Thursday, September 22, 2011

R.P.L එක දවස

මේ කියන්න යන්නේ තැනකින් නවත්තපු කතාවක්. හැමෝටම කොහොමද හැදුනෙ කියලා අමතක වෙච්ච R.P.L 2011 තරගාවලිය ගැන. මේ කියන්නේ 2011.09.11 දවසෙ, ඒ කියන්නෙ R.P.L දවසෙ වෙච්ච සිද්ධීන්. මම අනිත් අයට දැනුන විදිය ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් මම මට දැනිච්ච දේ කියන්නම්. මේක හැදුන හැටි ගැන මගඇරුනා නම් හැදුන හැටි බලන්න. 


කොහොම හරි, එදා ඔක්කොම කටයුතු සූදානම්. මායි ශිරානුයි පහනක් එහෙම පත්තු කරා උදේ පාන්දර. අපි කවදත් කරනවා වගේ ජාතියට උත්තමාචාර කරලා වැඩේ පටන් ගත්තේ. අනිත් අය සීරුවෙන් ඉදන් ජාතික ගීය මුමුනද්දි මමත් එහෙම කරේ නොකර බැරි කමට. මොකද ඉස්සෙල්ලාම තිබ්බේ මගේ කතාව. මම මොනවත් හිතලා තිබුනෙ නෑ මොනවා ද කියන්න ඒන කියලා. ඒක ගැන හිතන්න ගත්තට වැඩකුත් නෑ. අන්තිම මොහොතේ‍. මයික් එක අරන් කටට එන එකක් කියලා දාන්න පස්සෙ මම තීරණය කළා. ජාතික ගීය ඉවරයි. දැන් මයික් එක මගේ අතේ. කතාව පටන් ගන්න විදියක් ඒ වෙනකොටත් මම හිතනවා.


"මීට අවුරුදු 4 කට කලින් R.P.L එක පටන් ගත්තා, මීට අවුරුද්දකට කලින් අපේ පන්තිය R.P.L ශූරයින් උනා, මීට මාස 5 කට කලිං අපි සංවිධායක මණ්ඩලේ පත් කරගත්තා. මීට මාසෙකට කලින් අපි ඔක්කොම හිතලා සැලසුම් කලා. මීට සති 2 කට කලිං අපි හැම බර වැඩක්ම කරන්න ගත්තා. ඊයෙ රෑ වෙද්දි අපි 90% ක් වැඩ ඉවර කලා, අද හැම දෙයක්ම හරියට කරලා අපි R.P.L එක ගහන්නයි යන්නේ....."

මට ඒ කියපු දේ ටිකක් මතකයි. කොහොම හරි වැස්සෙන් වැඩි බාධා එන්නෙ නෑ කියලත් මම කිවුවා. හැමෝම එකමුතු වෙලා කරපු වැඩක අන්තිම ප්‍රතිඵලේ තමයි මේ කියලත් මම කිවුවා වගේ මතකයි. කොහොම හරි හැමෝගෙම කතා ඉවරයි. අපිට මීඩියා එකට කවුරුත් නැතුව හිටියේ. මම අපේ ලේකම්, ශිරාන්ටත් කිවුවා, "මචං, කමෙන්ට්‍රියෙන් තමයි වැඩේ නැගලා යන්නේ, අපි කොච්චර මහන්සි උනත් ඒක නැත්නම් වැඩේ හර නෑ" කියලා. ඒත් අපි වාසනාවන්තයි, මීඩියා යුනිට් එකේ හිටිය "තාත්තා" කියලා කෙනෙක් ව අපේ වැඩේට මුලින් ඉදලාම සහයෝගෙ දුන් සචින් හොයලා දුන්නා. ඔහු තමයි පටන් ගත්තේ. පස්සෙ පළවෙනි මැච් එක ඒක තිබ්බේ. ඒකට කමෙන්ට් කරන්න අපිට ගොඩක් සහය දුන්න "කමල් සහබන්දු" සර් කැමැත්තෙන්ම ඉදිරිපත් උනා. ඒ වගේම සුපිරියට කමෙන්ට්‍රිය කරා. 

ඔන්න ඔය විදිහට අපේ වැඩේ නොහිතපු තරම් හොදට කරගෙන යන්න පුලුවන් උනා. ඔන්න ඒක අස්සේ සංකල්ප, මගේ ගජයා ත් ආවා R.P.L එකට. කොහෙන්ද මන්දා FM MIC එකක් අරන් ග්‍රවුන්ඩ් එක වටේ ඉන්න අයගෙ අදහස් දැනගන්න විදිහෙ ජාත්‍යන්තර තරග වල වගේ සුපිරි කමෙන්ට්‍රියක් දුන්නා. ඔන්න ඔහොමයි අපි නොහිතපු විදියට අපිට හොදින් මේ දේ කරන් යන්න පුළුවන් උනේ.




කොහොමින් කොහොම හරි මේ විදිහට තරගවෙලිය ඉදිරියට ගියා. ඒත් කවුරුත් හිතුවෙ නැති විදියට මහා ධාරානිපාත වැස්සක් කඩං වැටුනා. අයියෝ දෙයියනේ. මොනවා කරන්නද. මට හිතාගන්නවත් බෑ. පුදුම විදිහට වහින්න ගත්තා. වැස්ස පෑවුවත් ගහන්න බැරි වෙයි කියලා මට හිතුනේ. ඒ තරම් මඩ වෙලා. ඒත් වැස්ස පෑවුවා. අපේ සංවිධායක කමිටුව ඉස්සෙල්ලාම බැස්සෙ ග්‍රවුන්ඩ් එකට. අර ඇදන් හිටපු හොද ඇදුම් පිටින්. කලිසම පොඩ්ඩක් උඩට නවාගෙන ස්පොන්ජ් වගයක් ඉල්ලගෙන වතුර ඇද්දා. ආයෙ විකට් ටික හිටෙවුවා. වැඩේ ආයෙ පටන් ගත්තා. අපිට අපේ අනිත් යාළුවොත් මාර සහයෝගයක් දුන්නා. ඒත් කියන්න දුකයි අපි අර ඇදුම් පිටින් එලියට ඇවිත් වතුර අදිද්දි පිරිසක් හොදට වැඩි වෙලා අපි කන කට්ට දිහා බලන් හිටියා කියලා. කොහොම හරි ඉක්මනටම ආයෙ ගහන්න පුළුවන් උනා. කට්ටිය ලිස්සුවා, වැටුනා, මඩ ගා ගත්තා, මඩ නෑවා. ඒත් තරගෙ අත්තැරියෙ නෑ කවුරුත්. 


දැන් අවසන් මහා තරගෙ පටන් ගන්න වෙලාව. මම කාසියේ වාසිය එහෙම බලලා තරගෙ පටන් ගත්තා. තරගෙ ටිකක් යද්දි ආයෙ වහින්න ගත්තා. කට්ටිය ආයෙමත් පැවිලියන් එකට දුවගෙන ආවා. තවත් වෙලා අරින්නත් බෑ. 
"ඒ බං මොකෝ කරන්නෙ.. වැස්සෙ ගහමු ද?"
"හරි බං.. ගහමු.."
එච්චරයි. ග්‍රවුන්ඩ් එකට හොදටම වහිනවා. ඒ අස්සෙ ප්ලේයර්ස් ලා ආයෙ ග්‍රව්න්ඩ් එකට යද්දි ඒ ප්‍රීති ඝෝශාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒක අස්සෙ සංකල්ප ට වචන හිග වෙලා. 
"ඒ බං කියපන්, ස්වභාවධර්මෙ භාදාවක් නොකර ආශිර්වාදයක් කරන් අපි 2011 RPL Finales ගහන්නෙ කියලා. ඒකට හැමෝම සූදානම්, රිච්මන්ඩ් එකේ හැමෝගෙම ශක්තිය ඒක, කොච්චර කරදර ආවත් ඒවා ආශිර්වාදයක් කරන් ඉදිරියටම යනවා කියලා."
ඒක ඒ විදිහටම කියඋනා. ඇත්තටම ඒක ඇත්තක්. කොච්චර කරදර ආවත් රිච්මන්ඩ් කියන නම තියන්න අපි ඕන දෙයක් කරනවා. ඒත් එක්කම මේ පාර R.P.L එක ඉතිහාසගතයි. හොදම සංවිධානය වගේම අමුතුම ජාතියේ අවසන් මහා තරගයක් තියන්න ත් පුළුවන් උනා‍. අන්තිම තරගෙ 13-D වැල්ලෙ ෆයිටර්ස් කණ්ඩායම දිනාගත්තා. අන්තිමට වැල්ලෙ ෆයිටර්ස් නායක අපි හැමෝම කියන "ජගරි" මට කිවුවේ, "මචං, දිනනවා කිවුවා, ඔන්න දින්නා" කියලා. අපි ඒ කණ්ඩායමේ අපේ සහෝදරයන්ට සුභ පතනවා. 



අවසන් තරගෙ ඔහොම යද්දි අපේ සර් ලා එක එක්කෙනා ග්‍රවුන්ඩ් එකට එනවා. ඒ අපේ ගුරු සිසු තරගෙ ට. මේ පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ඒකයි අන්තිමට තෑගි බෙදාදීමයි, වෙච්ච අමුත් කතා ටිකකුයි ඊලග පෝස්ට් එකේ දාන්නම්.  




Friday, September 16, 2011

කතාවක්‍‍..

අම්මා ඇස් දෙකේ කදුලු පුරවගෙන ඔහු එදා නැගිටිනකොට. අම්මා වයසට ගිහින් වගේ ඔහුට දැනුනේ. ඇත්තටම එහෙමයි. ඔහු එදා නැගිට්ටේ අවුරුදු 7 කට පස්සේ. ඊට අවුරුදු 7 කට කලිං උසස් පෙළ ලියන්න ගිය පළවෙනි දවසෙම බස් එකක් යට කරගෙන ගිහින්. ඔලුවට බරපතල විදිහට තුවාල වෙලා. සිහිසුන්ට අවුරුදු 7ක් හිටියා. ඔහුගේ තාත්තා නැති වෙලා. අම්මා තියන හැමදේම විකුනලා ඔහුව රැකබලාගන්න විදියක් නැතුව. ආදායමකට තිබිලා තියෙන්නේ පෙන්ශන් එක විතරයි. 

දැන් ඔහුට අවුරුදු 28 යි. නැගිට්ට ගමන් අම්මාගේ කදුලු දැක්ක ඔහුට ඇඩුනා. ඒ ඉබේට වගේ. අම්මා ඔහු සැපට නිදන් උන්න අවුරුදු හතේ වෙච්ච දේවල් අඩ අඩ කියද්දි ඔහු අම්මත් එක්කම ඇඩුවා. කරන්න වෙන දෙයක් නෑ ඔහුට. එකපාරටම ඇහුවා "අම්මේ.. තාත්තා කෝ..".. "තාත්තා අපිව දාලා ගියා රත්තරන් පුතේ". අම්මා එහෙම කියද්දී හදවත පසා කරන් යන්න තරම් දුකක් දැනුනා ඔහුට. නැගිටගන්න අමාරුයි. ඒත් නැගිට්ටා. ලොකු අරමුනකින් වගේ.

දොස්තර කෙනෙක් ඇවිත්. නර්ස් ලා වට වෙලා. හැම කෙනෙක්ම අස්සෙන් ඔහු ගමන් ඇරඹුවා. ඔහුට තියෙන්නෙ එක කකුලක් බව දැනුනෙ බිමට බහින්න ගිහින් බිම ඇදන් වැටුනාම. හැමෝම උදවු කරන්න ආවා. අත් දෙක වෙවුල වෙවුල අම්මාත් පුතාව උස්සන්න හැදුවා. ඒත් කවුරුත් නැගිට්ටන්න කලින් ඔහුම නැගිට්ටා. ඇද ගාව තිබුන කිහිලි කරුවක් අරන් හැමෝම කියන දේ අහන් නැතුව ඉස්පිරිතාලෙන් එලියට ආවා. ගාල්ල ගොඩක් වෙනස් වෙලා. හිතාගන්න බැරි තරම් දියුණු වෙලා. 

මේ හැම දෙයක්ම හිතන් නැතුව ඔහු නැග්ගා බස් එකක. එතනදියි තේරුම් ගියේ මිනිස්සු ත් ගොඩක් වෙනස් වෙච්ච බව. කකුලක් නැති ඔහුට ආසනයක් දෙන්න කවුරුත් නෑ. ඔහුට හමු උනා ඔහුගේම වයසේ කෙනෙක්. ඇය ඔහුගේ යාළුවෙක්. ඇය ඔහුගේ පෙම්වතියගේ හොදම මිතුරිය. ඔහු ඇයව අදුනගත්තා. "අනේ එයා දැන් ඉන්නේ කොහෙද කියන්න..".. ඇයට කියන්න උනේ ඉන්න තැන විතරයි. මොහු බස් එකෙන් බහින්න සීනුව නාද කලා. කවුරුත් ගණන් ගත්තෙවත් නෑ. මොහොතකින් මොහු බස් එකෙන් එලියෙ. නිකට තුවාල වෙලා ලේ ගලනවා. කිහිලි කරුව එක අතකින් අරන් අනිත් අතින් නිකටින් එන ලේ තද කරගෙන මොහු තවත් බසයකට ගොඩ උනා. 

ඒ බසයේ වැඩි දෙනෙක් නෑ. මහලු මනුස්සයෙක් තමන් ළගින් වාඩි වෙලා. කොන්දොස්තර ඇව්ත් "මහත්තයා කොහාටද?".. "කොළඹ" කියලා අසරණ විදියට බලන් හිටියා.."සල්ලි නැතුවද මිනිහෝ බස් එකට නගින්නේ.. " මේ අතර අර මහලු මිනිසා "ආ මෙන්න.. තමුසෙට ඕන සල්ලි නේ.. අරගන්නවා" ඔහු සිනාවකින්  මූණ සරසාගෙන ආචාර කරේ දෙන්න වෙන කිසි දෙයක් තමන් ළග නැති නිසා. ඔහොම්මම ඔහුට නින්ද ගිහින්. "ඒයි මිනිහෝ.. නැගිටිනවා.. දැන් කොළඹ තමයි." බස් එකෙන් බැස්ස ඔහු කිහිලි කරුවෙ හයියෙන් ඉස්සරහාට ගිහින් මිනිස්සුන්ගෙන් පාර අහන්න හැදුවා. කිසි කෙනෙක් තමන් ළගට එන ලේ පෙරාගත්ත මිනිහා ව පිළිකුල් කලා. කරන්න වෙන දෙයක් නෑ. ඇස් දෙකේ කදුලු පුරවගත්ත ඔහු බස් එකක් දැක්කා. යන්න ඕන දිහාවටම යන බස් එකක්. ඒත් ඔහු නැග්ගෙ නෑ. තමන් අනිත් අයට පිළිකුල් කියලා ඔහු දන්න නිසා. තමන් වෙනුවෙන් ටිකට් අරන් දෙන්න මිනිස්සුන්ට කරදර කරන්න ඕන නැති නිසා.

ඒත් ඒ බස් එක ගිය පාර දිගේම ඔහු ගියා. ගොම්මනේ... කිසි දෙයක් පේන්නෙ නෑ. ලයිට් කණුවක් යට වාඩි උන ඔහු ආයෙ නැතිට්ටේ උදේ. ආයෙ ගමන ඇරඹුවා. ඇගේ කිසි හයියක් නෑ. ගියේ හිතේ හයියට. ගිහින් ගිහින් මහන්සියි. ටිකකට ගමන නවත්වලා වටපිට බැලුවා. දැක්කේ ලස්සන කාර් එකකින් බහිනවා කාන්තාවක්. ළමයෙක් වඩාගෙන. ළමයා හිනා වෙවී හිටියේ අතේ තිබ්බ සෙල්ලම් බඩුව පැද්දෙන තාලෙට. ඇය බැස්සාට පස්සේ තවත් කඩවසම් පුද්ගලයෙක් බැස්සා. ළමයා තමන් අතට අරගත් ඔහු ඒ කාන්තාවත් තුරුල් කරන් ගියේ ලොකු රෙදි සාප්පුවකට. ඔහු ඒ දිහාවට තනි කකුලෙන් දුවගෙන ගියා. කිහිලි කරුව මහ පාරෙ. ඇස් දෙකේ කදුලු පිරිලා. එතනට වෙලා විනාඩි 20 කි විතර අඩන්න ඇති. පස්සේ ආයෙ නැගිට්ටා. කිසි දෙයක් තමන්ට අයිති නැති බව ඔහුට තේරුනා. ආයෙ හැරිලා බලද්දි පුංචි දුවෙක් තමන්ගේ කිහිලි කරුව අල්ලන් ඉන්නවා. අර කාන්තාව පුදුමෙන් වගේ ඔහු දිහා බලාගෙන. වැටිලා හිටිය තැනින් නැගිට්ට ඔහු ඇස් දෙකේ කදුලු පිහිදාගෙන මූනෙ හිනාවක් එක්ක අර පුංචි දෝනි දිහාවට යන්න හැරුනා. 

ඔහු බොහොම අමාරුවෙන් අඩි දෙකක් ඉස්සරහට පැන්නා. මහා හොන් සද්දයක්. ඒත් එක්කම මහා අන්ධකාරයක්. මේ වතාවෙ ඹහු නින්දට වැටුනෙ සදහටම...

Thursday, September 15, 2011

යථාර්තයක් වූ R.P.L ගමන් මග...

R.P.L තියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත් අයටයි මේ. R.P.L අකුරු වල හැටියට නම් Richmond Premier League වෙන්න ඕන. ඒත් අපිට එක දවසින් League ගහන්න වෙලා මදි නිසා අපි මේක හදුන්වන්නෙ Richmond Champions' Trophy කියලා. ඒ කියන්නෙ රිච්මන්ඩ් ශූරයන්ගේ කුසලානය. රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ අංශයේ අය හැම අවුරුද්දකම සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් පවත්වනවා. හැම පන්තියක්ම සහභාගී වෙනවා. හැමෝම විනෝද වෙනවා. හැමෝම තමන්ගේ පන්තියට චියර් කරනවා. මැචස් වලින් අන්තිම එක ගුරු - සිසු තරගෙ. ඒක ගහන්නෙ සංවිධායක මණ්ඩලයයි ගුරුවරුනුයි. ඒකට ලොකු අවධානයක් යනවා. අන්තිමට DJ එකක් තියනවා. ඒකෙ හැමෝම නටනවා, විනෝද වෙනවා. අන්තිමට හැමෝම දිනුව අයට සුභ පතනවා. මේ කියන්නේ 2011 R.P.L එක ඕගනයිස් කරපු හැටි. 

මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුද්දකට කලින් අපේ ටීම් එක "ගිරිපුර ඇත්තෝ" 2010 R.P.L එක දින්න දවසෙ ඉදන්. ඒ කාලෙ අපි 12 වසරෙ.. අපි 13 නේ පන්තියක් පරාද කරලා තමයි දින්නේ. මම නම් ටීම් එකේ සෙල්ලම් කලේ නෑ. ඒත් දවසම ටීම් එකට චියර් කර කර හිටියා. කොහොම හරි අපි දිනුම්. ඒත් එක්කම අපිට 2011 R.P.L එක සංවිධානය කරන්න සිද්ධ වුනා. ඒක තමයි සිරිත. වැඩිම දුරක් එන 12 වසරෙ කණ්ඩායම තමයි ඊලග R.P.L එකේ සංවිධායකයෝ.

මීට මාස 5 කට කලිං තමයි අපි අඩිතාලම දැම්මේ R.P.L එකේ සංවිධාන වැඩ වලට. එදා ඉස්සෙල්ලාම අපේ සංවිධායක මණ්ඩලේ පත් උනා. ඉස්සෙල්ලා ම අපේ ලේකම්. ඒ පත් උනේ ශිරාන්. පස්සේ ශිරාන් මාව සභාපති විදියට යෝජනා කලා. ස්ථිර උනා ද කියලා නම් මතක නෑ. කොහොම හරි මම සභාපති. එච්චරයි. කොහොම හරි අපේ සෙට් එක පත් උනා ඊට පස්සෙ. පසිදු, රුක්ෂාන්, කාංචන, සදීෂ, ශිරන්ත, චමෝද, දේශාන් , ජයතිලක, ශාන්.. මේ අය එදා පත් උනා. එදා මම සතුටු උනා R.P.L ඕගනයිසින් කමිටි එකේ ප්‍රසිඩන්ට් උන එක ගැන. ඒත් ඒකෙ භාරදූර බව තේරුනේ පස්සේ. කොහොම හරි අපි පටන් ගත්තේ මසෙ 5 කට කලිං. එදා මම ඇහුවා "අපි මේ මුහුද හත් ගවුවක් තියාගෙන අඹුඩ ගහන්නද හදන්නෙ?" කියලා. ඒත් එදා ඒක පටන් ගත්තෙ නැත්නම් මේක කරගන්න වෙන්නෙ නෑ කියන එක විශ්වාසයි. මේ අවුරුද්දේ ප්‍රධාන තැන ලැබෙන වාර ගාණ වැඩියි. අනේ මන්දා. කොහොම හරි මෙහෙමයි වැඩේ සිද්ධ උනේ.


අපිට ඉස්සෙල්ලාම කරගන්න ඕන උනේ යන වියදම කොහොමද කවර් කරගන්නෙ කියන එක. එක පන්තියකින් 1000 ගානෙ ආවත් 18,000 යි. DJ එකට 10,000 ක් දුන්නාම තව ඉතුරු 8000 යි නේ. කුසලාන ගන්න, කිරි පැකට් එකක් වත් දෙන්න, බෝල ගන්න (එකක් 170 යි. එයින් 30 කටත් වැඩිය ඕන), සහතික දෙන්න වගේ වැඩ කන්දරාවකට... මේ හැම දෙයක්ම කරන්න අපිට සල්ලි හොයාගන්න ඕන. අපිට විවිධ යෝජනා ආවා. අපි sponsors ලා හෙවුවා. අන්තිමට අපි බුක් මාක්ස් ඩිසයින් කරන්න තීරණය කරා. මම යි ශිරානුයි එකතු වෙලා ඩිසයින් කරා. තව මම අදුනන නංගි කෙනෙක්ට කියලා තවත් 3ක් ඩිසයින් කරගත්තා. ඒ 3 නම් පංකාදු 5යි..!!! ඒ නංගි ගෙ නම වෙන්දේසි කරන්න අකමැති නිසා නොකිය ඉන්නම්, ඒත් බොහොම ස්තුතියි නංගිට. අන්තිමට බුක් මාක්ස් 1500 ක් ප්‍රින්ට් කලා. ඒවා අපේ 11 දෙනාට 10/- ගානෙ විකුණන්න දුන්නා. සමහර විට අද මේක කියවන අය ගාව අපේ බුක් මාක් එකක් ඇති. ඒ අයට බොහොම ස්තුතියි.  ඒ පුංචි 10/- වලින් තමයි අපි මේක කරේ. ඒ වගේම අපිට ඒවා විකුණන්න උදවු කරපු අයටත් ගොඩක් ස්තුතියි.

පස්සේ අපිට කමල් කියලා රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගත්ත ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් 25,000 ක මුදලක් දෙන්න පොරොන්දු උනා. අපි ඒක නිසා මේ පාර R.P.L එක මෙතෙක් කාලෙකට පවත්වපු ලොකුම R.P.L එක කරන්න වැඩ කලා. අපි කවදාවත් නොකළ දේවල් කරන්න හිතුවා. අපි හැම ටීම් එකකටම දවල් කෑම දෙන්න හැම දෙයක්ම ලෑස්ති කලා. මේ විදිහට මාස 4 1/2 ක් ගෙවුනා. තව සති 2යි R.P.L එකට. මම ගිණි පත්තු වෙලා. ඒත් ඒ වෙද්දි schedules ඔක්කොම හදලා ඉවරයි. දැන් තමයි හොදම හරිය.

අපි කමිටි මීටින් එකක් කෝල් කලා. පළවෙනිම එකට මම ඇවිත් ප්‍රශ්නයක් නිසා ඉන්නෙ නැතුව ගෙදර ගියා. ඊට පස්සේ ඉදන් පේ අය වැඩට බැස්සා. ඉස්සෙල්ලාම ඇගට දැනෙන වැඩකට අපි කලේ "R P L ' 11" කියලා අකුරු රිජිෆෝම් වලින් ගහපු එක. ඒක අස්සේ මේ බෝඩ් ගේන්න ගිහින් රුක්ෂාන් ට මරු වැඩක් උනා. ඕන දෙයක් කිවුවාම "හා.. කරන්නම්" කියන රුකියා එදා කුංජුත් එක්ක මෝටසයිකලෙන් ගිහින් රිජිෆෝම් බෝඩ් ගෙනාවා. මට නම් හිතන්නවත් බෑ කොහොම එච්චර අරන් ආවා ද කියලා. ඒක අස්සෙ රුක්ෂාන් කියපි, "මේ මම ඉස්සෙල්ලාම මෝටර් සයිකලේක ගිය වතාව. අවුවෙ අරන් එනකොට මට faint වෙන්න වගේ." ,"ඒ බං මේ රුකියා Paint වෙන්න ගියයි කියන්නෙ" හෙ.. හේ.. . සයිස් එක හිතාගන්ගත් එක්ක මම කියන්නම්. "R" අකුර ගැහුවේ අගල් 1/2 ඝනකම රිජිෆෝම් බෝඩ් 4 ක් එකතු කරලා. අපි හැ‍මෝම Maths කරපු එකත් හොදට ගියා. මම ගණනය කිරීම් කරේ. ශිරාන් ඇන්දේ. අනිත් අය උදවු කලේ. මායි ශිරානුයි ශිරන්තයි අකුරු කැපුවේ. අපි හිතුවෙවත් නැති විදිහට "R" අකුර මාර ගතියට ආවා. අනිත් ටිකත් ගැහුවා. පස්සේ හැමෝම පාට කලා මේවා. ඒ වෙද්දි නිවාඩු කාලෙ. අපි ඉස්කෝලෙ පටන් ගත්ත දවසෙ ඉදන් R.P.L සිහියෙන් හිටියේ. අපි හැම ටීම් එකකටම විස්තරයි ෆෝම් එකකුයි දුන්නා. පස්සේ මිස් ලා සර් ලා ට ආරාධනා කරා. ඒ ඔක්කොම හරි. අපි S.P. ගාවට ගිය සිද්ධිය කියන්න ඕන නෑ කියලා හිතෙන නිසා කියන්නෙ නෑ. ඒත් අපි ආවෙ මාර තරහවකින්. අපිට ජයවර්ධන සර් මාර ගැම්මක් දුන්නා අපේ වැඩේට. සර් ගේ සංකල්පයක් ලු නෙ මේක. 







අපි මේ දේවල් කලේ හැමෝටම සතුටු වෙන්න. ඔන්න ඒක අස්සෙ අපේ වාර විභාගෙ ළකුණු ඇවිත්. අපිත් එක්ක උදේ ඉදන් දුවලා පැනලා වැඩ කරපු රුක්ෂාන් ව හොයාගන්නවත් නෑ. පොරට අප්සෙට් ළකුණු වලට. හැබැයි ඉතිං එහෙම නම් මම බෙල්ලෙ වැල දාගන්න ඕන. ශිරාන් හතර පස් පාරක් බෙල්ලෙ වැල දාගන්න ඕන. කොහොම හරි මේ පාර පන්තියේ 5 ද කොහෙද. ශික් විතරක්. :( හරි ඒවා ඔක්කොම අපි අමතක කරලා ආයෙ වැඩට බැස්සා. ශිරන්තට හැම තිස්සෙම දුන්නේ ෆොටෝකොපි ගහන්න. එදා සර් කෙනෙක්ට ඉන්විටේශන් එකක් දෙන්න කියලා කතා කළාම, "ආ.. හරි ෆොටෝකොපියක් නෙ" කිවුව වෙලේ අපිට හිනා. කොහොම හරි දැන් දවස් 2ක් විතර. අපිට certificates ටික ගහගන්න පුලුවන් උනා. ශිරාන් ඒවායෙ නම් ලියලා. ඒත් එක්කම හැම කෙනෙක්ටම ටයිල් එකක් දෙන්න ඕන. ඒ ටිකත් ශිරාන් ඇලෙවුවා. 

දැන් R.P.L එකට එක දවසයි. මම එදා උදේ 7 වෙද්දි ඉස්කෝලෙට ආවා. ඒ වෙද්දි කවුරුත් නෑ. මම ශිරාන් ගෙ ගෙදර ගියා. ශිරාන් තේ එක බිබී හිටියේ. මම ආපු ගමන් ටක් ගාලා ඒක ඉවර කරලා බෝඩ් ටික අලවන්න ගියා. අපි දෙන්නා බෝඩ් අලවන අස්සේ එක්කෙනා දෙන්නා අපේ මෙම්බර්ස් ලා ආවා. මම නම් දවසම වැඩ කරනවා කියලා හිතාගෙන බත් මුලකුත් බැදගෙන ආවේ. අපි දවල් වෙනකං වැඩ කලා. ඒත් එක්කම stumps පාට කලා. කොඩි කණු ටිකේ කොඩි බැන්දා. තව ගොඩක් දේ කලා. තව අපේ අයගේ ඉන්ට(ර්)විවුස් ගත්තා. ඒක නම් සිනා සාගරයක්. අයියෝ මතක් වෙනකොටත් හිනා යනවා. කොහොම හරි හවස තිබ්බේ ලොකුම වැඩ ටික. අච්චර අමාරුවෙන් ගහපු "R.P.L '11" අකුරු ටික හොස්ටල් එක උඩ දැලේ ගහන එක. මාර ගේමක් දීලා ශිරන්තවයි පසිදුව යි නැග්ගුවා. මමයි ශිරානුයි පල්ලෙහා ඉදන් කටු ගහ ගහ උඩට දුන්නා. ඒ අස්සේ අනිත් අය කොඩි කණු හිටෙවුවා. අනිත් අය boundary එක මාක් කරලා ඒකෙ කොඩි ගැහුවා. මේ ඔක්කොම අපි කරා. ඒක අස්සේ අපි බෝධි පූජාවකුත් කලා. අපිට සුජිත් සර් ඇවිත් මාර ගැම්මක් දුන්නා. ඒක අස්සේ සජිත් අයියා තමයි පිච් එක හැදුවේ. මාරම විදිහට ඒක හදලා දුන්නා. අපිට ඒක ලොකු හයියක්. ‍බවුන්ඩ්‍රි එක හදන එකේ ප්‍රශ්නයක් වෙලා මටයි ශිරාන් ටයි එතනට ගිහින් වැඩිදුර විස්තර කරලා දෙන්නත් උනා. මේ ඔක්කොම කරද්දි පසිදු යි ශිරන්ත යි උඩ. හොස්ටල් එකේ වහල උඩ. හැබැයි ඉතිං අපි තරම් නම් කට්ටක් කෑවෙ නෑ මම හිතන්නේ. කොහොමින් කොහොම හරි අකුරු ටික ලස්සනට හොස්ටල් එකේ වහලේ වැදුනා. ඒක දකිනකොටත් මාර ආසයි. තාමත් මතකයි ඒකෙ ලස්සන. 

අපි එදා වැඩ ඉවර වෙලා යනකොට 9ත් පහු වෙලා ද කොහෙද. මම උදේ ආපු වෙලේ ඉදන්. බුදු ගණන් උණවටුනට යනකොට. ඒ මොනවා තිබුනත් මම ගිහින් ඇගපත හෝදගෙන රෑ 10 වෙද්දි F.B. ලොග් උනා. එදා මට නිදිමතයි බඩගිනියි. අම්මා ඇහුවා "පුතේ බත් කන්නෙ නැද්ද?" කියලා. මම කිවුවා "හපෝ බෑ අම්මෙ කාලා බඩ පිරිලා ඉන්නෙ" කියලා. කොහොම හරි මම එදා නිදිමතේ රෑ 1 ත් පහු වෙනකම් F.B. හිටියා. පස්සෙ මට පුටුවෙ නින්ද ගිහින්. මට 2 ට විතර ඇහැරුනා. පස්සේ ඇදට ගියා. ඒත් නින්ද යන්නෙ නෑ, R.P.L එක ගැන මතක් වෙනවා. මට තමයි ආරම්භක කතාව තිබ්බේ. මම කිසි දෙයක් හිතන් හිටියෙ නෑ මොකක්ද කරන්න ඕන කියලා. කොහොම හරි මම 3.55 ට විතර ඇහැරුනා. 5 වෙද්දි ඉස්කෝලෙට ගියා. ගිහින් ශිරාන් ට කෝල් කරනකොට පොර වැසිකිලියෙ. හි හි.. මමත් එලියට වෙලා බලං හිටියා. ඔන්න ආවා. අපි දෙන්නා ගිහින් පොඩි වික්‍රමක් කලා. ඒක කිවුවොත් අපිව ඉස්කෝලෙනුත් පන්නනවා. හි හි.. කොහොම හරි අපි උදේ පහනක් එහෙම පත්තු කරලා ආශිර්වාද ලබාගත්තා. 

DJ කරන අයියලා ත් ආවා. එක්කෙනා එක්කෙනා දැන් bat කරකව කරකව එනවා. අපෙන් වෙන්න ඕන දේවල් හරි. මාරම ලස්සනයි ග්‍රවුන්ඩ් එක. මට නම් මාර හැපී. ඒත් එක්ක මතක් උනා පටන් ගන්නෙ මගේ ස්පීච් එකෙන් කියලා. කියන්න දෙයක් නෑ. හිතට එන දෙයක් කියනවා කියලා හිතන් හිටියේ. කොහොම හරි හැම දෙයක්ම පටන්ගත්තා ජාතියට ගරු කරලා ජාතික ගීයෙන්...    

Monday, September 12, 2011

ස්තුතියි සැමටම...


2011 RPL තරගාවලිය 13 - D වැල්ලේ Fighters කණ්ඩායමට ජය ගෙන එමින් නිමා වුනා.. ඔවුන් දක්ෂයින්.. සැබෑ දක්ෂයින්... සැවොම ඔවුනගේ දක්ෂතා ගැන මතුවට කතා කරාවි. නමුත් මම ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන කතා කරන්නේ නෑ. මම සැබෑ දක්ෂයින් ගැන, වැඩිපුර කතා නොවන දක්ෂයින් ගැන, ඇතැම් විට සැමටම මගහැරුනු දක්ෂයින් ගැන කියන්නම්. 

ඒ මගේ කණ්ඩායමේ සිටි සාමාජිකයන්. ඒ කියන්නේ RPL 2011 යථාර්තයක් කරන්නට දහඩිය, කදුලු, ලේ හෙලපු සංවිධායක මණ්ඩලය. චමෝද, දේශාන්, ජයතිලක, ශාන්, මට මතකයි Sneath Ground එක වටේ ගිහින් Boundry එක හදපු හැටි. මතකයි කොඩි කණු හිටවපු හැටි. මතකයි පාර තලපු හැටි. මට මතකයි කිරි පැකට්, කෑම පැකට් අදින්න දුවලා පැනලා වැඩ කරපු හැටි. සදීෂත් එයින් කෙනෙක්. මට මතකයි ශිරන්තයි පසිදුයි හොස්ටල් එකේ වහලට වෙලා පැය ගැණක් කාපු කට්ට.. Invitation හදන්න විදපු දුක. Photocopy ගහන්න තිබ්බ ආසාව.. හි හි.. රුක්ෂාන්, කාංචන සතයක් වත් එහේ මෙහේ වෙන්න නොදී ලස්සනට budget එක handle කරපු හැටි. ගාල්ලේ ඉදන් රිජිෆෝම් බෝඩ් කත්දරාවක් අර හුලගේ ආම්බාන් කරගෙන මෝටර් බයිසිකලේ ඩබල් දාලා ආපු හැටි. ශිරාන්, ඔහු කරපු දේවල් නම් මෙහෙම කියන්න බෑ. අවුරුදු ගාණක් කිවුවත් මදි. මාස 5 කට කලින් අපේ group members ලගෙ නම් ටික ලියපු වෙලේ ඉදන් පෙරේදා වෙනකොට certificate 150 ක නම් ලියලා Tiles 150 ක් අලවලා බර ඔක්කොම තමන්ගේ කරට අරන් වැඩ කලා. Designings කරා Trailers හැදුවා. මේ හැම දේම කලා. ඇත්තටම ඔහු ලොකු හයියක්. මේ සියලු දෙනා ගෙ හයියෙන් තමයි අපි RPL 2011 සාර්ථකව නිම කලේ. සහෝදරයිනේ ගොඩක් ස්තුතියි. මාර සහයෝගයක්.


ඒ වගේම මතක් කරන්න ඕන කවෙන්ට්‍රිය නියමෙට දුන්න තාත්තා (අනේ නම මතක නෑ) අනිත් මල්ලිලා හැමෝම.. ඒත් එක්කම අපේ ෆොටෝ ගහපු මල්ලිලා දෙන්නා. සංකල්ප, මගේ ගජ යාළුවා, මාර සහයක් දුන්නා. "උඹලා කරන ඕන වැඩකට අපි ඉන්නවා" ඒ වචන ටිකත් ඇති. මේනුක, තනුජ, කවිදු පුදුම සහයක් ලබලා දුන්නේ. ඒ වගේම සුජිත් අයියා කාපු කට්ට මතක් කරන්න ඕන. අයියා නැත්නම් මේ දේ කරගන්න වෙන්නෙ නෑ. අචලංක අයියා යි කොස්තා අයියා යි විශේෂයෙන් මතක් කරන්න ඕන. මරෙ කට්ටක් කෑවෙ. ගුරු මණ්ඩලේ හැම කෙනෙක්ටමත් ගොඩක් ස්තුතියි. අනේ නම් නොකියවුනා නම් අමනාප වෙන්න එපා. හැම දෙනාම මාර හයියක්.

අන්තිමට RPL එක සාර්ථකයි. හැමෝටම ගොඩක් ස්තුතියි. ඉල්ලනවා මේ මිනිස්සුන්ව ත් මතකෙ තියාගන්න කියලා. මේ අය නැත්නම් RPL කියන්නෙ හීනයක් විතරයි. 

Friday, September 9, 2011

පොයම්...

ගුරු දිනේ එනවා නේ ඉස්කෝලෙ. අපි ශිෂ්‍යනායක මණ්ඩලයෙන් හොද වැඩක් කරන්න යන්නේ.. ඒ වෙනුවෙන් බුක් මාක්ස් වගයක් ගහනවා කිවුවා.. අපිට තමා විකුණන්න වෙන්නේ කියලා අපි හෙන අප්සෙට් එකෙන් හිටියේ. ඒක අස්සේ අපිට ලියන්න කිවුවා නේ බුක් මාක් වලට පොයම්.. හපොයි.. ඒකත් කඩ්ඩෙන්.. කවදා කාපු ටකරං ද? ගත්තෙ නැතැයි ලියන්න..

Waiting..
Till you wake me up..
take my hand..
and show me the world..
of my own..

Hold me..
Whenever I fall..

Till you show me..
What to DO and what NOT TO DO

But,

You will never show me again,
 the world of my own..
You never will hold me again,
neither teach me Right and Wrong  

I know you want to..
But you can't now..
Your spirit is with me though
Unseen to all, But to me..!!!

තේරුනාද මන්දා.. මොකද මමවත් තේරුම දන්නේ නෑ.. හි හි..

අපේ යාළුවා සිරිගෝරිස් නුත් මරු එකක් ලියලා තිබුනා. සාක්කුව අවුස්සලා හොයාගත්ත ගමන් දාන්නම්..

Wednesday, September 7, 2011

ඇයි මේ විකාර..

මෙන්න මේ සින්දුව මට අහන්න ලැබුනෙ අද. අහන්න ගත්තම මට හිතුනෙ රණවිරුවොන් ගැන පොඩ් ළමයි ටිකක් එකතුවෙලා කියන ලස්සන උපහාර සින්දුවක් කියලා. ඒත් ඒ ලස්සන අස්සේ මහ විකාරයක්. රැප් කරන්න ඕන තැන් තියනවා. ඒකට මේ වගේ සින්දු යොදාගන්න එක මොකක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් ද කියලා මට නම් හිතාගන්න බෑ. මේ සින්දුව අර පිස්සු රැප් කිරිල්ල නැත්නම් කොච්චර ලස්සනද කියලා ඔයාලාම හිතන්න..

Sunday, September 4, 2011

හපොයි සර්...

අද මේ කියන්න යන්නේ අපේ ෆිසික්ස් පන්තියේ දැන් මාස ගාණකට කලිං වෙච්ච සිද්ධියක්. අපේ ක්ලාස් එන අය නම් දන්නවා ඇති අපි එදා කොච්චර හිනා උනා ද කියලා. හිනා වෙලා කදුලුත් ආවා. කොහොම හරි වැඩිය අගේ නොකර කියන්නම්.

ඔන්න එදා සර් පාඩම පටන් අරගෙන කියලා දෙන්න ගත්තා. එක දිගට දැන් පැය 2 ක් විතර. අපිට එපා වෙලා. නිදිත් මතයි. මම බාගෙට නිදි. අපි සර් ට කිවුවා, "අනේ සර් කතාවක් කියන්නකො, කම්මැලියි" කියලා. සර් කිවුවා. "හා.. හා.. හොදයි" කියලා. අපිත් ඉතිං හරිබරි ගැහිලා වැඩි උනා සර් ගෙ කතාව අහන්න..

සර්  : පුතාලා ඒ කාලෙ අපේ කැම්පස් එකේ හිටියා නෙ කෙල්ලෙක්..
අපි  : ශා..
සර් : මුන්ට කෙල්ලෙක් කිවුවොත් >:(
අපි  : හරි හරි... සර් කියන්නකො..
සර් : ඒ කෙල්ලට පුදුම හැකියාවක් තිබ්බේ.. ඒ කෙල්ලට කොල්ලො 21 ක් හිටියා නේ..
මම : නෑ.. :O එතකොට සර් කී වෙනියා ද?
සර් :  >:( අලුතෙන් ලෙක්චරර් කෙනෙක් ආවොත් අතාරින්නෙ නෑ..
මම : නෑ...

(මටත් ඉතිං කට වහං ඉන්න බෑ නේ.. අපි හිතුවෙ ඉවරයි තමයි කියලා.. ඒත් නෑ නේ.. මෙන්න තව තියනෝ)

සර් : ඒ කාලෙ අපේ පන්ති වල හිටියා නෙ කොල්ලෙක්.. මූ පිස්සුවෙන් වගේ කෙල්ලෙක්ට ලවු කලා නෙ. ඒත් මේ කෙල්ල කැමතිම නෑ. පස්සෙ මේ කොල්ලා ට ඒ කෙල්ල ගැන හිතලා පිස්සු හැදිලා.. මේ කෙල්ල කැම්පස් එන්නේ කෝච්චියේ.. දවසක් මේ කොල්ලා පිහියකුත් අරන් ගිහින් කෝච්චියේදි කෙල්ලව හම්බුවෙන්න. ගිහින් තියෙන්නෙ අන්තිම වතාවටත් අහන්න.
කොල්ලා අහලා. කෙල්ල මේ පාරත් බෑ කියලා. කොල්ලා පිහිය අරන් ඇනගෙන ඇනගෙන ගිහින්. කෙල්ලගෙ ඇගේ ලේ ගිහින් එතනම මැර්ලා.. මේ කොල්ලා ඒ කෙල්ලවත් උස්සගෙන ඊලග ස්ටේශන් එකෙන් බැහැලා. ලේ පිරිච්ච මලකදක් උස්සන් එනවා දැකපු ස්ටේශන් මාස්ටර් ට * ත් ගිහින්.
අපි : හපොයි..
සර් : අපි ඒ මළගෙදරත් ගියා. ඒ කෙල්ලගෙ ඇගේ ලේ ගිහින් හූනියක් වගේ.. හ‍පොයි..
අපි : හ්ම්...
සර් : දැං ඉතිං කියන්න තියෙන්නෙ කවුරු හරි කෙනෙක්ට ඇත්තටම ලවු කරනවා නම්, ඔහොම වැඩ කරන්න යන්න එපා කියලා තමයි..

(දැං කියන්න දෙයක් නෑ. සර් හෙන ජොලි විදියට ඒක කිවුවේ. මටත් කට පියන් ඉන්න බෑ නේ..)

මම : හරි සර්.. ඉතිං අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ නං, මරන්න ත් එපා නං, ඉස්සෙල්ලා ඔය කතාව කියලා පස්සෙ කැමැත්ත ඇහුවොත් හරි නේ...

සර් මුකුත් නොකිය පාඩම කරන්න ගත්තා ද කොහෙද..