍රෝධ නොකරන්නෙමු, වෛර නොකරන්නෙමු, ඊර්ෂ්‍යා නොකරන්නෙමු. අපේ විදු මෑණියන් අපට උගන්වා ඇත්තේ මුක්ධයන් කරන දේවල් වලට මුක්ධ ලෙස හැසිරීමට නොව, නුවනින් සිතා උපහාසයෙන් සිනා සීමට ය. මෙයින් බලාපොරොත්තු වූයේ ප්‍රතිචාර නම්, රිචිමන්ඩ් මෑණියන්ට ආදරය කරන මේ දැක ලේ රත් වූ රිචිමන්ඩ්වරුන්ගේ සහ පාසලකට ගරු කරන අයවලුන්ගේ මෙන්ම අගරු කරන අයවලුන්ගේ ද පුතිචාර එමට ලැබී ඇති යයි සිතමි. ලංකාවේ පළමුවෙන්ම නිල ලාංඡනයක් පැලැන්දේ රිචිමන්ඩ්වරුන් යයි නොදන්නවා විය හැක. ගාලු අග්‍ර පාඨශාලාවේ මීට වසර 135 කට උඩදී අභිමානනීය ලෙස එය පැළද සිටි 104 දෙනා අද ජීවතුන් අතර ද නැත. එහෙත් ඔවුන් ඉතිරි කර ගිය දෑ අදටත් ඔබ භුකිතිවිදින බව අමතක කර ඇති බව දැනේ. C.W.W. කණ්නංගර, නිදහස් අධ්‍යාපනයේ පියා, රිච්මන්ඩ් වංශකතාවේ පළමු ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද අභිමානයෙන් පැළද සිටියේ මේ නිල ලාංඡනයම ය. අවසානයේ කියන්නට ඇත්තේ තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කිරීමට වග බලාගත යුතු බවයි. පාසලකට ආදරයක්, ගෞරවයක් ඇත්තන් මෙවැනි දෑ නොකරන බව මම දනිමි. එමෙන්ම මෙය තවත් එක් විහිලුවක් නොවේ. එය මතක තබාගත යුතු ය. 



Saturday, October 22, 2011

තවත් එක් විභාගයක්

වෙනදාට කලින් අද අවදි වීමට උනි. දතකට මැද පාසල් ඇදුම ඇද සැරසුනේ සෙනසුරාදා දින ද පාසල් යාමට  ය. නමුත් මෙදින රැගෙන යන්නට උනේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි පොත් නොවේ. කොළ කැබලි කිහිපයක් හා ලියන්නට කියන්නට පෑන් කිහිපයක් ය. වෙනදා මෙන් ම අම්මා ට හා තාත්තා ට වැද ආශිර්වාද ලබා තාත්තා සමගම පාසල කරා නික්මුනෙමි.

ශාලා අංකය 2 ය. අංකය 2411768 ය. එ‍සේ සදහන් වූ ඩෙස්කයක් මා 11 වසරේදී ඉගෙනගත් පන්තියේ මැද හරියේ තිබුනු ඩෙස් එකක් බැවින් හුරුපුරුදු විය. ඈදිගත්තේ වෙනදා මෙන් නොව, මා හා දෙදෙනෙක් පමණක් ඈදිගත් ශාලාවක ය. 9.00 සීනුව වැදීමට තත්පර කීපයකට කලියෙන් කඩිමුඩියේ තවත් එකෙකු දිව ආවේ ය.
දැන් අපි තිදෙනෙකි. අපි සැම දෙනාටම පේපර්ස් 2ක් බැගින් ලබාදෙන ලදී. වෙනදා මෙන් ම පේපරය අතට ගත් විට එයට වැද හොදින් ලියන්නට හැකි වේවා යි පැතුවේ පුරුද්දකට මෙන් ය. 

තිබුනු දෑ හුරුපුරුදු ය. ඇතැමක් මතකයේ නැත. සමහරක් නොදනී. කිසිවක් පාඩම් කරේ නම් නැත. එහෙත් ලිවීමට අවැසි ය. පළමු 40 ඉරි අදින්නට ය. පසුව ලියන්නට ය. අමාරු ද ලේසි ද කියා මම නොදනී. සියල්ල නිම කළෙමි. දැන් ඇත්තේ කොටු කොලයේ පාට කරන්නට ය. ඉන් පෙර අතේ බැදි ඔරලෝසුව වෙත මාගේ ඇස යොමු වුනේ පුරුද්දට ය. වේලාව 10.28 ලෙස දිස් විය. කරකියාගන්නට දෙයක් නැත. තාලයට කොටු කොළයේ පාට කරන්නට ගතිමි. පැය 1/2 ක කාලයක් තිස්සේ පාට කලෙමි. තවත් පැයක් ගතකිරීමට තිබේ. අමතර පන්ති යැයි කියමින් මා හා සිටි අනිත් තිදෙනා නික්ම ගියත් මා හට නික්ම යාමට තරම් සිතක් නැත. 

සිතන්නට පටන් ගතිමි. 2009 වසරේ ද මෙවන්ම විභාගයක් තිබුනි. එහිදී නම් ශාලාව පිරී ගොසිනි. නමුත් අද මා පමණි. වෙනදා සිසුන් තුළ ප්‍රබෝධය දකිනට තබා 20 කට ඈදිගතහැකි ශාලාවේ විභාගයට පෙනී සිටියේ 4 දෙනෙකි. ඔවුන්ගෙන් ද ඉතිරි වූයේ මම පමණි. මෙම විභාගයට ප්‍රාව්ශපත් දුන්නේ මීට දින 4 කට පෙර ය. වසර ගණනකට මෙහි ප්‍රතිඵල ලබා දී නොමැති බව ද අසන්නට ලැබුනේ විභාගයට නොපැමිනෙන්නේ යැයි කියූ කෙනෙක්ගෙනි. 

ඇත්තෙන්ම මෙලෙස කිසිදු සූදානමක් නොමැතිව, ළමුන්ට කිසි දැනුමක් නොමැතිව, කෙදිනකවත් ප්‍රතිඵල නොදෙන, ළමුන් නොපැමිනෙන විභාග පවත්වා බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා ආගන්තුකයා ට තේරුම් නොයයි. මේ කියුවේ අද දින පැවැත්වූ G.I.T 2011 විභාගය ගැනයි. ආගන්තුකයා ට නම් විභාගය එතරම් දෙයක් නොවේ. නමුත් මේ ලංකාවේ කිසිදු දෙයක් නොදත් ළමුන් කීයක් නම් මේ විභාගය අසමත් වේ ද? කොපමණ පිරිසක් මෙය වැඩකට නැත්තක් ලෙස සිතා ගෙදර නවතී ද? පරිගනක සාක්ෂරතාවය මෙසේ මැනීම ප්‍රමාණවත් ද? 

Friday, October 21, 2011

අනේ අපිට සමාවෙන්න

ආගන්තුකයා මාසෙකින් විතර බ්ලොග් එකේ වචනයක්වත් ලිවුවෙ නෑ. මේක අත්තරින්නයි ආගන්තුකයා ට ඕන උනේ. ඒත් හොදටම හිතට වැදිච්ච සිද්ධියක් මට මේ ලිපිය ලියන්න මග පෙන්නුවා. මේක ලියන්නෙ හිතේ දුකින්, වේදනාවෙන් වගේම කලකිරීමෙන්.

ඊයේ තිබ්බා අමතර පන්තියක්. කවුරුත් දන්න ජනක අබේවර්ධන සර් ගෙ ඇප්ලයිඩ් පන්තිය. එදා පන්තිය කලබලකාරියි. ළමයි නොසන්සුන්. සර් පාඩම පටන් ගත්ත වෙලේ ඉදන් සමහරු නිදි, ඒ අයගෙ වැඩ. ළමයින් ගේ ඝෝශාව වෙනදාව වඩා ගොඩක් වැඩියි. සර් ට උනන්දුවෙන් පාඩම කරන්න උනේ නෑ. සර් දෙපාරක් විතර කිවුවා කෑගැහිල්ල නවත්තන්න කියලා. ඒත් සද්දෙ අඩුවක් නෑ. මෙහෙම ඉන්දිද්දි පන්තියට පරක්කු වෙලා ගෑණු ළමයෙක් ආවා. නැලවි නැලවි පන්තිය ඉස්සරහාට ගියා. ඒ වෙලේ ළමයි ටික අමුතු සද්ද දාන්න ගත්තා. සර් ගේ ඉවසීම නැතිඋනා ඒ වෙලාවෙ. බර දඩු රාමු සැකිලි පැත්තකින් තියලා සර් කියන්න ගත්තා,

"මේ පන්තියේ මෙහෙම ගුරුවරයෙක් ඉන්නකොට කෑ ගහනවා නම් කොහොමද මම පන්තියක් කරන්නෙ? මේ ඇප්පයිඩ් ඉගැන්නුවා කියලා වැඩක් නෑ ළමයින්ට ගුරුභක්තියක් නැත්නම්. මම කොහොමත් දන්නවා ගාල්ලේ ළමයින්ට ගුරුභක්තියක් නෑ කියලා. මම මේ ගාල්ලෙ පන්ති කරන්නෙ මේකෙන් සල්ලි ලැබෙන නිසා නෙමෙයි. මේකෙන් මට ආත්ම තෘප්තියක් ලැබෙනවා. මම දන්න දෙයක් අනිත් අයට කියලා දෙද්දි ලැබෙන ආත්ම තෘප්තිය නිසයි මම ප්‍රධාන වශයෙන්ම පන්ති කරන්නේ. මේ පන්තිය නැවැත්තුවා කියලා මට කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. මම සමහර විට 2014 පන්ති කරනවා ද නැද්ද කියලා තීරණක් ගන්න බැරි කමක් නෑ. මම යුනිවසිටි ගිහින් පස්සෙ ‍ෆිසිකල් වලට මාරු උනේ උගන්නන්න තියන ආසාව නිසා. ඒ තීරණේ මම එදා ගනිද්දි මගේ අතට රු. 1000 ක් වත් ලැබෙන්න මාර්ගයක් තිබ්බෙ නෑ. ඒත් මම ඒ දේ කලේ උගන්වන්න තියන ආසාව නිසා. මම ඉන්න වෙලේ කෑගැහුවා ට කමක් නෑ මම ඒ තත්වෙට වැටිලා ඉන්න ගුරුවරයෙක් නම්. ඒත් මම එදා ඉදන් ම මම දන්න දේ නිවැරදිව කියලා දීලා ඇති."

ඇත්තටම සර් කියපු දේවල් තදින්ම හිතට වැදුනා. ඒත් එක්කම ලොකු කණගාටුවකුත් ඇති උනා. ඒ සර් කියපු එක දෙයක් නිසා.
"මම කොහොමත් දන්නවා ගාල්ලේ ළමයින්ට ගුරුභක්තියක් නෑ කියලා"
මේ දේ මම කවදාවත් නොහිතපු දෙයක්. අපි ගුරුවරු වෙනුවෙන් (කටක් ඇරලා ගුරුවරු කියලා කියන අය) කොච්චර දේවල් කරලා කියලා තියනවා ද. ගුරුවරු අපිට කෝච්චර සමීප ද. ඒත් මේ වගේ දෙයක්. ඒකත් අහන්න උනේ අර ළමයි වගයක් කෑ ගහපු නිසා.

එදා සර් ගාණක් දීලි ගියා. ආයෙ පන්තියට ආවෙ නෑ. පහල ඉදන්ම පන්තිය ඉවරයි කිවුවා. සර් ගොඩක් කලකිරිලා කියලා අපිට තේරුනා. අපිට අපි ගැනම දුකක් ඇති නොවුනා නම් අපි අපි ගාන ලැජ්ජ වෙන්න ඕන. මේ දේ උනේ එක ළමයි කණ්ඩායමක් නිසා කියන බව ඇත්ත උනත් ඒ දේ කියලා අපිට මගඅරින්න බෑ. මොකද අපි එක පන්තියක්. අපි එක කණ්ඩායමක්‍. අපි නිසය් මේ දේ උනේ. අපිමයි මේ දේ හදන්න ඕන.

සර් කිවුව දේ ඇත්ත. ඇප්ලයිඩ් වැදගත්. ඒ ලෙවල් නුත් වැදගත්. ඒත් එක දේකට වැඩිය නෑ. ඒ අපේ මනුස්සකම. අපේ මනුස්සකම කියන්නේ ඇහැට කනට පේන ගෑනු ළමයෙක්ට සද්ද දාන එක නම්, ඒ ළමයා ට වගේම ගුරුවරයා ට ඇතිවෙන තත්වෙ ගැන කිසි ගානකට ගන්නෙ නැති කම නම්, ආගන්තුකයා ට ඒ ගැන කියන්න දෙයක් නැ. තමන්ම කිසි වරදක් නොකරපු කෙනෙක්ගෙන් මේ විදිහට පලිගන්න එක කොලු කම කියලා හිතන් ඉන්න අය ඇත්තටම එහෙම  කියන එක ප්‍රශ්නයක්.

ඒ නිසා යාළුවනේ අපි යම් දෙයක් ඉගෙනගත්ත මේ පන්තියට, අඩුමගානෙ ඒ ගුරුවරයා ට ගරු කරලා මේ දේවල් නවත්තමු. අද මේ කියන දේ විහිලුවක් වගේ දැනෙන අයට තම අවුරුදු ගානකින් තේරෙයි මම එදා හිනා උන එක කොච්චර වැරදි ද කියලා. පුළුවන් නම් අපි පෙන්නමු අපි මොනවගේ ළමයි ද කියලා. ඒ දේ තේරුම්ගන්න. ආගන්තුකයා බ්ලොගයේ ඉල්ලන පළවෙනි ඉල්ලීම. ඒ දේ හැමෝම පිලිගන්න. එදා සර් කිවුවේ මොනවා ද කියලා සමහර විට සර් ට මතක නැතුව ඇති. ඒත් ඒ දේවල් අපිට මතකයි. ඒ දේ හදවතටම වැදුන නිසා.

..අනේ අපිට සමාවෙන්න සර්..


Thursday, September 22, 2011

R.P.L එක දවස

මේ කියන්න යන්නේ තැනකින් නවත්තපු කතාවක්. හැමෝටම කොහොමද හැදුනෙ කියලා අමතක වෙච්ච R.P.L 2011 තරගාවලිය ගැන. මේ කියන්නේ 2011.09.11 දවසෙ, ඒ කියන්නෙ R.P.L දවසෙ වෙච්ච සිද්ධීන්. මම අනිත් අයට දැනුන විදිය ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් මම මට දැනිච්ච දේ කියන්නම්. මේක හැදුන හැටි ගැන මගඇරුනා නම් හැදුන හැටි බලන්න. 


කොහොම හරි, එදා ඔක්කොම කටයුතු සූදානම්. මායි ශිරානුයි පහනක් එහෙම පත්තු කරා උදේ පාන්දර. අපි කවදත් කරනවා වගේ ජාතියට උත්තමාචාර කරලා වැඩේ පටන් ගත්තේ. අනිත් අය සීරුවෙන් ඉදන් ජාතික ගීය මුමුනද්දි මමත් එහෙම කරේ නොකර බැරි කමට. මොකද ඉස්සෙල්ලාම තිබ්බේ මගේ කතාව. මම මොනවත් හිතලා තිබුනෙ නෑ මොනවා ද කියන්න ඒන කියලා. ඒක ගැන හිතන්න ගත්තට වැඩකුත් නෑ. අන්තිම මොහොතේ‍. මයික් එක අරන් කටට එන එකක් කියලා දාන්න පස්සෙ මම තීරණය කළා. ජාතික ගීය ඉවරයි. දැන් මයික් එක මගේ අතේ. කතාව පටන් ගන්න විදියක් ඒ වෙනකොටත් මම හිතනවා.


"මීට අවුරුදු 4 කට කලින් R.P.L එක පටන් ගත්තා, මීට අවුරුද්දකට කලින් අපේ පන්තිය R.P.L ශූරයින් උනා, මීට මාස 5 කට කලිං අපි සංවිධායක මණ්ඩලේ පත් කරගත්තා. මීට මාසෙකට කලින් අපි ඔක්කොම හිතලා සැලසුම් කලා. මීට සති 2 කට කලිං අපි හැම බර වැඩක්ම කරන්න ගත්තා. ඊයෙ රෑ වෙද්දි අපි 90% ක් වැඩ ඉවර කලා, අද හැම දෙයක්ම හරියට කරලා අපි R.P.L එක ගහන්නයි යන්නේ....."

මට ඒ කියපු දේ ටිකක් මතකයි. කොහොම හරි වැස්සෙන් වැඩි බාධා එන්නෙ නෑ කියලත් මම කිවුවා. හැමෝම එකමුතු වෙලා කරපු වැඩක අන්තිම ප්‍රතිඵලේ තමයි මේ කියලත් මම කිවුවා වගේ මතකයි. කොහොම හරි හැමෝගෙම කතා ඉවරයි. අපිට මීඩියා එකට කවුරුත් නැතුව හිටියේ. මම අපේ ලේකම්, ශිරාන්ටත් කිවුවා, "මචං, කමෙන්ට්‍රියෙන් තමයි වැඩේ නැගලා යන්නේ, අපි කොච්චර මහන්සි උනත් ඒක නැත්නම් වැඩේ හර නෑ" කියලා. ඒත් අපි වාසනාවන්තයි, මීඩියා යුනිට් එකේ හිටිය "තාත්තා" කියලා කෙනෙක් ව අපේ වැඩේට මුලින් ඉදලාම සහයෝගෙ දුන් සචින් හොයලා දුන්නා. ඔහු තමයි පටන් ගත්තේ. පස්සෙ පළවෙනි මැච් එක ඒක තිබ්බේ. ඒකට කමෙන්ට් කරන්න අපිට ගොඩක් සහය දුන්න "කමල් සහබන්දු" සර් කැමැත්තෙන්ම ඉදිරිපත් උනා. ඒ වගේම සුපිරියට කමෙන්ට්‍රිය කරා. 

ඔන්න ඔය විදිහට අපේ වැඩේ නොහිතපු තරම් හොදට කරගෙන යන්න පුලුවන් උනා. ඔන්න ඒක අස්සේ සංකල්ප, මගේ ගජයා ත් ආවා R.P.L එකට. කොහෙන්ද මන්දා FM MIC එකක් අරන් ග්‍රවුන්ඩ් එක වටේ ඉන්න අයගෙ අදහස් දැනගන්න විදිහෙ ජාත්‍යන්තර තරග වල වගේ සුපිරි කමෙන්ට්‍රියක් දුන්නා. ඔන්න ඔහොමයි අපි නොහිතපු විදියට අපිට හොදින් මේ දේ කරන් යන්න පුළුවන් උනේ.




කොහොමින් කොහොම හරි මේ විදිහට තරගවෙලිය ඉදිරියට ගියා. ඒත් කවුරුත් හිතුවෙ නැති විදියට මහා ධාරානිපාත වැස්සක් කඩං වැටුනා. අයියෝ දෙයියනේ. මොනවා කරන්නද. මට හිතාගන්නවත් බෑ. පුදුම විදිහට වහින්න ගත්තා. වැස්ස පෑවුවත් ගහන්න බැරි වෙයි කියලා මට හිතුනේ. ඒ තරම් මඩ වෙලා. ඒත් වැස්ස පෑවුවා. අපේ සංවිධායක කමිටුව ඉස්සෙල්ලාම බැස්සෙ ග්‍රවුන්ඩ් එකට. අර ඇදන් හිටපු හොද ඇදුම් පිටින්. කලිසම පොඩ්ඩක් උඩට නවාගෙන ස්පොන්ජ් වගයක් ඉල්ලගෙන වතුර ඇද්දා. ආයෙ විකට් ටික හිටෙවුවා. වැඩේ ආයෙ පටන් ගත්තා. අපිට අපේ අනිත් යාළුවොත් මාර සහයෝගයක් දුන්නා. ඒත් කියන්න දුකයි අපි අර ඇදුම් පිටින් එලියට ඇවිත් වතුර අදිද්දි පිරිසක් හොදට වැඩි වෙලා අපි කන කට්ට දිහා බලන් හිටියා කියලා. කොහොම හරි ඉක්මනටම ආයෙ ගහන්න පුළුවන් උනා. කට්ටිය ලිස්සුවා, වැටුනා, මඩ ගා ගත්තා, මඩ නෑවා. ඒත් තරගෙ අත්තැරියෙ නෑ කවුරුත්. 


දැන් අවසන් මහා තරගෙ පටන් ගන්න වෙලාව. මම කාසියේ වාසිය එහෙම බලලා තරගෙ පටන් ගත්තා. තරගෙ ටිකක් යද්දි ආයෙ වහින්න ගත්තා. කට්ටිය ආයෙමත් පැවිලියන් එකට දුවගෙන ආවා. තවත් වෙලා අරින්නත් බෑ. 
"ඒ බං මොකෝ කරන්නෙ.. වැස්සෙ ගහමු ද?"
"හරි බං.. ගහමු.."
එච්චරයි. ග්‍රවුන්ඩ් එකට හොදටම වහිනවා. ඒ අස්සෙ ප්ලේයර්ස් ලා ආයෙ ග්‍රව්න්ඩ් එකට යද්දි ඒ ප්‍රීති ඝෝශාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒක අස්සෙ සංකල්ප ට වචන හිග වෙලා. 
"ඒ බං කියපන්, ස්වභාවධර්මෙ භාදාවක් නොකර ආශිර්වාදයක් කරන් අපි 2011 RPL Finales ගහන්නෙ කියලා. ඒකට හැමෝම සූදානම්, රිච්මන්ඩ් එකේ හැමෝගෙම ශක්තිය ඒක, කොච්චර කරදර ආවත් ඒවා ආශිර්වාදයක් කරන් ඉදිරියටම යනවා කියලා."
ඒක ඒ විදිහටම කියඋනා. ඇත්තටම ඒක ඇත්තක්. කොච්චර කරදර ආවත් රිච්මන්ඩ් කියන නම තියන්න අපි ඕන දෙයක් කරනවා. ඒත් එක්කම මේ පාර R.P.L එක ඉතිහාසගතයි. හොදම සංවිධානය වගේම අමුතුම ජාතියේ අවසන් මහා තරගයක් තියන්න ත් පුළුවන් උනා‍. අන්තිම තරගෙ 13-D වැල්ලෙ ෆයිටර්ස් කණ්ඩායම දිනාගත්තා. අන්තිමට වැල්ලෙ ෆයිටර්ස් නායක අපි හැමෝම කියන "ජගරි" මට කිවුවේ, "මචං, දිනනවා කිවුවා, ඔන්න දින්නා" කියලා. අපි ඒ කණ්ඩායමේ අපේ සහෝදරයන්ට සුභ පතනවා. 



අවසන් තරගෙ ඔහොම යද්දි අපේ සර් ලා එක එක්කෙනා ග්‍රවුන්ඩ් එකට එනවා. ඒ අපේ ගුරු සිසු තරගෙ ට. මේ පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ඒකයි අන්තිමට තෑගි බෙදාදීමයි, වෙච්ච අමුත් කතා ටිකකුයි ඊලග පෝස්ට් එකේ දාන්නම්.  




Friday, September 16, 2011

කතාවක්‍‍..

අම්මා ඇස් දෙකේ කදුලු පුරවගෙන ඔහු එදා නැගිටිනකොට. අම්මා වයසට ගිහින් වගේ ඔහුට දැනුනේ. ඇත්තටම එහෙමයි. ඔහු එදා නැගිට්ටේ අවුරුදු 7 කට පස්සේ. ඊට අවුරුදු 7 කට කලිං උසස් පෙළ ලියන්න ගිය පළවෙනි දවසෙම බස් එකක් යට කරගෙන ගිහින්. ඔලුවට බරපතල විදිහට තුවාල වෙලා. සිහිසුන්ට අවුරුදු 7ක් හිටියා. ඔහුගේ තාත්තා නැති වෙලා. අම්මා තියන හැමදේම විකුනලා ඔහුව රැකබලාගන්න විදියක් නැතුව. ආදායමකට තිබිලා තියෙන්නේ පෙන්ශන් එක විතරයි. 

දැන් ඔහුට අවුරුදු 28 යි. නැගිට්ට ගමන් අම්මාගේ කදුලු දැක්ක ඔහුට ඇඩුනා. ඒ ඉබේට වගේ. අම්මා ඔහු සැපට නිදන් උන්න අවුරුදු හතේ වෙච්ච දේවල් අඩ අඩ කියද්දි ඔහු අම්මත් එක්කම ඇඩුවා. කරන්න වෙන දෙයක් නෑ ඔහුට. එකපාරටම ඇහුවා "අම්මේ.. තාත්තා කෝ..".. "තාත්තා අපිව දාලා ගියා රත්තරන් පුතේ". අම්මා එහෙම කියද්දී හදවත පසා කරන් යන්න තරම් දුකක් දැනුනා ඔහුට. නැගිටගන්න අමාරුයි. ඒත් නැගිට්ටා. ලොකු අරමුනකින් වගේ.

දොස්තර කෙනෙක් ඇවිත්. නර්ස් ලා වට වෙලා. හැම කෙනෙක්ම අස්සෙන් ඔහු ගමන් ඇරඹුවා. ඔහුට තියෙන්නෙ එක කකුලක් බව දැනුනෙ බිමට බහින්න ගිහින් බිම ඇදන් වැටුනාම. හැමෝම උදවු කරන්න ආවා. අත් දෙක වෙවුල වෙවුල අම්මාත් පුතාව උස්සන්න හැදුවා. ඒත් කවුරුත් නැගිට්ටන්න කලින් ඔහුම නැගිට්ටා. ඇද ගාව තිබුන කිහිලි කරුවක් අරන් හැමෝම කියන දේ අහන් නැතුව ඉස්පිරිතාලෙන් එලියට ආවා. ගාල්ල ගොඩක් වෙනස් වෙලා. හිතාගන්න බැරි තරම් දියුණු වෙලා. 

මේ හැම දෙයක්ම හිතන් නැතුව ඔහු නැග්ගා බස් එකක. එතනදියි තේරුම් ගියේ මිනිස්සු ත් ගොඩක් වෙනස් වෙච්ච බව. කකුලක් නැති ඔහුට ආසනයක් දෙන්න කවුරුත් නෑ. ඔහුට හමු උනා ඔහුගේම වයසේ කෙනෙක්. ඇය ඔහුගේ යාළුවෙක්. ඇය ඔහුගේ පෙම්වතියගේ හොදම මිතුරිය. ඔහු ඇයව අදුනගත්තා. "අනේ එයා දැන් ඉන්නේ කොහෙද කියන්න..".. ඇයට කියන්න උනේ ඉන්න තැන විතරයි. මොහු බස් එකෙන් බහින්න සීනුව නාද කලා. කවුරුත් ගණන් ගත්තෙවත් නෑ. මොහොතකින් මොහු බස් එකෙන් එලියෙ. නිකට තුවාල වෙලා ලේ ගලනවා. කිහිලි කරුව එක අතකින් අරන් අනිත් අතින් නිකටින් එන ලේ තද කරගෙන මොහු තවත් බසයකට ගොඩ උනා. 

ඒ බසයේ වැඩි දෙනෙක් නෑ. මහලු මනුස්සයෙක් තමන් ළගින් වාඩි වෙලා. කොන්දොස්තර ඇව්ත් "මහත්තයා කොහාටද?".. "කොළඹ" කියලා අසරණ විදියට බලන් හිටියා.."සල්ලි නැතුවද මිනිහෝ බස් එකට නගින්නේ.. " මේ අතර අර මහලු මිනිසා "ආ මෙන්න.. තමුසෙට ඕන සල්ලි නේ.. අරගන්නවා" ඔහු සිනාවකින්  මූණ සරසාගෙන ආචාර කරේ දෙන්න වෙන කිසි දෙයක් තමන් ළග නැති නිසා. ඔහොම්මම ඔහුට නින්ද ගිහින්. "ඒයි මිනිහෝ.. නැගිටිනවා.. දැන් කොළඹ තමයි." බස් එකෙන් බැස්ස ඔහු කිහිලි කරුවෙ හයියෙන් ඉස්සරහාට ගිහින් මිනිස්සුන්ගෙන් පාර අහන්න හැදුවා. කිසි කෙනෙක් තමන් ළගට එන ලේ පෙරාගත්ත මිනිහා ව පිළිකුල් කලා. කරන්න වෙන දෙයක් නෑ. ඇස් දෙකේ කදුලු පුරවගත්ත ඔහු බස් එකක් දැක්කා. යන්න ඕන දිහාවටම යන බස් එකක්. ඒත් ඔහු නැග්ගෙ නෑ. තමන් අනිත් අයට පිළිකුල් කියලා ඔහු දන්න නිසා. තමන් වෙනුවෙන් ටිකට් අරන් දෙන්න මිනිස්සුන්ට කරදර කරන්න ඕන නැති නිසා.

ඒත් ඒ බස් එක ගිය පාර දිගේම ඔහු ගියා. ගොම්මනේ... කිසි දෙයක් පේන්නෙ නෑ. ලයිට් කණුවක් යට වාඩි උන ඔහු ආයෙ නැතිට්ටේ උදේ. ආයෙ ගමන ඇරඹුවා. ඇගේ කිසි හයියක් නෑ. ගියේ හිතේ හයියට. ගිහින් ගිහින් මහන්සියි. ටිකකට ගමන නවත්වලා වටපිට බැලුවා. දැක්කේ ලස්සන කාර් එකකින් බහිනවා කාන්තාවක්. ළමයෙක් වඩාගෙන. ළමයා හිනා වෙවී හිටියේ අතේ තිබ්බ සෙල්ලම් බඩුව පැද්දෙන තාලෙට. ඇය බැස්සාට පස්සේ තවත් කඩවසම් පුද්ගලයෙක් බැස්සා. ළමයා තමන් අතට අරගත් ඔහු ඒ කාන්තාවත් තුරුල් කරන් ගියේ ලොකු රෙදි සාප්පුවකට. ඔහු ඒ දිහාවට තනි කකුලෙන් දුවගෙන ගියා. කිහිලි කරුව මහ පාරෙ. ඇස් දෙකේ කදුලු පිරිලා. එතනට වෙලා විනාඩි 20 කි විතර අඩන්න ඇති. පස්සේ ආයෙ නැගිට්ටා. කිසි දෙයක් තමන්ට අයිති නැති බව ඔහුට තේරුනා. ආයෙ හැරිලා බලද්දි පුංචි දුවෙක් තමන්ගේ කිහිලි කරුව අල්ලන් ඉන්නවා. අර කාන්තාව පුදුමෙන් වගේ ඔහු දිහා බලාගෙන. වැටිලා හිටිය තැනින් නැගිට්ට ඔහු ඇස් දෙකේ කදුලු පිහිදාගෙන මූනෙ හිනාවක් එක්ක අර පුංචි දෝනි දිහාවට යන්න හැරුනා. 

ඔහු බොහොම අමාරුවෙන් අඩි දෙකක් ඉස්සරහට පැන්නා. මහා හොන් සද්දයක්. ඒත් එක්කම මහා අන්ධකාරයක්. මේ වතාවෙ ඹහු නින්දට වැටුනෙ සදහටම...