Sunday, November 27, 2011

සිහිනයක නිමාව


අදුරු රැය එලි කරන සිසි කිරණ ඔබම විය...
කුරිරු ලොව පහළ වුණු සොදුරු ලිය ‍ඔබම විය..
මගේ සිත සැනසවූ පැන් පොදත් නුඹම විය..
මගේ සිත බිද දැමූ සොදුරු ලිය ඔබම විය..

නොසැගුවෙමි මා කිසිත් මගේ ලොව ඔබෙම විය..
සැගවුනා පෙර දිනෙක තීන්දුව ඔබෙම විය..
එනමුදුත් මගෙ ලොවේ රැජිණියද ඔබම විය..
තව තවත් සගවන්නෙ, 

ඔබට ආලය නොකළ නිසා ද...
ඔබ තරම් නොවන නිසා ද...
නැතිනම්,
ඔබේ කුමරු නොවන නිසා ද...

??????????????????????????

ඉදින් අදින් සමුගනිමි ආගන්තුකයා.. නොම එමී මතුවටත් කවර යම් දිනකටත්.. නැත මා ඉතිරි කළ දෙයක්.. සියල්ල අදින් අවසන් වේවි.. ආගන්තුකයා, ආගන්තුකයෙක් ම වේවි.. මග පෙන්නන්නට උත්සුක වූවන්ට අවසානයේ පසුතැවිලි වීමට සිදුවනු ඇත. ඒ මග පෙන්නන්නට ගත් කාලය ගගට කැපූ ඉනි වූ බැවිනි. ඉදින් සමුදෙන්න මට.. නැවත නොම එමි.. තැවෙන්නට කිසිවකුත් නොමැති ය.. හඩන්නට කිසිවෙක් නොමැති ය.. සෙවූ මග පෙනෙන මානයක නැත. නැවත මග සොයන්නේ ද නැත.. නැවත හමුවන්නේ ද නැත.. 



Thursday, November 17, 2011

Facebook Games

මේක අද කාලෙ කාලීන මාතෘකාවක් කියලා හිතුනා. ඒ මොකද කියනවා නම් Facebook එකේ ඉන්න හැමෝම වගේ Facebook Games ගහන්න පුරුදු වෙලා නෙමෙයි ඇත්තෙන්ම කියනවා නම් ඇබ්බැහි වෙලා තියන නිසා. ඒවගේ හොද ඒවත් කාලෙ කන ඒවත් තියනවා. ඒත් කොච්චර කරත් මේවට ඇබ්බැහි වෙන එක නවතින්නෙ නම් නෑ. ඒකට ප්‍රධාන හේතු ගොඩක් තියනවා. එකක් තමයි තමන් ඒකට ගොඩක් කැමති වීම. අනිත් එක තමයි ඒ Game එකම ගහන තමන්ගෙ යාළුවො තමන්ට වඩා උඩට යනවා දකින්න බැරි කම හරි තමන්ට තමන්ගේ යාළුවන්ට වඩා උඩට යන්න තියන දැඩි අදිශ්ටානය. 

අද ‍Facebook එකේ ඉන්න ඕන කෙනෙක් Barn Buddy කිවුවොත් දැනගන්නෙ නැතිවෙන්න නම් විදිහක් නෑ. මොකද තමන් ඒක ගැහුවත් නැතත් තමන්ට ඒකෙන් Request නම් පිරෙන්න ඇව්ත් ඇති. මටත් ඇවිත් තිබුනා. මමත් මීට මාස ගානකට කලිං ගැහුවා. ගහලා ගහලා අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා. මමම කොච්චර ඇබ්බැහි උනා ද කියනවා නම් උදේ ඉස්කෝලෙ යන්න කලිං, ගෙදර ආපු ගමන්, පන්ති ගියා නම් යාළුවෙක්ගේ ගෙදරකින් Facebook ආවෙ Barn Buddy ගහන්න. ඔහොම තමයි මාසයක් යන්නත් කලිං ලෙවල් 100 පහු කරේ. පල්ලෙහා ඇති මගේ ෆාම් එක.

Brain Buddies, ඒ කියන්නෙ මොලේ තත්වෙ බලාගන්න තියන ගේම් එකක්. මේකෙ ප්‍රධාන වශයෙන් කෙටස් 4 ක් තියනවා. Memory, Logic, Calculation, Visual. ඇත්තෙන්ම මේක නම් හොද ගේම් එකක්. මම එහෙම කියන්නෙ ඒකෙන් ඇත්තටම තමන්ගේ මො‍ලේට පුහුණුවක් ගැබෙන නිසා. ඒකෙන් අපිත් එක්ක අපේ යාළුවො තරග කරනවා. එතකොට ඉතිං තමන් දස්සයි කියලා පෙන්නන්න සමහරු නම් හොරත් කරවා. ඒත් එහෙම කරා කියලා වැඩක් වෙන්නෙ නෑ. තමන්ගෙ ඇත්ත තත්වෙ දන්නෙ තමන්ම නේ. පල්ලෙහා ඇති මම Brain Buddies ගහපු එක.

දැන් කියන්නෙ Happy Hospital ගැන. මේකත් ජොලි ගේම් එකක්. මේකෙ කරන්න තියෙන්නෙ අපෙන් බෙහෙත් ගන්න එන සත්තුන්ට එක එක ජාතියෙ විදිහට බෙහෙත් කරන්න. කරන්න දෙයක් නැති උනාම මේක ගහන එක පුරුද්දක් වෙලා දැන් නම්. ඒකෙ ප්‍රොෆයිල් එකත් ඇති පල්ලෙහා.

දැන් කියන්නේ ගෑණු ළමයි අතරෙ ජනප්‍රිය ගේම් එකක්. It Girl. ඒකෙ කරන්න තියෙන්නෙ hot වෙන්න ගෑණු ළමයෙක්ට ඇදුම් අන්දලා අනිත් ගෑණු ළමයි එක්ක Showdowns කරගෙන points ගන්න. එක එක තැන් වලට හරියන විදිහෙ ඇදුම් ගන්න. Parties වලට යන්න. ගිහින් showdowns වලින් දිනන්න. Boyfriends ලා ගොඩක් එක්ක relationships තියාගෙන ඒ හැම කෙනාවම තියාගන්න ඕන නම් gifts දෙන්න kisses දෙන්න. තමන්ව showdowns වලින් පරද්දපු අය ඉන්න Rival's List ඉන්න අය එකින් එක පරාද කරලා revenge එක ගන්න‍. අපේ ගෑණු ළමයිත් ඉතිං තෑගි හම්බුවෙයි කියලා පුලුවන්තරම් කොල්ලො එක්ක යාළු වෙනවා It Girl එකේ‍. හැබැයි මම නම් මේක ලංකාව වගේ එටකට සුදුසුයි කියන්නෙ නම් නෑ. 


ඒත් එක්කම Chess වගේ ගේම්ස් නුත් ෆේස්බුක් එකේ නැතුව නෙවෙයි. ඒත් එක්කම කියන්න තියන තව කාරණාවක් තමයි අපේ තරුණ පරපුරට ෆේස්බුක් එකේ ගේම්ස් වල ඉස්සරහට යන්න තියන ආසාව පාඩම් වැඩ වලටත් ආවා නම් කොච්චර එකක්ද කියලා.  


Saturday, November 12, 2011

ශිෂ්‍යත්වය පෙවීම

අද කාලෙ ළමයි ඉස්කෝලෙ යන්නත් කලින් තමයි ඒ ළමයින්ව දෙමවුපියො ටියුෂන් පන්ති වලට දාන්නෙ. ඒ පොඩි කාලෙ ඉදන්ම ළමයින්ව ලොකු තැනකට ගේන්න ඔවුන්ට ඕන නිසා. ඒ වගේම ගෙදර ඉන්දිද්දිත් ළමයාට හොදට පාඩම් දන්න දන්න විදියට කියලා දෙන්න දෙමවුපියො අමතක කරන්නෙ නෑ. කොහොම හරි පළවෙනි ලොකු විභාගෙ ශිෂ්‍යත්වෙ නෙ. ඒක හොදට පාස් වෙන්න කියලා කියලා දුන්න දෙයක් අන්තිමට අමුතුම ජාතියෙ වැඩක් වෙලා. ඊයෙ අපේ ෆිසික්ස් සර් කිවුවෙ. මට මේක අමතක වෙන්න කලිං ලියන්නෙයි කියලා හිතුනා.

ශිෂ්‍යත්‍ව විභාගෙ අනිවාර්යය ප්‍රශ්නයක් නෙ අර මොකක් හරි එකක් ගැන වාක්‍ය 5ක් ලියන එක. ඔන්න එක තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට කියලා දීලා "හොදම යාළුවා" කියන මාතෘකාවට රචනයක් ලියන විදිහ. 

මගේ හොදම යාළුවා
1. මට යාළුවන් ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම යාළුවා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මෙන්න මේ වගේ ටිකක් ලියලා දීලා ළමයා ට හොදට බලාගන්න, මේ වගේ ලියන්න කියලා ඒ දෙන සිද්ධියට සම්බන්ධයෙන්. පස්සෙ ඉතිං ඔන්න ශිෂ්‍යත්වෙ ඇවිත්. ළමයා රචනාවත් ලියලා. හැබැයි ඉතිං මේකෙ මැතෘකාව ඇවිත් තියෙන්නෙ "මගේ තාත්තා" කියලා. ළමයත් අර උඩ එක පොඩ්ඩක් සංශෝධනය කරලා ලියලා. 


මගේ තාත්තා

1. මට තාත්තලා ගොඩක් ඇත.
2. ඒ අතරින් මගේ හොදම තාත්තා (නම) වේ.
3. ඔහු මා සමග 1 වසරේ සිට පාසල් පැමිණියේ ය.
4. අපි එකට පාසල් පැමිණෙන අතර එකට ගෙදර යන්නෙමු.
5. ඔහු අපගේ නිවසට අල්ලපු නිවසේ බැවින් මට ඔහුව හමුවීමට පහසු ය.

මේක මාක් කරපු සර් ට තරු විසි වෙලා. අන්තිමට ඒ ළමයා ව හොයාගෙනත් ගිහින් ලු අ‍පේ සර් කිවුව හැටියට. දෙයක් කටපාඩමේ තියාගන්න ගියාම මරු වැඩ තමා වෙන්නෙ. අර 3 වල වුනා වගේ. හි හි..


Friday, November 4, 2011

සිතු දේ නොම වෙයි

සිතු දේ නොම වෙයි....
නොසිතු දෙයක්ම සිදු වෙයි..


ඇය මා හට හැම දෙයක්ම උනි..
නමුත් ඇයට..?


සිතුවේ නොම එසේය යි කියා මුත්,
නොසිතු දේ සිදු වෙයි.. 


නොමැත මම ඇය හට ලොවක්..
කරුණු දැනගත් විගස මා..


ඉදින් අත්හැර එම කුරිරු ලොව..
තනිවුනෙමි සැගවී..


සියල්ලන්ටම නොකී රහසක්..
ඇයට පමණක් සිතාගන්නට.. 


හඩන්නට නොව සිනාසෙන්නට‍‍..
සිනාසෙනු මැන.. සිනාසෙනු මැන..

Thursday, November 3, 2011

R.P.L අවසන් කොටස (ගුරු-සිසු තරගය සහ අවසානය)

ආගන්තුකයා කාලෙකිං බ්ලොග් එක පැත්තෙ ආවෙ නෑ තිබුන ප්‍රශ්න නිසා. මේ දැං කියන්න යන දේ නම් ගොඩක් අයට අමතක වෙලා කියලා මම දන්නවා. ඒත් මේක මම මටම හරි කවදා හරි බලලා සතුටු වෙන්න බ්ලොග් එකේ ගහන්න හිතුවා. නැත්නම් මටම මේ දේවල් අමතක වෙයි. එදා අපේ R.P.L එක තිබ්බ දවස ගැන ගැහුවෙ බාගෙට. ඒකෙ හොදම හරිය තමයි දැන් ගහන්න යන්නේ. ඒ දේ කොච්චර හොදද කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒත් මේක ලියද්දි කොහොම වෙයි ද කියලා නම් දන්නෙ නෑ.


කොහොම හරි, එදා ඔන්න අපේ ඉස්කෝලෙ ගුරුවරු 4 විතර වෙද්දි එන්න පටන් ගත්තා. සමහරු අපි ආරාධනා කර නිසා බලලා යන්න, අනිත් අය ගුරු-සිසු තරගෙට සහභාගී වෙන්න. ඉස්සෙල්ලම ආවෙ අපි හැමෝම අදුනන ෆිසික්ස් කිවුවම හැමෝටම මතක් වෙන අපේ සුනිල් ප්‍රේමතිලක සර්. හැබැයි සර් නම් ආවෙ උදේ පාන්දර. සර් එනවා දැකපු කෙනෙක් මට කතා කලා.

"ඒ ඒ.. පපං එනෝ ඒ... ඉක්මනට වරෙං.. "
මමත් ඉතිං නිසලතාවෙන් අරඹලා විචල්‍ය ත්වරණයකින් ගිහින් උපරිම v වේගයක් ලබාගෙන සර් ඉස්සරහට ගිහිං ඒකාකාර මන්දනෙන් නතර උනා. හි හි.. ඊට පස්සෙ සර් කියපුවා හඩ පටේ ඇති. කිවුවෙ නම් ඕවා ම නෙමෙයි ඒත් ඒ දේවල් තමයි කිවුව ඒවාගෙං මතක.

කොහොම හරි. ඔන්න දැන් හවස ග්‍රවුන්ඩ් එකත් තෙත් වෙලා.. සර් ලා ඒත් ඇවිත්. මම ගිහිං නිකමට වගේ අපි හැමෝම දන්න "මැරයා" ගෙං ඇහුවා,
"සර්.. ග්‍රවුන්ඩ් එක නම් හරි නෑ... මැච් එක ගහන්න පුලුවන් ද?"
"අපෝ පුතා.. ඔය වැස්ස මොකද්ද.. අපි ගහමු.."
සර් ලා ටත් මාර උනන්දුවක් තියනවා කියලා අපිට තේරුනා. අන්තිමට අපි ගහන්න ලෑස්ති උනා. Organizing Committee V Teachers. කාසියේ වාසිය දිනුවෙ මම. අපි කලිං හදාගෙන උන්න ප්ලෑන් එකට අනුව අපි සර් ලා ට ගහන්න දුන්නා. ඒත් එක්කම අපේ ඉන්න හොද බෝලර්ස් ලා ට දාන්න නොදී අනිත් අයව දැම්මා. මම දැම්මෙත් හිමීට මැද කොටලා එන්න. එතකොට ගහන්න ලේසියි නේ. කොහොම හරි සර් ලා 100+ ගැහුවා.. සර් කෙනෙක් ගහන හැම පාරකටම පුදුම චියර් එකක් තිබුනේ.. සර් ලා ගේ 1 විකට් එකක් විතරද කොහෙද අවුට් උනේ..

ඊට පස්සේ අපි ගියා ගහන්න. මම කට්ටියට කිවුවේ කොහොම හරි ටාගට් එකට ලං කරමු කියලා විතරයි. අපේ එක්කෙනා දෙන්නා අවුට් උනා. මාත් ගියා. මටත් ඕන උනේ අවුට් වෙන්න. එක තැන උඩ ගහන්න ගියපු එකක් 6 ක් ගියා. ඕන නැති වෙලාවට හැම එකක්ම වෙන්නේ. කොහොම හරි අපි පැරදුනා. ඒක තමයි අපිටත් ඕන වෙලා තිබ්බේ. අපි දින්නා නම් ඒකෙ කිසි ගතියක් නෑ. අපි පෙන්නුවෙ අපි කොච්චර දක්ෂ උනත් අපිට මග පෙන්නන අපේ ගුරුවරු ගවු ගානක් දුරින් ඉන්නවා කියලා. ඇත්තටම අත්දැකීම් අතින් ඒක එහෙම තමයි.

දැන් තමයි අවසානෙ. ප්‍රයිස් ගිවින් එකක් තිබ්බා පුංචි පහේ. මහ රෑ. ඒ වෙලේ කවුරුත් රොක් වෙලා. අපි හැමදෙයක්ම හොදට සූදානම් කරලා තිබ්බේ. කප් ටිකත් ගෙනල්ලා. දැන් නම් ටිකක් කලුවර වැටිලා. ඒත් අපි එදා එල්ලපු අකුරු ටික නම් නියමෙට තියනවා. කොහොම හරි අන්තිමට කට්ටියට තෑගිබෝග කාරිය දුන්නා. ටයිල් කැටේකුයි සහතිකේකුයි හැම ක්‍රීඩකයෙක්ටම ලැබුනා. අන්තියම ඩී.ජේ. එකක් ගහලා සතුටි වෙන්නත් අපි අමතක කරේ නෑ.




කොහොමින් කොහොම හරි අපේ RPL'11 නිමා උනා. ගොඩක් අය ගෙදර ගියේ හුගක් සතුටින්. මේක මටත් ලොකු අත්දැකීමක්. මෙච්චර සාර්ථක තරගයක් සංවිධානය කරන කමිටුවේ ප්‍රධානත්වය අරගෙන වැඩ කරන්න මට සිද්ධ උනා. ඒත් එක්ක ජීවිතේට ලැබුනු අත්දැකීම් කියලා නිම කරන්න බෑ. යාළුවොත් එක්ක ගත කරපු ඒ මොහොතවල් ජීවිතේ කවදා හරි මතක් උනාම මූනට පොඩි හිනාවකි ගෙනෙයි. අපිත් එක්ක වැඩ කරපු අය අනිවාර්යයයෙන්ම මේ රටේ ලොකු තැනක කවදා හරි ඉදී කියලා මට විශ්වාසයි. කොහොම හරි වැඩක් සාර්ථකව නිම කරනවා තරම් සතුටක් වෙන නෑ.