Monday, July 25, 2011

මගේ දෙමවුපියො (2)

ආගන්තුකයා මේ ලියන්න යන්නේ ඉස්සෙල්ලා ලියපු, හැමෝම හරි සරලෙට හිතපු ලිපියෙ ඉතුරු ටික. මේක කියවන්න කලියෙං කියවපු නැති අය කලිං ලිපිය කියවන්න. තත්පර 5ක් යයි වැඩිම උනොතින්.

හොදයි. ආගන්තුකයා ඒ ලියපු දේ පොඩි උනාට ඒකෙන් ගොඩක් දේ කියවෙනවා. "මගේ දෙමවුපියො තමයි මට ජීවිතේ ගැන කියලා දුන්නේ" ඒ කියන්නේ මම අද වෙන තුරු ජීවත් උනේ මගේ අම්මායි තාත්තා යි කියලා දුන්න විදිහට. ජීවිතේ, සරළෙට හිතුනාට ලොකු දෙයක්. අපි ජීවත් වෙන පරිසරය, මේ සමාජය, අපි අනිත් මිනිස්සුන්ට සලකන විදිහ, ඒ මිනිස්සු අපිට සලකන විදිහ, මිනිස්සු අපි ගැන හිතන විදිහ, හොද මිනිස්සු අදුරගන්න විදිහ, මිතුරුකම් ඇතිකරගන්න විදිහ, ඒවා පවත්වාගෙන යන විදිහ, දුකේදි දුක් වෙන විදිහ, සතුටෙදි හිනාවෙන විදිහ, මේ සේරම ජීවිතේ අංග. මේ එකක්වත් ජීවිතේ නෙවෙයි. ජීවිතේ කියන දේට හරිහමන් තේරුමක් දෙන්න බෑ. ඒ තේරුමක් දෙන්න බැරි දේ මට කියලා දුන්නේ මගේ අම්මා යි තාත්ත යි.

මට මතකයි මගේ පුංචි කාලෙ මගේ අම්මා කකුල් දෙක උඩ මාව තියාගෙන පද්දපු හැටි. හැංගිමුතන් කරන්න කියලා හිතාගෙන මම දොර රෙද්දක් අස්සෙ හැංගිලා හිටියා දවසක්. අම්මා යි තාත්තා යි මාව පැය ගානක් හෙවුවා. මට මතකයි මම හොරෙන් හොරෙන් අම්මා ගාවට ගියාම අම්මා මාව බදාගත්තා. මට එදා තේරුනේ නෑ අම්මා එදා ඇඩුවෙ ඇයි කියලා, ඒත් අද තේරෙනවා. 4 වසරෙදි මාව ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. මගේ පෙණහල්ලට විසභීජයක් ගිහින්, තව පරක්කු උනා නම් heart එක නවතිනවා. දොස්තර මාමා කිවුවා විතරයි අම්මා එතන තිබුන පුටුවක් උඩට කඩන් වැටුනා. මට තාම මතකයි. විනාඩි 5 ක් විතර කතාකරගන්නත් බැරුව හිටියා. පුංචි මට තේරුනේ එදා දොස්තර මාමා කියපු කතාවට අම්මා ට කලන්තෙ දැම්මේ අම්මාගෙ එකම දරුවා එදා නැතිවෙන්නත් තිබුන නිසා කියලා. එදා එහෙම උනා නම් අම්මා ගැන කියන්න ආගගන්තුකයා අද නෑ.

අපිට එච්චර සල්ලි නෑ. ඒත් මම මොන්ටිසෝරි ගියේ රිච්මන්ඩ් එක ගාව. උණවටුනේ ඉදන් දුරයි නෙළුම් මොන්ටිසෝරියට. කාර් බාර් තිබුනෙ නෑ අපට. තාත්තා උදේ පාන්දර මාව පුශ් බයිසිකලේ දාගෙන කිලෝමීටර් ගානත් පෑගුවා යන්නයි එන්නයි. තාත්තා එදා එහෙම මට උගන්නන්න මහන්සි උන නිසා තමයි අද ආගන්තුකයා මේ තත්වෙ ඉන්නේ. ආගන්තුකයා ව දන්න අය දන්නවා ඇති ආගන්තුකයා ගැන. රස කෑමක් ලැබුනොතින් තාත්තා ගේ පංගුවත් මට දුන්නා. පුංචි මම දැනගෙන හිටියෙ නෑ මම රස කර කර කිරි කනකො‍ට මගේ අම්මා යි ඒ හට්ටියෙ අඩිය හූරගෙන කනවා කියලා.

එහෙමයි මගේ අම්මා තාත්තා මට සැලකුවේ. අද ආගන්තුකයා 13 වසරේ. රිච්මන්ඩ් එකේ Prefect කෙනෙක්. 2012 උසස් පෙළ ලියන්නයි ඉන්නේ. ඒත් තාමත් අද වෙනකනුත් මගේ තාත්තා තමයි මාව ඉස්කෝලෙ ට එක්කගෙන යන්නේ. හැබැයි දැන් අර බයිසිකලෙන් නෙමෙයි. මෝටර් සයිකලෙන්. ඒ මට තනියෙම යන්න බැරි නිසා නෙමෙයි. තාම අම්මාට යි තාත්තටයි කරදඩු උස් වෙච්ච මේ කොල්ලා තාම ඒ අයගේ පුංචි පුතා නිසා.

හැමදාම වගේ ආගන්තුකයා හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. ජීවිතේ කියන දේ වගේම ආදරේ කියන දේත් නිර්වචනය කරන්න බෑ. මොකද අපිට කවදාවත්ම අපේ හිතේ ඇති වෙන හැගීම් වචන කරන්න බෑ. උත්සාහයක් දරන්න පුලුවන්. ඒත් අපි ඒ කියන්නේ අපිට දැනෙන ඒ දේ ස්වභාවය මිසක් ඇත්තටම ඒ දේ නෙමෙයි. ආගන්තුකයා එදා පොඩිවට කියපු දේ අද ලොකු කතාවක් කලා. ඇත්තම කියනවා නම් අද කියපු මේ කතාව එදා කියපු කතාවට වඩා හරිම පොඩියි.

ආගන්තුකයා ගෙ ලිපිය කියෙවුවාට ස්තුතියි. මේ ලිපියේ වැරදි අඩුපාඩු පෙන්නලා මේ ගැන යමක් කියලා යන්න. ආගන්තුකයා කැමතියි අනිත් අය ආගන්තුකයා ගැන මොකක් ද කියන්නේ කියලා දැනගන්නත්.

9 comments:

  1. අම්මා තාත්තා තරමට අපි ගැන හොයන, අපිට ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙම පෙරළුවත් හොයාගන්න බෑ මල්ලි. ආයෙමත් ලියන්න ආපු එක ගැන නම් ගොඩාක් සතුටුයි, දිගටම ලියන්නයි තියෙන්නේ දැන්..

    ReplyDelete
  2. ඒ කතාව ඇත්ත අක්කේ. බොහොම ස්තුතියි අක්කා ට. පාඩම් කරලා ඉවර වෙලා එහෙම ලියන්නම්. අක්කා වගේ අය මට ලොකු හයියක්.

    ReplyDelete
  3. ලියන්න ආපු එක නම් හොදයි...ජයවේවා!

    ReplyDelete
  4. දෙමාපියන්ගේ ආදරය කොයි තරම්ද ඒ රැකවරණය මග පෙන්වීම නොතිබුනානම් අද අපි කොහේද. මුදල් අගහිඟකම් මැද නොයෙක් දුක් විඳ සමාජයේ වැඩදායක පුද්ගලයෙක් හැටියට අපව ඉදිරියට ගෙනාවේ අපේ දෙමාපියන්මයි. මල්ලිගේ ලියැවීම් හරි අගෙයි. ඉදිරියටත් ලියන්න. අම්මාට තාත්තාට ආදරේ ලෙංගතු, සහ ගරුකරන දරුවෝ අනෙක් අයටත් ඒවගේම ආදරෙයි කරුණාවයි.

    ReplyDelete
  5. ඔන්න ඔක තමයි දෙමව්පියන්ට අපි සලකන්න ඔනේ ව්දිහ..... "මේ ... ගෙනාවේ මාගේ කෙල්ල", "මට මේ ලොකේ ඉන්නේ අහවල් කෙනා ව්තරයි".. මෙහෙම කියන සමාජයේ ඔබ වැනි... කෙනෙක් දෙමව්පියන්ට ආඩම්බරයක්........

    ReplyDelete
  6. මල්ලි,දරුවොන්ට දෙමව්පියෝ ජිවිතේ එක කොටසක් වුනාට.. දෙමව්පියන්ට දරුවෝ කියන්නේ හැමදේම.. ඒක මන් මගේ අම්මාගෙන් තාත්තාගෙනුයිත් දකිනවා.. හොදට ඉගන ගන්න..තාත්තා කකුල් රිදෙනකන් බයිසිකල් පාගපුවට, දෙන්න පුලුවන් එකම උපහාරේ ඒක..

    ජිවිතේ කවදාකවත් ඒ දෙන්නව මග හැර ගන්න එපා.. මොකද අනේක විද දුක් කම්කටුලු මැද්දේ,බඩට නොකා අපිව හදලා වඩලා තියෙන්නේ.. ඒ ආදරණීය හව්හරණ නොවෙන්න, අපිට අනාගයක් තියා වර්තමානයක්වත් නෑ මල්ලි..

    පාඩම් අතරේ ලිපියක් දාන්නකෝ..අපි එනවා බලන්න..

    ReplyDelete
  7. @ චාටර් කොල්ලා : ගියා.. ගොඩක් දුර ගියා.. ආයෙ හැරිලා බලන්න හිතුනෙ නෑ.. ඒත් හැරිලා බැලුවා.. දැක්කා ආගන්තුකයාට එන්න කියලා අත වනනවා.. ආගන්තුකයා ආයෙ ආවා.. හැමෝම කියපු නිසා..

    @ අනිත්කොණ : බොහොම ස්තුතියි. අපිට ජීවිතේ කියා දුන්නු අපේ දෙමවුපියො ගැන ලියන්න මේ හෝඩියෙ අකුරු මදි උනත් පොඩි උත්සාහයක් දැරුවේ. ඒ අය අපිට ආදරේ තරමයි අපි ඒ අයට ආදරේ තරමයි දන්නේ අපේ හිත.

    @ වේලාව ලගයි : ඒ කතාව ඇත්ත. අපිට මුල ඉදන්ම අපේ ජීවිතේ ගැන කියා දෙන අම්මායි තාත්තා යි අමතක කරන එක පාපයක්. තමන්ට ගෑණු ළමයෙක් ඉන්නවා නම් ඒ ආදරේ වෙනස් එකක්. ඒත් හරි කෙනෙක් නම් තමුන්ගෙ ජීවිතේ තව ලස්සනකරගන්න කියලා දෙනවා. හොද ගුණ තවත් වැඩි කරනවා.

    @ අසනී : ඔවු අක්කේ. O/L ප්‍රථිඵල ආපු දවසෙ මම මගේ දෙමවුපියන්ට ඒ සතුට දුන්නා. මම තෑගි ගන්න ස්ටේජ් එකකට නගින වාරයක් වාරයක් පාසා, මගේ නම ශබ්ධ විකාෂණයෙන් ඇහෙන වාරයක් වාරයක් පාසා දෙමවුපියන්ට දැනෙන ඒ සතුට කියලා නිමකරන්න බෑ. පාඩම් අඩු උනාම ඇවිත් හිතට දැනෙන දෙයක් කියලා යන්නම්. විකාරයක් වගේ වෙන්නත් පුලුවන්. ජීවිතේට ආගන්තුක මේ ආගන්තුකයා ගේ පිස්සු කතා ඉවසාවදාරනු මැනවි. :)

    ReplyDelete
  8. හැම දුකකදිම කරදරයකදීම අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි දෙන්නා විතරමයි..හොද ලිපියක්

    ReplyDelete
  9. සිතූ : ඒක ඇත්ත. ස්තුතියි කියෙවුවාට. :)

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....