Tuesday, January 17, 2012

අපිට මේ දේ උරුම ඇති

අද ජීවිතේ සන්ධිස්ථානයක්. මේ තමයි මගේ පුංචි බ්ලොග් අඩවියේ ලියවෙන අන්තිම කතාව. ගොඩක් සැරවල් වල ආගන්තුකයා යන්න ගියා බ්ලොගයෙන්. ඒ වෙලාවෙදි ගොඩක් අය ආගන්තුකයා ව නතර කරගත්තා. මේ පාර කවුරුත් මාව නතර කරගන්න එකක් නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි උසස් පෙළ විභාගෙ. ඒත් එක්කම කියන්න ඕන මේ බ්ලොග් අඩවිය බලධාරීන් විසින් මකලා දානකන් කවදාවත් මේක ඩිලීට් කරලා දාන්නෙ නෑ. ඒ විශේෂ කෙනෙක්ට, ඇත්තෙන්ම කියනවා නම් විශේෂම කෙනා මගෙන් ඉල්ලපු ඉල්ලීමක් නිසා. ඒත් එක්කම මේ තමයි මගේ බ්ලොග් ජීවිතේ අවසාන ලිපිය. මම ඉස්සෙල්ලාම පටන්ගත්ත බ්ලොග් අඩවිය තමයි මේ. මම ම තමයි අන්ධකාරයේ නවාතැන කියන බ්ලොග් අඩවියත් කළේ. ඒ දේ රහසක්. අද එලි කළා. මගේ හිතට දුක දැනුනාම, දෙයක් නැතිඋනාම ගොඩක් හැගීම්බර වෙනවා මම. ජීවිතේ ලැබුනු වටිනම දේ මට දවසක් කිවුව දේකට පස්සෙ මට මගේ ගැනම කළකිරිලා මම මගේ බ්ලොගෙයි මම පාවිච්චි කරපු විද්‍යුත් තැපැල් ලිපිනයයි මකලා දැම්මේ. jnsx3nds@gmail.com කියන එක ආයෙ ගන්න බැරිවෙන්නම මැකිලා ගිහින්. ඒකෙ තිබ්බ ඔක්කොම මේල්ස්, යූටියුබ් අකව්න්ට් එක සේරම. ආයෙ රිකවර් කරන්න බෑ මට ඒකෙ කිසි දෙයක් මතක නෑ. කමක් නෑ. මට කියන්න ඕන උනේ එච්චරයි මගේ බ්ලොටගේ මිතුරන්ට. ගහක් ගලක් වගේ ඉන්න මටත් දුක දැනෙනවා යාළුවනේ. බ්ලොග් පෝස්ට් එකකින් කියවෙන්නෙ ගොඩක් ටිකයි. මම මුළු රෑ පුරා නිදි නැතුව ඉන්න මොහොතවල්, මම දන්නෙම නැතුව මේ ඇස් දෙකෙන් කදුළු බින්දු කඩන් වැටෙද්දි කවුරුත් මං ලග නෑ. හැමදාම මම පුරුදු උනේ දුක හංගන් ඉන්න. මාව හොදටම දන්න කෙනෙක්ට වත් තේරුම්ගන්න බෑ මම කොහොම කෙනෙක් ද කියලා. මේ හිත අස්සෙ පත්තුවෙන ගින්දර දන්නෙ මම විතරයි. අන්තිම මොහොතෙ මම බොරු කියන්නෙ නෑ කාටවත්ම. :)

මේ කියන්නෙ ඔයාට. මම ජීවත් උනේ, හැදුනෙ වැඩුනෙ උණවටුනෙ. මට සෙල්ලම් කරන්න යාළුවෙක්වත් හිටියෙ නෑ මං පොඩි කාලෙ. මම ඒ කාලෙ ඉදන් කැමතියි යාළුවො එක්ක ඉන්න. මොකද මට මෙහේ ගොඩක් පාලුයි. මට හම්බුවෙලා කතා කරන්න තරම් හොද යාළුවො මට මෙහේ හිටියෙ නෑ. තාමත් නෑ. අවුරුදු 18 ක් දැන් මට. මගේ ළමා කාලෙ නම් දැන් ඉවරයි. ඒත් තාමත් මම එතනමයි. මම ගෙදරින් එලියට යන්නෙ පන්තියකට යන්න විතරයි. :) මම අකමැතිම දෙයක් "කෙල්ලො" කියන මාතෘකාව. ඒත් මම දන්නෙ නෑ මම නොදැකපු ඔයාට මෙච්චර ආදරේ කරන්න මොකක්ද හේතුව කියලා. ඒ 13 වෙනිදා මට අදටත් මතකයි. ඔයා මට ආදරෙයි කියලා චැට් එකේ කියපු වෙලේ මට මොනවා උනා ද කියලා හිතාගන්න බෑ. අදට මාස 8යි දවස් 4යි අපේ ආදර කතාවට. මම මේ කතාව ඉවර කරන්නෙ නෑ මොකද තාම මම ඔයාට එදා වගේම ගොඩත් ආදරේ නිසා. මම දන්නෙ නෑ ඇයි අපිට මෙහෙම උනේ කියලා. අපි කොච්චර නම් අපි දෙන්නාට දෙන්නා ආදරේ කළා ද? මාස 8 ක් තිස්සෙ වෙච්ච ඒ හැම දෙයක්ම මට අද වගේ මතකයි. 

අපි තරහා උනා යාළු උනා. ගොඩක් කිට්ටු උනා. මම ඔයාව සතුටු කරන්න මට පුළුවන් හැම දෙයක්ම කරන්න දෙපාරක් හිතුවෙ නෑ. පින්තූරයක් එඩිට් කරත්, කාටවත් අහන් ඉන්න බැරි සින්දුවක් කියලා ඔයාට එවුවත්, ලස්සන ආදර කතාවක ලිංක් එකක් එවුවත්, ඒ හැමදේම කළේ ගොඩක් ආදරෙන්. වෙන කොල්ලො නම් කෙල්ලො එක්ක දවසට පැය ගාණක් කතා කර කර ඉන්නවා ඇති. ඒත් මම තාමත් ඔයාගෙ කටහඩ අහන්න පෙරුම් පුරනවා කියලා ඔයාට දැනෙන්න නැතුව ඇති. පන්තියකදී හරි වෙන කොහේදි හරි ඔයාව දැකගන්න තරම්වත් මම පින් කරලා නෑ. මම පවුකාරයෙක්. ඒක හැමදාම එහෙම්මමයි. ඒත් ඒ වගේ පවුකාරයෙක් ට ඔයා වගේ කෙනෙක් ව ලැබෙන්නම තීරණය උනේ ඇයි? මට තේරෙන්නෙ නෑ ඒත් අපි දෙන්නා ට අද මෙහෙම උනේ ඒ කාළකණ්නියාගෙන් මිදිලා ජීවත් වෙන්න ඔයා වාසනාවන්ත උන නිසා වෙන්න ඇති. :) ජීවිතේ ඉස්සරහට යයි. උසස් පෙළ ගෙවිලා යයි. මට නම් උසස් පෙළ කියන එක දැන් හීනයක් වෙලා ඉවරයි. ඔයා එක්ක ආයෙ කතා කරන්න ලැබෙන එකක් නෑ. ඔයා පිට රටකට යයි. මම මෙහේ තනි වෙයි. හොයන්න උත්සාහා කරන්නෙ නෑ මම ඔයාව. ඔයා එපා කිවුව නිසා. හෙවුවත් මට ආදරේ කරපු ඔයාගෙ හිත ගැන දන්න තරම් ඔයා ගැන දන්නෙ නෑ. :) 

ඔයාට මේ දේවල් අමතක කරන්න අමාරු බව මම දන්නවා. ඒත් ඒ දේ කරන්න. මොකද ඔයාගෙ ලස්සන ජීවිතේ විනාස කරා කියලා කවදා හරි ඔයා කිවුවොත් මට දරාගන්න බැරි වෙයි. ඔයා එහෙම නොකිවුවත් එහෙම හිතන වාරයක් වාරයක් පාසා මම නොමැරී මැරෙයි. මට ලබන්න බැරි දෙයක් වෙන කෙනෙක්ට ලැබෙනවා කියන එක, මගේ ජීවිතේ මම ගොඩක්ම ආදරේ කරපු ඒ වස්තුව නැති වෙනවා කියන එක. ඒ දේ මට ලොකු දුකක් ගෙනෙයි. මට ඒක දරාගන්න පුළුවන් වෙයි ද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් මට ගොඩක් ඊරිසියා හිතෙයි ඔයාව අයිතිකරගන්න කෙනා ගැන. ඒ මොනවා උනත් මට ලොකු සතුටකුත් දැනෙයි ඔයා ලස්සන ජීවිතයක් ගෙවුවොත්. ඔයා වෙන කෙනෙක් එක්ක ලස්සන ජීවිතයක් ගෙවනවා කියලා දැනගත්ත දවසට මම තත්පර ගාණක ලොකු දුකකුත්, ඒ දුක දරා ගන්න පුළුවන් උනොත් ඉතුරු ජීවිත කාලෙටම සතුටුම කෙනාත් වෙයි. මම දවසක් දැක්කා කෙනෙක් කියලා තියනවා, "ආදරණීයයන් අපිට ලැබිය යුතුම යයි නීතියක් නැත.. විය යුත්තේ ඔවුන් කොහේ හෝ සතුටින් ජීවත් වීම පමණි..." කියලා‍. ඒ දේ මගේ හිතට තදින්ම දැනුන දෙයක්. මම විශ්වාස කරනවා ඔයා වගේ කරුණාවන්ත කෙනෙක්, ඔයා තරම් ලස්සන හිතකුයි හදවතකුයි තියන කෙනෙක්ට ජීවිතේ කවදාවත්ම වරදින්න බෑ කියලා. මම කවදා හරි ජීවිතේ පුංචිම පුංචි හොදකි හරි කළා නම්, ඔයා ඒ මම කරපු පුංචි පිනේ බලෙන් ගොඩක් සතුටින් ජීවත් වෙන්න ඕන. ඒකයි මගේ පැතුම. 

මගේ ජීවිතේ එකම එක වතාවක් විතරක් කළ දෙයක් ආදරය. ඒ දේ කළ දෙයක් නෙමෙයි, දිගටම කරන දෙයක්. හැමදාටමත් කරන දෙයක්. ජීවිතේ මම දැකපු මිනිස්සු කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලස්සන බව. ඒත් මම ඔයාට ආදරේ කියන්න මම ඔයාව දැකලා තිබ්බෙත් නෑ. මම ආදරේ කළේ ඔයාට. ඔයාගෙ බාහිරට නෙමෙයි, ඔයාගෙ හිතට. ඔයා ගොඩක් ලස්සන බව මම දන්නවා. ඒත් මට ඒ ලස්සනින් කිසිම වැඩක් නෑ. ඔයාගෙ ඒ ලස්සන හිත එහෙම්ම හැමදාම තිබ්බොත් මට ඒ ඇති. මම වැඩියෙන්ම ආස කළ දෙයක් ඔයා ෆේස්බුක් එකේ ඔන්ලයින් එන එක. ඒ මොහොතෙ මම මගේම ලෝකෙ තනි වෙනවා. කවදාවත්ම ඔන්ලයින් දැකලා නැතුව ඇති සමහරු මාව. ඒත් මම තරම් ෆේස්බුකියේ සැරිසරපු කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ. සැරිසැරුවා නෙමෙයි, එක පිටුවක් දිහා බලන් උන්නා. ඒකෙ වෙන හැම දෙයක්ම ගොඩක් දැනුනා. පුංචි වෙනසක් උනත් ගොඩක් කලබල උනා. ඒ දේවල් වලට රණ්ඩුත් උනා. ඒත් ඒ මට ඒ වෙනස තේරුම්ගන්න බැරි උන නිසා. මම කොච්චර දේවල් අත්ඇරියත් මම මගේ ආගන්තුක බ්ලොගේ ඔයාගෙ කමෙන්ට් එකක්වත් වැටිලා ද කියලා බලන් ඉන්නවා කියලා ඔයා දන්නෙ නෑ නේද? ඔයා දන්නෙ නැති ගොඩක් දේවල් තියනවා. :) 

මේ හැම දෙයක්ම කොහොම උනා ද කියලා නම් මට තේරෙන්නෙ නෑ. ඒත් එක්කම කියන්න ඕන ඔයා ලියලා තිබ්බ දේවල් මම දැක්කා. ඔයා ඒත් එක්කම මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා. ඔයාගෙ බ්ලොග් එක. ඒකෙ ලිංක් එක එනකන් මම බලන් ඉන්නවා. ඒ වෙනකොට මම මැරිලා හිටියොත් ඔයාගෙ මහන්සිය අපරාදෙ වෙන නිසා ඒ ගැන හරියටම දැනගන්න. ඊට පස්සෙ කැමති නම් ලියන්න. මම ඔයාට වෙච්ච පොරොන්දු ගොඩක් මම ඉශ්ට කරන්න උත්සාහා කරා. ඔයාට නම් මතක ද දන්නෙ නෑ. :)  කමක් නෑ අමතක උනාට නම්. පුළුවන් නම් මාවත් අමතක කරන්නකෝ. හිතේ ඇතිවෙච්ච ආදරණීය හැගීමක් නැති කරලා දාන්න තරම් මම කුහක නෑ. ඒත් ඔයාගෙ ජීවිතේ විනාස වෙයි කියලා මට බයයි. මම මේ මොනවා ලිවුවා ද කිවුවා ද කියලා මම දන්නෙ නෑ. මට මේ දේවල් නොලියා ඉන්නයි තිබ්බෙ කියලා හිතෙනවා. ඒත් කවදා හරි ඔයා අනිවාර්යයෙන්ම එයි කියලා දන්නවා මගේ පුංචි බ්ලොගේ ට. 

ඔන්න අද තමයි ඒ දවස. ඉස්සෙල්ලා ම ඔය කදුලු පිහිදගන්නකෝ.. ඔයා දන්නවා නෙ මම කැමති නෑ කියලා ඔයා අඩනවා දකින්න. ඒකත් මම නිසා. හරි. දැං කොහොමද ඔයාට. කොහොමද ඒ ලෙවල්. හොදට කළා නේද? මම දන්නවා ඔයා ඉතිං දක්සි නේ.. :) දැං ඉතිං මොනවා ද කරන්න ඉන්නෙ? කැම්පස් ගිහින් දොස්තර නෝනා කෙනෙක් වෙලා අහින්සක මිනිස්සුන්ට උදවු කරන්නද තාම කල්පනාව. නැත්නම් කොහේ හරි වෙන රටකට යන්න ද? කොහේ ගියත් හොදට ඉන්නකෝ.. පිස්සි.. තාම මේ කාළකණ්නි කොල්ලා ව අමතක කරන්න බැරි උනා නෙ.. කමක් නෑ.. ඔන්න මම මේක ඩිලීට් කළේ නෑ හොදද... ඔයාව හෙවුවෙත් නෑ.. ඒත් ඔයා දන්නෙ නෑ මම කොච්චර අමාරුවෙන් ද ජීවත් උනේ කියලා.. (ජීවතුන් අතර නම් විතරයි) 

ජීවිතේ කොච්චර දේවල් නැති උනත් එක දෙයක් නැති උනේ නෑ..

දන්නවා නෙ මොකක්ද කියලා.. 

මම මගේ සින්ඩරෙල්ලා ට තාම ගොඩඩඩඩඩඩඩඩඩාකකකක් ආදරෙයි... 

මේ මම ඒ කාලෙ කරපු පිස්සු වැඩ.. වෙලා තියනවා නම් බලන්නකෝ.. :)
ගොඩක් දිගයි නේද? මොනා කරන්නද අන්තිම එක නේ. ටිකක් දිගට ගැහුනා.. 
බුදුසරණයි ඔයාට..     








මම බ්ලොගේ ඉදී ද දන්නෙ නෑ.. එහෙම උනොත් මගේ ෆෝන් එකට එවන්න ලිංක් එක. මතක නේ නොම්බරේ..!!!

Sunday, January 15, 2012

නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා

නොසිතූ නිමේශයක..
පැමිණ මා සිත් යහන් ගැබ තුළට..
සිත් අහස සසල කොට..
දුන්නු පහසේ සුවද කැටි කොට..

සිතෙහි රදවා එපහස..
දී වේදනා මසිතට..
කිම ද මම කළ වරද..
නිදි බිදින්නට මේ සෑම රැය..


Saturday, January 14, 2012

අනේ මගේ බලු පැටියෝ

උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි. ම‍ම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි.

ඒත් උඹට කවුදෝ මන්දා හොදටම ගහලා. උඹේ ඇහැක් ළග තුවාල වෙලා. වෙනදා මාගේ ඇගට පැන්න උඹ ට අද හිටන් ඉන්නවත් බෑ. අද උඹ බිම දිගා වෙලා, කළුවරේ. එලියට වෙලා තනියම. කන්නෙ බොන්නෙත් නෑ උඹ. දුන්න කිරි ටිකත් බාගයක් ඉතුරු කරා නේද.. අනේ මගේ රෙක්ස් පැටියෝ.. ඉක්මනට හොද වෙන්න.. මට වැඩි වෙලාවක් උඹත් එක්ක ඉන්න උනේ නෑ.. මට සමාවෙන්න රෙක්ස් පැටියේ.. හිතේ දුක ඔක්කොම මම කියන්නෙ උඹට.. මොකද මම දන්නවා උඹ කාටවත් ඒ දේවල් කියන්නෙ නෑ කියලා.. අනේ පැටියෝ මට උඹත් එක්ක කතා කරන්න ඕන.. උඹත් එක්ක සෙල්ලම් කරන්න ඕන ආයෙමත්.. අනේ ඉක්මනට හොද වෙන්න... :'(

Friday, January 13, 2012

සදා නොමැකෙන සිතිවිල්ලක්


ගග අද්දර නැති මුත් සිත අද්දර දග කර සිටි ඔබටයි මේ.. 
වචන අපැහැදිලි ය..
කටහඩ ගොරෝසු ය.. 
තාලය වැරදි ය..
ප්‍රියමනාප නැත‍‍..
අවධානය ද මද ය.. 
එනමුදු..
මේ සිත තුළ සදා නොමැකෙන සිතිවිල්ල සදා එසේම ය..

හැකි නම් එනු මැන..
නැති නම් ගෙවනු මැන සොදුරු දිවියක්..
මා සදා පැතූ..


Wednesday, January 11, 2012

නොතේරෙයි

ආගන්තුකයා හට ආගන්තුකයා ගැන ම නොතේරෙයි. කුඩා කාලයේ පටන් ආගන්තුකයා කෙළිලොල් චරිතයකි. නමුත් සෙල්ලමට අයියා කෙනෙක් මල්ලී කෙනෙක් අක්කා කෙනෙක් නංගී කෙනෙක් කිසිවෙක් ආගන්තුකයා ට සිටියේ නැත. ආගන්තුකයා අවට ඇති පරිසරය ආගන්තුකයා ට පිළිකුල් ය. කුඩු කාරයන්, සුරා මතින් පාරේ රග දක්වන වීරයන්, සල්ලි මත්තේ සුද්දන් පස්සේ යන මිනිසුන්, ඒ මිනිසුන් හා හැදී වැඩුනු ළමුන්, ගෑණුන්, කිසිත් නොසිතා නොසොයා ඕනෑ කෙනෙක් හා කතා කරන්නට පස්සෙන් යන කෙල්ලන්‍ ආගන්තුකයා හට ප්‍රසන්න හැගීමක් නම් කෙදිනකවත් ජනිත නොකළ බව කිව යුතු ය. එබැවින් ආගන්තුකයා ගෙදර බිත්ති හතර තුළ විහින් ම සිර කරුවෙක් වී සිටියි. 

ආගන්තුකයා පෙර පාසල් ගියේ ද ගාල්ලේ ය, පාසල් යන්නේ ද ගාල්ලේ හොදම පාසලට ය. මෙම කරුණු නිසා ආගන්තුකයා හට මෙහි වැඩි යහළුවන් පිරිසක් නැත. සිටිනවා නම් ඒ දහම් පාසලේ සිසුවන් ය. ආගන්තුකයා එදා පටන් ම කාටවත් කරදරයක් නොවී ජීවත් වූ චරිතයක් ය. නොලැබෙන දෙයක් පසුපස හබා ගොස් උදුරාගැනීමේ සිරිතක් ආගන්තුකයා ට නැත. එමෙන් ම ඕනෑම තැනකට ගිය පසු පාඩුවේ පසෙකට වී වන්නේ කුමක් දැ යි බලා සිටීම ආගන්තුකයා ගේ සිරිතයි. ආගන්තුකයා එදා පටන් ම "කෙල්ලන්" යන මාතෘකාව පිළිබද කිසි හැගීමක් නොවූවෙක් බව කිව යුතු ය. කොතරම් කෙල්ලන් ඇසුරු කරන්න අවස්ථාවක් තිබුන ද ඒ සියල්ල කෙසේ හෝ මගහැර යාම ආගන්තුකයා ගේ පුරුද්ද යි. අදටත් ගැහැණු ළමයෙක් (අක්කා කෙනෙක් වුවත්) සමග කෙලින් මූන බලා කථා කිරීම ආගන්තුකයා ට ආගන්තුක දෙය කි. 

එහෙත් ආගන්තුකයා භාර ගත් වැඩක් වේ නම් එය පිළිවෙලට හැකිතාක් දෝශ අඩු වන පරිදි කරන්නට තැත් කරයි. තමුන් අවශ්‍ය යයි හැගේ නම් ඒ ගැන විමසා කළ හැකි දෙයක් කරදීම ආගන්තුකයා ගේ සිරිතයි. ආගන්තුකයා ට අසාධාරණය ඉවසුම් නොදෙයි. එවිට නම් සිදුවන්නේ කුමක් දැයි ආගන්තුකයි නොදනී. ආගන්තුකයා හට කළ නොහැකි දෙයක් නම් තරහව පාලනය කර ගැනීම යි. ඇතැමෙක්  මේ නිසා ආගන්තුකයා ට බියක් දක්වයි. නමුත් ආගන්තුකයා ගේ ඇතුලත දන්නා කෙනෙක්  නැත. ඇතැමෙක් ට ආගන්තුකයා "මීටරය" කි. සාමාන්‍ය පෙළ A සාමාර්ථ ලබා ගත් ගණනින් එය මැනිය නොහැක. ඇතැමෙක් ට ආගන්තුකයා "ගායකයෙ" කි. පද කිහිපයක් මුමුණන්නට හැකි වූ පලියට කෙනෙක් ට ගායකායක් විය නොහැකි ය. ඇතැමෙක් ට ආගනුතුකයා "මළල ක්‍රීඩකයෙ" කි. අතැර දැමූ දෑ මතකයට නගා ගැනීමට ආගන්තුකයා මැලි ය. ඇතැමෙක් ට ආගන්තුකයා රිච්මන්ඩ් ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන සංවිධායකයා ය. එහෙත් එය නමට පමණි. තවත් කෙනෙක් ට ආගන්තුකයා "ස්මෝල් හවුස් කැප්ටන්" ය. එහෙත් මාගේ උපරිමය ලබා දීමට නොහැකි වූයෙන් එම පාඨය මා හට නොගැලපේ..

ආගන්තුකයා මිතුරන් ට මිතුරෙකි. පණ ඉල්ලුවත් දෙන්නට සූදානම් මිතුරෙකි. ආගන්තුකයා හතුරන් ට හතුරෙකි. තමුන් ළගින් ඉද තමුන් ට හතුරුකම් කරන්නවුන් ආගන්තුකයා ට පිළිකුල් ය. ආගන්තුකයා ප්‍රේමවන්තයෙ කි. ගැහැණු ළමුන් යන මාතෘකාවටත් අකමැති ආගන්තුකයා එකම එක ගැහැණු ළමයෙක් ට පමණක් ආලය කරයි. මුළු හදවතින්ම ආලය කරයි. සෑමදාටමත් ආලය කරයි. ආගන්තුකයා විටෙක දරදඩු ය. කියුවොත් දෙයක් එය පමණි. එසේ දෙයක් සදහා තීරණයක් ගන්නේ ක්ෂණිකව නම් නොවේ. පැය ගණනක ඇතැම් විට දින ගණනක හෝ ගැඹුරු මෙනෙහි කිරීමකින් අනතුරුව ය. ආගන්තුකයා කිසිවෙක් ට බිය නැත. තමුන් නිවැරදි නම් කිසිවෙක් අන් කෙනෙක් ට බිය විය යුතු නැත. ආගන්තුකයා කිසි කෙනෙක් ට දන්නා තරමින් නම් වරදක් කර නැත. ආගන්තුකයා කරන කියන දෑ අන් අයට කෙසේ තේරෙන්නේ දැයි ආගන්තුකයා නොදනී. නමුත් දන්නා දේ හරියට කරන්නටත්, නොදන්නා දේ දන්නා ලෙස නොපෙන්වා එය දැනගැනීමට උත්සුක වීමත් ආගන්තුකයා ගේ සිරිත යි. 

ආගන්තුකයා ආගන්තුකයෙකි. ලිවූ දෑ කුමක් අරභයා ලියූවේ දැ යි ආගන්තුකයා හට ම නොවැටහෙයි. කළකිරීම නිසා විය හැක. ඒ කළකිරීමට හේතු ප්‍රත්‍ය මෙය යයි කියන්නට ආගන්තුකයා ට සිත් නොදෙයි. සැම විටම අන් අය සතුටු කිරීම ආගන්තුකයා ට සතුට කි. ඒ අය ගේ සිනාවේ දී මදහසක් පා පසුව සිතින් මෙනෙහි කොට සිනා සීම.. දුකේදී ඔවුන් සමග වී සිත සැනසවීම.. දුක දුරු කර ජීවිතය ගෙවීමට මංපෙත් සලසා ගැනීමට සිහින මැවීම, ආගන්තුක මාගේ එකම සිහිනයයි. මෙහි අන් අය, ඇය යයි විස්ථාපනය වූයේ නම් වඩාත් සුදුසු යයි හැගේ. මා කළ පින් පවු අනුව ඉදිරි ජීවිතය තීරණය වේවි. ඒ ජීවිතය දැනටමත් එක් අතකට බර වී හැලෙන්නට ඔන්න මෙන්න ය. මෙම වෙනසින් පසු යලි වෙනසක් නොවේ වි.    

Sunday, January 8, 2012

රූමස්සල සුහද හමුව

අද දුරුතු පුන් පොහෝ දිනයට පෙර දිනයයි. එය තවත් එක් දිනයක් නොවූවේ අද අසා ඇති දැක නැති යහළුවන් පිරිසක් දැන අදුනාගෙන කතාබහ කර දිනයක් ගෙවීමේ සතුට භුක්තිවිදීමේ භාග්‍යය මා හට උදා වූ බැවිනි. අන් අය මේ ගැන සම්පූර්ණ තතු විත්ති ගෙන ආ බැවින් ඒ පිළිබද මම ද කීම පලක් ඇති වැඩක් නොවේ යයි හැගෙන බැවින් ඒ පිළිබද පුන පුනා නොකියා සිටීමට සිතුවෙමි. කෙසේ හෝ වේවා අද දින උදෑසන 8.30 පමණ වන විට බ්ලොග් අවකාෂයේ මිතුරු කැළ උණටනුනට ඒ යැයි අපේක්ෂාවෙන් සිටි මම එතැනට වී සිටීමට ඉටා ගතිමි. නමුත් අවසානයේ ඔවුන් එතැන නොමැති බව පසක් වූයෙන් ගාලු දුම්රියපල වෙත ගියෙමි. (උණවටුනේ සිට ගාල්ලට ගොස් නැවත උණවටුනට ම පැමිණීම [විස්ථාපනය=0, දුර ~ 12 කි.මි]මැටි වැඩක් යයි දැන දැනම එය කිරීමට සිදු විය) 

කෙසේ හෝ වේවා ඈත සිට ඇසුනේ හිම හන්සි අක්කා "අර රිච්මන්ඩ් ටී ශර්ට් එකක් ඇදන් එන්නෙ ජනිත මල්ලි නේද" යන වදන් පෙළයි. පසුව හිම හන්සි අක්කා අසලම සිටින්නේ ප්‍රාර්ථනා අක්කා බව ද පසක් විය. එතැන සිටි අනුශ්ක අයියා නම් කොතැන සිටියද අදුනගත හැකි පුද්ගලයෙක් විය. (ඒ බ්ලොග්කරුවන් සිටින තැන බව අදුනාගන්නා ලද්දේ අනුශ්ක අයියා(බනී) ගේ සුවිසල් සසල දේහය දිසි වීමත් සමග ය.) මෙලෙස එතැනට එක් වූ ආගන්තුකයෙක් වෑ මාගෙන් තතු විමසීම ට සිටි අය අමතක කළේ නම් නැත. කෙසේ හෝ (පැමිණි අයුරු කීම අවැසි නොවේ යයි හැගේ) අපි රූමස්සල ට පැමිණියෙමු. 

උදේපාන්දරින්ම ‍දෙදෙනෙක් වයි-ෆයි කනෙක්ට් කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරණ ලද්දේ ඔවුනට එය කිරීමට අවැසි දෑ අතේ තබාගෙන ය. කෙසේ හෝ හිම හන්සි අක්කා ගේ බඩගින්නේ අදෝනාව සියල්ලන්ගේම හිත් සසල කරවන්නක් විය. ("අනේ බඩගිනී.. අනේ බඩගිනී.." කියමින් සිටි කෙනා ට දහවල බත් පත සම්පූර්ණ කරගැනීමට බැරි වීම වෙනම කතාවකි). ඇඹුල් යමක් සම්බන්ධයෙන් වූ සුවිසල් රහසක් හෙලි කිරීමේ සාපරාධී ක්‍රියාවේ චූදිතයා වූ ජනරංග අයියා ට එදින ප්‍රාර්ථනා අක්කා ගේ මරණ තර්ජන වලින් අඩුවක් නොවී ය. 

ඒ අස්සේ කොටසක් දෙනා තමුන්ගේ ෆේස්බුකියේ ප්‍රොෆයිල් පික්ඩර් එක සහ කවර් පේජ් එකට දමාගැනීම සදහා දිවි පරදුවට තබා සුවිසල් පර්වතයක් මුදුනේ සිට බිමට පැනීම අතිශය භයංකාර අංගයක් විය. එහිදී ඡායාරූපගතකිරීමේ කාර්යයෙහි නිරත වූ බනී මහතා ඒ සදහා ඉදිරිපත් නොවුනේ ඔහු හා තැබූ කල් හි එම සුවිසල් පර්වතය සමාන පරිමා ගන්නා බැවින් දැයි ආගන්තුකයා නොදනී. ඒ අතර උදේ සිට ම වැදුම් බලාපොරොත්තුවෙන් පැමිණි මන්තරකාරි අක්කා ද නිතර ඒ ගැන කියමින් පොඩි මෑන් ව මානසික අසහනයකට පත් කරන ආකාරයක් දක්නට ලැබිනි. මෙහිදී දවසේ නිල වශයෙන් වැදුනු එකම මඩ ප්‍රහාරය ලැබුවේ පොඩි මෑන් ට වන අතර එය රු. 800 කින් පෙම්වතිය මුණගැසීමට අවකාෂ ලබාගැනීමක් විය. 

මේ අතර කොළඹින් පැමිණි කණ්ඩායමේ සිටි චතූ අක්කා පැළද සිටි ඇදුමේ ටැගය ගලවාගැනීමට ද අමතකව කඩිමුඩියේ පැමිණ ඇති බවක් පෙන්නුම් කෙරිනි. ඒ අතර බල්ටි ගසන්නට ගිය ජනරංග අයියා හට වී තිබුනේ අමුතු සිද්ධිය කි. ආහාර වලින් ලැබුනු ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වී, පසුව පහළට එත්ම එය චාලක ශක්තිය බවට පත් වී, පොළවට ආසන්නයේදී එම ප්‍රවේගය උපරිම අගයක් ලබාගෙන පතිත වී තිබිනි. එමගින් ඇති වූ ක්ෂණික ආවේගය මගින් ආවේගී බලයක් කකුල් මත ඇති ව තිබුනි. අස්ථි එකිනෙකට බැදීපවතින බැවින් එකිනෙක අස්ථිය මත ද ආවේගී බල ඇති වී අවසානයේ හොක්ක ට ද එයින් හොක්ක අතර සිර වන දිවට ද ක්ෂනික ආවේගී බලයේ බලපෑම් සිදුවී තිබින. අවසානයේ මන්තරකාරි අක්කා ට වැදීමට යයි සභාව රැස් කළ පොඩි මෑන් අවසානයේ කතාව වෙනස් කොට එය සමුගැනීමේ කතාව බවට පත් කළ බව ද අපූරු ය. (අභීෂ අයියා ගේ මැදිහත්වීමෙන් පොඩි සිනාමුසු නෝන්ඩියක් ද කෑමට සිදු නොවූවා ම නොවේ). 

කෙසේ වෙතත් අවසානයේ සියල්ලන් ම සතුවින් විසිරයාමට යෙදුනහ. නමුත් එම මොහොත නැති කරගැනීමට සිත් නොදුන් බව කිව යුතුම ය. අහම්බෙන් දකින බ්ලොග් පෝස්ටුවක්න් එක්රැස් වෙන ‍මිතුරන් ඇත්තටම එකට එක් වී දැන හැදිනගෙන කතා බහ කොට ඒ ලබන වින්දනය මෙපමණ යයි කියා නිම කළ නොහැක. බ්ලොග් මිතුරන් ද එක පවුලකි. එහි සිටින වයස් භේධ නැත, පළාතකට කොටු වී නැත, ගැහැණු පිරිමි කියා භේධයක් නැත‍. ඔවුන් සියල්ලන්ම ලියන්නේ තමුන්ට දැනෙන දේ සිතෙන දේ ය. ඔවුන් තමුන් ලියන කීබෝඩයෙන් බලාගන්නා මොනිටරයෙන් ඔබ්බට කැදවා දැන අදුනගැනීම ට සැලැස්වීම ප්‍රශංසනීය බව කිව යුතුම ය.