මාස කිහිපයකට උඩ සිකුරාදාවකි. සුපුරුදු ලෙස කාඩ් ටික එක්කාසු කොට කාඩ් බෝඩ් පෙට්ටියට දමා පසෙක වූ මිතුරෙකුට දුන් මම ඔවුන් සමගම කැම්පස් එක ඉදිරිපස ගේට්ටුව වෙත පිය නැගුවෙමි.
“මචං, උඹ ගාලු යනවා නෙ. මම මේ weekend එකේ යන්නෙ නෑ බං. පොඩි වැඩ වගයක් තියනවා“
යහලුවන්ට සමුදුන් මම බෝඩිම වෙත යන්නට ගමන් ආරම්භ කළෙමි. කිලෝමීටර 2ක් පමණ දුරකින් තිබූ බෝඩිමෙහි මා ප්‍රිය කළ කිසිදු දෙයක් නොවී ය. තනි කාමරයක තනිව සිටි මා හට එය අමුත්තක් වූයේ නැත. මම ගෙදර සිටින්නේ ද නැද්ද යන වග අසල්වාසීන් නොදන්නා සේම බෝඩිම අවට සිටින වුන් ද දැන නොසිටියා යැයි මා හොදින් ම දනී. ඒ ඉතාම කලාතුරකින් නිවසින් හෝ බෝඩිමෙන් එලියට බහිනා නිසා යැයි මට සිතේ. ඒ තනි කාමරයක් තුල ඇති නිදහස අවට නොතිබුන නිසා වන්නට ඇත.
මීටර දෙසියයක් පමන ඉදිරියට යන විට වැස්සක් ඇද වැටෙන්නට පටන් ගත්තේ අහම්බෙන් මෙනි. එදිනත් වෙන බොහෝ දින වල මෙන් ම පයින් බෝඩිමට යන්න ඉටා ගත් මා හට අදහස අත්හරින්නට හිත දුන්නේ නැත. ලියන පොත යහලුවෙක්ට දුන් බව මතක ය. තෙමෙන්නට දෙයක් නැත. පයින් ම ඉදිරියට පිය නැගුවෙමි.
මා ඉදිරියෙන් කලු කුඩයක් ඉහලා ගත් සිසුවියකි. බෑගය ඇගට තුරුලු කොට ප්‍රෙව්සමෙන් අඩි තබමින් ඇය ඉදිරියෙහි ඇති බස් නැවතුම වෙත යන්නී ය. මදක් වේගය වැඩි කෙරූ මා අඩියෙන් දෙකෙන් ඇය ඉස්සර කළෙමි.