Monday, April 30, 2012

Comments ගැන ඇත්ත කතාව

කමෙන්ට්ස් කියලා අපි සරළව හදුන්වන්නේ "අදහස් දැක්වීමක්". නැත්නම් "හොද නරක විචාරයක්", "විස්තර කිරීමක්" විදිහටත් මේ දේ හදුන්වන්න පුළුවන්. ඔය කමෙන්ට්ස් කියන සංකල්පෙ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල හොදහැටි පැලපදියම් උනේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියත් එක්ක. ඒකෙ "ස්ටේටස් කමෙන්ට්ස්", "ෆො‍ටෝ කමෙන්ට්ස්", "වීඩියෝ කමෙන්ට්ස්" ,"ලිංක් කමෙන්ට්ස්" වගේ නානාවිධ කමෙන්ට්ස් වර්ග ඇතුලත් උනා. ඊට පස්සෙ මේ බ්ලොගර් එකේ තියන කමෙන්ට්ස්. මේ ගැන දන්නෙ නම් ටික දෙනයි.

කොහොමින් කොහොම හරි කමෙන්ට්ස් කියන දේ ගැන මම දකින්නෙ මෙහෙම. අපි ඉස්සෙස්සෙල්ලාම ෆේස්බුක් ආවාම දකින දකින හැම එකටම කමෙන්ට් ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ මේ කමෙන්ට් ගැහිල්ල අඩු උනා යාළුවො වැඩි වෙද්දි. පස්සෙ පස්සෙ අපි බලාපොරොත්තු උනා අපේ ස්ටේටස් කමෙන්ට් වලින් පුරවගන්න. අපේ ‍ෆොටෝ කමෙන්ට්ස් වලින් පුරවගන්න. මෙන්න මේ විදිහට අපේ හිත් වෙනස් වෙන්න ගත්තා. ඒත් එක්කම තව කෙනෙක්ට තමන්ට වඩා කමෙන්ට්ස් ලැබීම මදිකමක් විදිහටත් සමහරු දැක්කා.‍ තමන්ට කමෙන්ට්ස් ගොඩක් ගන්න තමන්ට පුළුවන් තරම් නිර්මාණශීලී දේවල් එකතු කරන්න සමහරු වෙහෙස ගත්තා. 


ඒත් එක්කම ෆොටෝ ටැග් කරන ඔප්ශන් එක දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ කමෙන්ට්ස් ගන්නමයි. සාමාන්‍යයෙන් අපි ෆො‍ටෝ එකක් ටැග් කරනවා කියන්නෙ ඒකෙ ඉන්න අදාල පුද්ගලයන්ව තෝරලා ඒ ෆොටෝ එකට බද්ධ කිරීම. ඒත් දැන් දැන් සමහර ෆොටෝ වල කිසි අදාලත්වයක් නැති යාළුවන්ත් ටැග් කරන්න අමතක කරලා නෑ. හොද වෙලාවට 50 යි ටැග් කරන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා ටැග් කරනවා. අවුරුද්දට සුභ පතන්න, නත්තලට සුභ පතන්න වගේ දේවල් වලටත් දැන් ෆොටෝ ටැග් වෙනවා. ඒත් ඔය ටැග් කිරීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඒ ටැග් කරපු පුද්ගලයාගෙන් "කමෙන්ට්" එකක් ලබාගැනීම.  ඇත්තටම වෙලාවකට ටැග් කිරීම කියන එකත් වදයක්. කෙනෙක් කමෙන්ට් කරන කරන ගානට නොටිෆිකේශන්ස් වලින් පිරෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ ඉතිං පෝස්ට් එක "අන්ෆලෝ" කරන එක.


කොහොමින් කොහොම හරි "ප්‍රසිද්ධ චරිත" කියලා දැන් හදුන්වන්නෙ දාන දාන හැම එකකටම කමෙන්ට් 50 ක් 60 ක් වැටෙන අයට. ප්‍රසිද්ධිය මනින මිම්මක් විදිහට දැන් කමෙන්ට්ස් ක්‍රියා කරනවා කිවුවොත් හැ‍මෝම එකග වෙයි. ඒත් එක්කම ගැහැණු පාර්ශවය දාන දාන හැම එකකටම අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවයට වඩා කමෙන්ට්ස් වැටෙනවා. කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මා කිවුවොත් ඉතිං කොල්ලන්ට තව දෙයක් නෑ. සමහරු අහනවා "කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දාලා ගියත් ඇයි බං ඔච්චර කොමෙන්ට්" කියලා. ඒත් ඉතිං ඒ අයම තමයි ගෑණු අයගෙ කෙහෙල් ලෙලි කමෙන්ට්ස් වලින් පුරවන්නෙ. ඒත් එක්කම කියන්න ඕන කමෙන්ට් "හිගාකන" මිනිස්සුත් අනන්තවත් දැන් ඉන්නවා. 

"අනේ බං අරකට කමෙන්ට් එකක් ගහපංකො"

කියන අය ඕන තරම් දැකලා ඇති. සමහර වෙලාවට කාලෙකිං ඔන්ලයින් ගියාම ජීවිතේට කතා කරලා නැති අය එකපාරට හොදට "හායි" කියලා එහෙම ඊට පස්සෙ ලිංක් එකක් එවනවා "අනේ මේකට කමෙන්ට් එකක් දාන්න ප්ලීස්" කියාගෙන. ඒ වෙලාවට තමා මරුවා සිහිවෙන්නෙ. ඇත්තමට මුන්ට ඕන කමෙන්ට්ස් විතරද කියලාත් හිතෙනවා අනන්තවත්. ඉසස්ර කට ඇරං කමෙන්ට් එනකං බලං හිටියත් ඒක මහ විහිලු වැඩක් කියලා මට දැං තේරිලා තියෙන්නෙ. තමන්ව අගය කරන්න අකමැති කෙනෙක්ගෙන් බලෙන් කමෙන්ට් ගන්න ටැග් කරන්න, අරවා මේවා කරන්නෙ මොකටද? ඒ නිසා දැං දාන එකක් දාලා නිකං ඉන්නවා ඕන නං කමෙන්ට් කරපං නැත්තං නිකං හිටපං කියලා. 


අපි දැං එමු බ්ලොග් එක පැත්තට. බ්ලොග් එකේ කමෙන්ට් එකක් වදින්නෙ සාමාන්‍යයෙන් ටිකක් කල් බ්ලොග් ලියලා පරිනත අයට. ගොඩක් අය බ්ලොග් එක ලස්සනට තියාගන්න උනන්දු වෙනවා. ඇත්තෙන්ම එතකොට ඒ ලස්සනටම කමෙන්ට් එකක් ගහන්න හිතෙනවා. බ්ලොග් පෝස්ට් "සින්ඩි වල" එතකොට "ෆේස්බුක් එකේ" පබ්ලිශ් කරන්නෙ ඉතිං කමෙන්ට් එකක් ගන්නම තමයි. මේ බ්ලොග් කෙරුවාවෙ නම් ගෑණු, පිරිමි කියලා භේදයක් නෑ. කමෙන්ට් වදින්න නම් ඒකට මං දැක්ක විදිහට පහත කරුණු වැදගත් වෙනවා.

* බ්ලොග් පෝස්ට් එකේ ගුණාත්මකභාවය
* සිත්ඇදගන්නාසුළු බව
* බ්ලොග් අවකාශයේ පරිනත බව සහ ඇති ප්‍රසිද්ධිය
* බ්ලොගයේ ‍ෆලෝවර්ස් ලා ගණන
* තමන් අනිත් අයගේ බ්ලොග් වල කමෙන්ට් තබන ප්‍රමාණය
* බ්ලොග් පෝස්ටුව පබ්ලිශ් කරන ස්ථානගණන සහ එයට එන ප්‍රමාණය
* ඇනොනිමස් කමෙන්ට් ආදිය සක්‍රීය කර තිබීම.
* වර්ඩ් වෙරිෆිකේශන් දමා තිබීම.

ඇත්තටම බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ ටිකක් වටින දෙයක් (මටනම්. මොකද වැඩිය වැටේන්නෙ නෑ නෙ). ඒකට හේතුව තමයි තමන්ගෙ අත්දැකීමක්, නැත්නම් තමන් අනුන් එක්ක බෙදාගන්න කැමති දෙයක් අනුන් කොච්චර හොද විදිහට දකිනවාද කියන එක දැකගන්න තියන ආසාව. ඇත්තටම මම ගහන පෝස්ට් එකකට උපරිම 10 දෙනෙක් කමෙන්ට් කරයි. ඒත් ඒ කමෙන්ට් 10 මට නම් වටිනවා ෆේස්බුක් එකේ වදින කමෙන්ට් 100 කට වඩා. ඒ මොකද කියනවා නම් තමන් දීර්ඝ වශයෙන් විස්තර කරන අදහසකටයි තමන්ට කමෙන්ට් එකක් වදින්නෙ. ඒ නිසා ඒ ලැබෙන අදහස වටිනවා ඇත්ටම. කොහොම හරි "පරිනත" කියලා හදුන්වන බ්ලොග් ලියන කියන අය යන්නෙ සාමාන්‍යයෙන් ඒ හා සමාන බ්ලොග් වලටම තමයි. ඒත් එක්කම නවකයොන්ටත් හොද ප්‍රතිචාර එනවා ඒ අයගෙ පෝස්ට් වල ගුණාත්මකබව එක්ක. (නවකයොත් නොවෙන පරිනතත් නොවෙන අයට තමා හුලං. හෙහ්..)


ඇත්තටම කියනවා නම් විභාගෙ වැඩ අස්සෙ බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් ගහන්න වෙලාව හරි අඩුයි පෝස්ට් එකක් කියවලා. ඒත් පුලු පුලුවන් වෙලාවට කියවන පෝස්ට් දෙකතුනක් කියවලා ඒ ගැන ඇත්තටම දැනෙන දේ ගහන්න අමතක කරන්නෙ නෑ වචන කීයක් ගියත්. කොහොමින් කොහොම හරි කමෙන්ට් ගැන මට දැනෙන්නෙ මේ විදිහට. හරි ද වැරදිද කියලා නම් අදහසක් නෑ.

ප. ලි : මොනවා උනත් මේක විකාර පෝස්ට් එකක් වෙන්නත් පුළුවන්. කියවද්දි කම්මැලි හිතිලා යන්නත් පුළුවන්. ඒ මොනවා උනත් මේක කමෙන්ට්ස් ගැන කියපු නිසා කමෙන්ට් මං කිවුව ගානට වැඩි වෙන්නත් බැරිකමක් නෑ. ඒ කොහොම වෙතත් මං කිවුවෙ කාලයක් තිස්සෙ ටිකක් හිතපු දෙයක්.

Saturday, April 28, 2012

ජීවිතේ පාලු මකපු Photoshop

ඒ කාලෙ ඉදන් මම හිටියෙ තනියෙම. පවුලෙ එකම ළමයා මම වගේම අපි ඉන්න පරිසරය එච්චර හොද නැති නිසා මම ගෙදර බිත්ති හතර ඇතුලෙ කොටු වෙච්ච කෙනෙක්. මේ පාලුව මකන්න මට උදවු කරේ මගේ‍ ‍‍කොම්පියුටරේ තමයි. ඉස්සර ඉස්සර ගේම් ගහ ගහ කාලෙ නාස්ති කරත්, පස්සෙ තේරුනා ඒක මහ විකාර වරඩක් කියලා. ඒ නිසාම ඒ කාලෙ ඉන්ටනෙට් නුත් තිබ්බෙ නැති එකේ මම කරේ ෆොටෝශොප් වලින් වැඩ කරපු එක. අවුරුදු ගාණක් උනත් මේවා දකිද්දි ආසයි. ඒ නිසා මේ ටික දාන්න හිතුවා මේ විදිහට..

මේ තියෙන්නෙ 2008 අවුරුද්දෙ ඒ කියන්නෙ මම 10 වසරෙ ඉන්දිද්දි Photoshop cs2 වලින් එඩිට් කරපු පින්තූර ටිකක්
ඔය ඉන්නෙ මගේ වෙන යාළුවෙක් කලින් යාළුවාගෙ, යාළුවාගෙ දුයත් එක්ක
ඔය තියෙන්නෙ අර මුල් යාළුවාගෙ නම
මේ ඉන්නෙ මං (කොහොමෙයි එඩිශන් එක.. හෙහ්)
ලෙඩෙක් කෑගහද්දි තමා හොදට ශොට් එක ගන්න පුළුවන්
මේ ඒ කාලෙ අපේ යාළුවො සෙට් එක.. ඔය හිනා ටික එකතු කරගන්න වැඩි ගේමක් දෙන්න උනේ නෑ. හැබැයි වටිනවා
  මේ තියෙන්නෙ ටිකක් ළගදි හදපුවා..

මේ මයෙ ඉස්සෙල්ලා එක්කෙනා (හදපු එකක් හොදේ)
පුළුවන් නම් කියමු බලන්න ඔතන කවුද මම කියලා??

මේ මයෙ අළුත් කෙල්ල.. ලස්සනයි නෙහ්..
මේ මං දන්න ශිල්ප දාලා හදාගත්ත ප්‍රොජෙක්ට් එකේ කවරෙ
අනේ ඇත්තමයි පොටෝශොප් බුදුවෙන්ඩෝන..


මං දන්නෝ ඉතිං මං එච්චර හොද එඩිටර් කෙනෙක් නෙවෙයි. ඒත් මං මේක කරේ මගේ පාලුව මකාගන්න.
හදපු ඒවා ගැන කියන්න තියනවා නම් දෙයක් කියලා යන්න. තව හැදෙන්න ඒන තැන් එහෙම. 
(අර 2008 විතර හදපුවායෙ කලර් බැලන්සින් එහෙම අවුල්. දැං ඒවා ටිකක් ටිකක් දන්නෝ) 
(පැහැදිලි මදි වගේ නම් පොටෝ එක උඩ කොටන්න)

Monday, April 23, 2012

පොඩි කාලෙ ජාතික ක්‍රීඩාව - Clip ගැසීම

මේ පෝස්ට් එක ගහන්න තිබ්බ එකක්. වැරදිලා කලිං පෝස්ට් වෙලා තිබ්බෙ. අග්නි ධාරා අහලා තිබ්බා කෝ පෝස්ට් එක කියලා. ඒක තමයි මේක. හෙහ්. මේවා අමතක වෙන්න කලිං ගහන්නෝනෙ. නැත්තං ආයෙ කවදා කියන්නද. කොහොමින් කොහොම හරි මේ කියන්න යන්නෙ පුංචි කාලෙ ඉදන් අපි නිවාඩුපාඩු වෙලාවක් ආවහාම ගහපු Clip සෙල්ලම ගැන. ඒ කාලෙ සුන්දර මතකයන් මේවා. ක්ලිප් ගහන්න අපිනම් ඉස්සෙල්ලාම පුරුදු උනේ අපි ශිෂ්‍යත්ව පන්ති යන කාලෙ 3 වසරෙ දි. ඒ කාලෙ ක්ලිප් වෙනුවට "විලි ගහනවා" කියන අය දිහා අපි බැලුවෙ ලෝකෙ තිබ්බ නරකම වචනෙ කියපු එකා දිහා බලනවා වගේ. කොහොම හරි "විල්ල" කියන්නෙ "ක්ලිප්" කියන එකේ හරි සිංහල වචනෙ කියලා කවුරුත් පිලිගත්තෙ නෑ. කට්ටිය හිතුවෙ ඒක මාර කැත වචනයක් කියලා. කොහොම හරි මේ තමයි ක්ලිප් සෙල්ලම පරිනාමය උන හැටි.

3 වසරේදි අපි ගැහුවෙ "ක්‍රිකට්" කියලා සෙල්ලමක්. ඒකට ක්ලිප් 2ක් ඕන. ක්‍රීඩකයො ඕනම තරමක් ඉන්න පුළුවන් වැඩිම ළකුණු ගහන එක්කෙනා තමයි දිනන්නෙ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ "කිරන" එක. ඒ කියන්නෙ ඉස්සෙල්ලාම බැට් කරන්න ඉන්න එක්කෙනාව තෝරන එක. ඒක කරන්නෙ ක්ලිප් දෙක අරගෙන අල්ල උඩ තියලා උඩ දාලා අතේ අනිත්පැත්තට සමබරව තියලා ආයෙ උඩ දාලා අල්ලගන්න එක. එහෙම වැඩි වාර ගාණක් ගන්න කෙනා ඉස්සෙල්ලා ගහන්නෙ. පස්සෙ ක්ලිප් එක බිමට වැටෙන හැටි අනුව 4 හරි 6 හරි කපලා ගහන්න තියෙන්නෙ. ක්‍රීඩකයෙක් දැවී යන්න ක්‍රම කීපයක් තියනවා.
* 4 කපද්දි ක්ලිප් එක ස්පර්ශ වීම.
* ගහන පාර ක්ලිප් එකේ නොවැදීම.
* ක්ලිප් දෙකම එලියට යාම.
* 6ක් කපලා ගැහුවාම ක්ලිප් දෙකම සීමාව ඇතුලත තිබීම.

ටික කලක් යද්දි දිග බංකු වල අපි ගැහුවා තවත් "ක්‍රිකට්" කියලාම ජාතියක්. ඒකෙ කරන්නෙ "බෝගර්" ක්ලිප් දෙක අරගෙන බිමට වැටෙන්නැති වෙන්න පුළුවන් තරම් දිගට දානවා, එහා පැත්තෙ කෙනෙක් 4ක් හරි 6ක් හරි කපලා ගහනවා. මේ ක්‍රීඩාවෙදි ළකුණු අඩුවෙන් තමයි රැස් වෙන්නෙ. එක ළකුණක් කියන්නෙත් දිනන්න හොද ළකුණු මට්ටමක්. තමන් සතුව ඉන්න බෝලර් ලා ගේ හොදකම අනුව තමයි දිනුම තීරණය වෙන්නෙ. (ඒ කාලෙ මම පට්ට බෝලර්. හෙහ්)


(අඩිරූලයි කටර් එකයි යොදාගෙනත් අපි ක්‍රිකට් ගැහුවා. ඒ මේස ක්‍රිකට්. ඒක ගැන කියන්නෙ නෑ මොකද ක්ලිප් සම්බන්ධ නෑ නෙ)

ඔය තියෙන්නෙ බොක්සිං ක්‍රීඩාවෙ තැන් කීපයක්. (මගේ ආර්.සී.ජී ක්ලිප් එක)
ඔන්න ඔහොම අපි 9 වසර වෙනකං ඔය ක්‍රීඩාවෙ නිරත උනා. 9 වසරෙදි අපිට අළුතෙන් හදුන්වාදුන්න ක්‍රීඩාවක් තමයි "Boxing". ඒ කියන්නෙ අපේ පන්ති වල තියන සාමාන්‍ය ඩෙස් එකක හරි මැද පොතක් තියනවා. ක්‍රීඩකයෝ දෙන්නෙක් නම් දෙපැත්තෙ ඉදගන්නවා. ඒ අය වෙන වෙනම ක්ලිප් අරගෙන එක අවස්ථාවකට එක බැගින් ඒ කිල්ප් එකට ගහනවා. කරන්න තියෙන්නෙ ප්‍රතිවාදියාව කොහොම හරි බිමට දාන එක. පළවෙනි වතාවෙම අනිත් කෙනාට Direct ගහන්න බෑ. ඒත් ‍අර මැද්දෙ තියලා තියන පොතේ උඩින් ආවොත් ගහන්න පුළුවන්. දෙන්නාගෙම පළවෙනි පාර ඉවර උනාට පස්සෙ ඕනම තැනකදි අනිත් කෙනාගෙ ක්ලිප් එකට ගහන්න පුළුවන්. එක පාරක් එහෙම වැදුනාම දිගටම ප්‍රතිවාදියාගෙ ක්ලිප් එකට ගහන් යන්න අවස්ථාව තියනවා. එහෙම ගහලා අනිත් කෙනාව විතරක් බිම දාන්න තියෙන්නෙ තමනි උඩ ඉන්දිද්දි. මෙහෙම ඕනම ක්‍රීඩකයන් ගානකට ගහන්න පුළුවන්. ඒ වගේම පිලවල් බෙදිලා ගහන්නත් පුළුවන්.

මේ ක්‍රීඩාව තවත් සංවර්ධනය උනා  10 වසරෙ මැද විතර. ඒක අපි හැදින්වුවෙ "Wrestling" කියලා. අර ජෝන් සීනලා, බිග් ශෝ ලා ගහගන්නෙ. අන්න ඒක තමයි. මේකෙ අපි පන්තියෙ එක එක Titles වලටයි තරග පැවැත්වුවෙ. 

* Heavy Weight Championship
* Intercontinental Championship
* WWE Championship
* ECW Championship
* RCG Championship (Richmond College Galle)

ආදී වශයෙන් විවිධ තරග පැවැත්වුවා. මේ එක එක ඒවාට විවිධ නීති තිබ්බා. ඒවා මරු නීති. ඒ වගේම මේ තරග කරන්න විවිධ ක්‍ලිප් තමන් විසින්ම හදාගන්න ඕන. ඒ කියන්නෙ ඉටි පුරවලා, වටේට කොළ ඔතලා, පාට කරලා සෙලෝටේප් ගහලා, එහෙම තමයි හදාගත්තෙ.

මේකත් බොක්සිං එකේ අවස්ථාවක්. (RCG, Intercontinental, Heavy Weight)
Heavy Weight Championship එක සෙල්ලම් කරන්න හොද බර ක්ලිප් එකක් තියෙන්න ඕන. තව සමහර ටයිටල්ස් දිනන්න නම් වෙනත් මැච් දිනලා තියෙන්න ඕන. ඔය හැම එකකම හිමිකාරයෙක් හිටියා. ඒ කෙනාට ඉන්ටර්වල් එකේ හරි ඕෆ් පීරියඩ් එකක හරි චැලේන්ජ් කරන්න පුළුවන් සුදුසුකම් තියන කෙනෙක් ට. ඒ කෙනත් එක්ක ඊට පස්සෙ තරගය පැවැත් වෙනවා මුළු පන්තියම සාක්කි. ඒ කියන්නෙ මුළු පන්තියම බලං ඉන්නවා දෙන්නත් එක්ක ගහගන්න එක. අතින් පයින් නෙමෙයි, ක්ලිප් වලින්. ඔය රෙස්ලිං බලන අය දන්නවා ඇති තියන ටයිටල්ස්. ඒවා ගොඩක් තිබ්බා අපෙත්. ඒ හැම එකකම විශේෂ විදිහක් තිබ්බා ගහන්න. ඒ වගේම දිනුම අයිති කෙනාට අදාල ටයිටල් එක නම යොදාගෙන ක්ලිප් එකක් හදාගන්න අයිතිය තිබ්බා. පෝස්ට් එක පුරාම විවිධ නම් වලින් තියෙන්නෙ ඒවා තමයි.

හොදම වැඩේ කියන්නෙ මේක ගහන්නම කියලා ගොඩක් අය නියපොතු එහෙම වවන්න ගත්තා. ම‍ගෙත් මැද ඇගිල්ලෙ නියපොත්ත වැවුවා. ඒ මොකද කියනවා නම් පළවෙනි පාරම එහා පැත්තෙ ඉන්න කෙනාව බිම දාන්න පුළුවන් පොත උඩින් යන ශොට් එකකදි විතරක් නිසා. ක්ලිප් එක ඇතුලට නියපොත්ත දාලා, නැත්නම් ක්ලිප් එකක දාරෙට නියපොත්ත තියලා උඩට ඉස්සෙන්න ගැහුවාම බබා වගේ යනවා පොත උඩින්. කොහොම හරි ඒ කාලෙ මගේ ගාව ක්ලිප් කලෙක්ශන් එකක් තිබ්බා. එක එක ක්ලිප් එක එක පාටට පාට කරලා කොළ අලවලා ලස්සනට හදලා පෙට්ටියක දාලා තිබ්බා. තව ක්ලිප් බර ගානක් එකතුත් කරා. මේ පෝස්ට් එක පුරාම තියෙන්නෙ ඒ කිලිප් තමයි. ඒත් එක්කම ඔය රෙස්ලිං නොබැලුවාට ඒ කාලෙ තිබ්බ හැම ටයිටල් එකක් වගේම මට තමයි අයිති. හෙහ්.. 

හදන්න තියන ක්ලිප්, අර මගේ කිලිප් දාපු පෙට්ටිය, ක්ලිප් හැඩ කරපු දියසායම් එක 
තරගෙ යෙදෙන අවස්ථාවක්
ඔය තියෙන්නෙ මගේ කලෙක්ශන් එකේ ක්ලිප් කීපයක් මට අයිති වෙච්ච ටයිටල්ස් කීපයක් ඒ කියන්නෙ
(Heavy Weight, RCG, ECW, UMW, Inter Continental)
ඒ කාලෙ මතක් වෙද්දිත් දුකයි. කොහොම හරි අපේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ තමයි මේ ක්ලිප් සංස්කෘතිය මෙච්චර තදේට තිබ්බෙ. ඒ කාලෙ මම, පසිදු, චමෝද, සංකල්ප, දසුන්, දුලාන්, කලන, සැලී, සචින් වගේ අය ප්‍රභල ක්‍රීඩකයො. කට්ටිය දැන් හිතනවා ඇති සාමාන්‍ය පෙළ කට්ටිය කොහොම කරාද දන්නෙ නෑ පන්තියම ක්ලිප් ගහ ගහ ඉදලා කියලා. නෑ නෑ බය වෙන්න කාරි නෑ. අපේ පන්තියේ 44 දෙනයි. 11 දෙනෙක්ට A' 9 යි. (25% කට A' 9 යි කිවුවාම කොහොමද? )කිසි කෙනෙක් ෆේල් නෑ. මම ඔය ඉස්සෙල්ලා කිවුව 8 දෙනාගෙන් 3 දෙනෙක්ටත් A' 9 යි. අනිත් අයට A'6 ට වඩා වැඩියි.

ඒ කාලෙ අපි කළේ ඉගෙනගන්න එක විතරක් නෙවෙයි. ගන්න තිබ්බ ෆන් ඔක්කොම ගත්තා යාළුවො එක්ක පන්තියෙ. අන්තිමට කිසි කෙනෙක්ට කතා නොකියන්න රිසල්ට්ස් නුත් ඉබේම වගේ ආවා. ඇත්තටම ඒ කාලෙ නැතිවෙනවා කියලා දැනෙද්දි පුදුම දුකයි හිතට.

ඒ කාලෙ ක්ලිප් වලින් කරපු තව සෙල්ලං කට්ටියට තියනවා නම් කියලා ගියාව වරදක් නෑ. සුන්දර මතක ගොන්නට වැඩි වෙන්නෙ නෑ එකක් වත් අඩු වුනොත් මිස. :)

Sunday, April 22, 2012

වර්ශ පූර්ණය | 100 වෙනි පෝස්ටුව | සයිබර් සිහින උළෙල | කවිකාරි ගෙ උපන්දිනේ

මීට හරියටම අවුරුද්දකට කලිං එක්කෙනෙක් ඉපදුනා බ්ලොග් ලෝකෙට. ඒ තමයි මේ පුංචි ආගන්තුක බබා. හයක් හතරක් නොදැන බ්ලොග් අඩවියක් පටන්ගත්ත මට බ්ලොග් එක ලියාගෙන යන්න පාර කියලා දුන්නෙ ‍බ්ලොග් ලියන අයියලා අක්කලාම තමයි. ඇත්තෙන්ම මම අදුන්න ගොඩක් අය මට වඩා වැඩිමල්. ජනිත සෙනෙවිරත්න කියන කෙනාට අවුරුදු 19 ක් උනාට ආගන්තුකයාට අදයි අවුරුද්දක් පිරෙන්නෙ. මේ පුංචි බබාටත් කියන්න දේවල් තියනවා නෙ ඉතිං. ඒ නිසා ඉතිං කට්ටිය පොඩ්ඩක් "පොඩි එකානෙ" කියලා අහන් හිටියාට වරදක් නෑ. 

ඔන්න එහෙනම් අදට තමයි අවුරුද්දක් පිරෙන්නෙ. ඒත් එක්කම අද තමයි 100 වෙනි පෝස්ට් එක ලියවෙන්නෙත්. (ප්ලෑන් කරන් හිටියෙ නම් නෑ අද 100 වෙනි එක දාන්න. ඒත් දවස් ලං වෙද්දි පෝස්ට් දාන්නෙ නැතුව ඉදලා 100 වෙනි එකත් මේක කරගත්තා). ලගදි ප්‍රාර්ථනා අක්කත් 100 වෙනි පෝස්ට් එකෙන්ම වර්ශ පූර්ණය සැමරුවා මතකයි. ආගන්තුකයා කවි සින්දු ලියන්නෙ කළාතුරකින්. වැඩිපුර ආගන්තුකයා අතින් ලියවුනේ ආගන්තුකයාගෙම ජීවිතේ ගැන. ඒත් එක්කම කියන්න ඕන සමාජයේ වෙන අසාධාරණ අක්‍රමිකතා ගැන කියන්න ආගන්තුකයා පසුබට උනේ නෑ. "ජනක අබේවර්ධන බ්ලැක්බෝඩ් සාකච්ඡාව" වගේ පෝස්ට් ලියවුනේ බලන් ඉන්න බැරිම තැන. "ස්වර්ණවාහානී දවසේ වැරැද්ද" වගේ පෝස්ට් නුත් ඊට අයිතියි. ඒ පෝස්ට් වලට වැඩි දෙනෙක් ප්‍රතිචාර Pවලා නැති උනාට ගොඩ දෙනෙක් (මගේ තරමට නම් 500ක් බැලුවා කියන්නෙ මරේ මරු) බලලා තිබ්බා. 

කොහොම උනත් කියන්න ඕන ආගන්තුකයා කියන්නෙ වැඩි‍ දෙනෙක් නිතර ගැවසෙන බ්ලොගයක් නෙවෙයි. වැඩිය කමෙන්ට් වැටෙන බ්ලොගයකුත් නෙවෙයි. ආගන්තුකයා මේ බ්ලොගය ලියන්නෙ හිට්ස්, කමෙන්ට්ස් බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තියට. සමහර විට ඒ මම වැඩිය බ්ලොග් වල ගැවසිලා කමෙන්ට් කරලා යන්නෙ නැති හින්දා වෙන්න ඇති. ඒකට නම් හේතුව මේ උසස් පෙළ විභාගෙ. ගණිත අංශයෙන් තව මාස 3 කින් උසස් පෙළ ලියන්න ඉන්නකොට අනිත් ඒවා කියවන්න වැඩි ඉඩකඩක් නොලැබෙන බව ඕන කෙනෙක් පිලිගනියි. නැත්නම් ගුණාත්මක පෝස්ට් මගේ අතින් නොවැටෙන හින්දා වෙන්නත් ඇති. ඒ මොනවා උනත් අද වෙද්දි මගේ බ්ලොග් එකේ ගැවසුන 14,800 කට ආසන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. 

ඇත්තටම මම එක අතකින් නිහතමානීව ආඩම්බර වෙනවා මගේ බ්ලොග් අඩවියේ එකම එක නරකයි කියලා පිලිගන්න වචනයක්වත් පල නොවෙච්ච එක ගැන. ඒ වගේම ගොඩක් දෙනෙක් කියවන්න ආස කරන ලිංගිකත්වය වගේ මාතෘකා ගැන පළ නොවෙච්ච එක ගැන. ඒ වගේ දේවල් පළ වෙලා කමෙන්ට්ස්, හිට්ස් ලැබුනාට මට මං ගැන ඇති වෙන්නෙ කළකිරීමක් මං මේ කමෙන්ට්ස් ගන්නද මේවා ලිවුවෙ කියලා. සමහරු එකග නැතුවත් ඇති. ඒත් ඒක මේ එක අවුරුද්දක් වයස පණ්ඩිත ආගන්තුකයාට හිතෙන විදිහ.

මේත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවා. ඒ අය ගැන කිවුවෙ නැත්නම් ලොකු අඩුවක්. මට බ්ලොග් එකක් හදන්න කියලා අදහස දුන්නෙ "සදුනි" කියලා නංගි කෙනෙක්. ඒ නංගි තමයි ඉස්සෙල්ලාම කමෙන්ට් කරලා මට හයියක් දුන්නෙත්. ඊට පස්සෙ "හිමා" අක්කා. හිමා අක්කා තමයි මට පෙන්නලා දුන්නෙ බ්ලොග් ලියන අපි තනි වෙලා නෑ. අපි වගේ තරුණයො ගොඩක් අපිත් එක්ක ළගින්ම ඉන්නවා කියලා. හිමා අක්කායි ප්‍රාර්ථනා අක්කායි සහෝදර සහෝදරියො නැති මට ඇත්තටම සහෝදරියො දෙන්නෙක්. ඒත් එක්කම කමෙන්ට්ස් තීරුව හිස්ව තියෙන්නැති වෙන්න වගබලාගන්න "දිනේශ් උමගිලිය" අයියා ඇත්තටම මට ලොකුම ලොකු හයියක්. බ්ලොගේ පැත්තෙ ආවෙ ගියේ නැති උනත් මොකක් හරි උදවුවක් ඕන උනොත් ඕන වෙලාවක සූදානම් අපේ "බනී" අයියලා "පොඩිමෑන්" ලා ත් ගොඩක් ලොකු හයියක් ඇත්තටම. ඒ වගේම මාතලන්, මගේ මරණය වගේ පරිණත බ්ලොග් කරුවන්ව මතක් කරන්න ඕන. ඒ අයගෙ බ්ලොග් බලලා තමයි අපිත් ඉගෙන ගත්තෙ‍. ඒත් එක්කම මේ බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් වගේ සේවාවන් හදන්න අදහස පහළ උන අයටත් ගොඩක් පිං අප්පා ඇත්තමයි.     

ඒත් එක්කම අද "සයිබර් සිහින උළෙල" නේ. කට්ටිය "බනිස් කන ගමන් පින්තූරයක් ගනිං ප්‍රොෆයිල් පික්චර් එකට දාගන්න" කියලා එහෙම කියන්න ගනී තව ටිකකිං. මේක ලියද්දි සතුටුයි ඒ වගේම දුකයි. මේ විශේෂ කාරණා දෙක වෙද්දි සයිබර් සිහින උළලෙ ඉන්න තිබ්බා නම් කියලා. හැබැයි ඉතිං ඔය "ජන ගායනා" වගේ තරගයක් තිබුනා නම් එහෙම තෑග්ග ගන්න ඉන්න කෙනා සතුටු වෙන්න මම නාවාට. මොකද ඉතිං සින්දු අල කරාට තාම හොදට ජන ගායනා කියපු පුරුද්ද තියනවා. 


කොහොමින් කොහොම හරි හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවාට. සුභපතන්න හරි බනින්න හරි ඕන නම් අවස්ථාව තියනවා. 


ප : ලි : අද ආගන්තුකයාගෙ ළගින්ම ඉන්න ඤාති සහෝදරිය වන "කවිකාරි" ගෙ ත් උපන්දිනේ.. ඒක අමතකම උනා දැන් වෙනකං..

Saturday, April 21, 2012

සිහින උළෙලට පරිස්සමෙං ගිහින් එන්න එහෙනම්

බ්ලොග් අඩවියක් කියන්නෙ මොකද්ද? රටේ ලෝකෙ නැති හැම කුණු ගොඩක්ම ගහන තැනක් නෙ. නවකතා ද කෙටිකතාද චිත්‍රකතා ද මඩ ද දේසපාලනේ ද විරහව ද ආදරේ ද කදුලද හිනාව ද ඔය සමහර ඕන්නැති ඒවාද ඔය හැම මල ඉලවුවක්ම ගහන්නේ බ්ලොගේ නෙ. කොටිම්ම කියනවා නම් අච්චාරුවක්. සුද්ද සිංහලෙං කියනවා නම් ෆ්රුට් සැලඩ් එකක්. ඔය සැලඩ් ගොඩේ නටන පෙරලෙන හිනාවෙන තෙරපෙන අඩන වැලපෙන අපේම යි කියලා අපිට හැගෙන සහෘදයො ටික පට්ට වටිනවා කියලා අපිට දැනෙන්නෙ මොකක් හරි එකක් අපි පළ කරාම ලැබෙන ප්‍රතිචාර අරවා මෙවුවා එක්ක. ඒත් ආඩම්බරයි අපේ මිතුදම ඒකට විතරක් සීමා නොවෙච්ච එක ගැන. 

ශ්‍රී ලංකාවෙ අපිට අපේම කියලා විදිහක් තියනවා. ඒකයි විශේෂත්වෙ. නැද්ද මං අහන්නෙ‍. අපි Get together's පවත්වනවා. හෙට තියන්න ඉන්නවා වගේ සිහින උළෙලවල් පවත්නවා. මොන රටේද එහෙම තියෙන්නෙ? මේ රත්තරං ලංකාවෙ ඇරෙන්න. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ පරිනත බ්ලොග්කරුවන්ට. ඕන දේකදි බ්ලොගර්ස් ලා එකට එකතු කරන්න දරන උත්සාහය ගැන. ඔවුන්ගේ කැපවීම උනන්දුව සහ අර "බොක්කෙම්ම එන මෙවුවා එක" නැත්තං කිසි කෙනෙක්ව දැකබලාගන්න නැතිවෙන්න තිබ්බා. ඒත් අපේ වාසනාවට (සහ ඔවුන්ගේ අවාසනාවට) ඒ වැඩකටයුතු ටික නම් බොක්කෙම්ම සිද්ධ කරනවා අපේ ලොකු අයියලා ටික. 

මේ පෝස්ට් එක ලියන්නෙ නම් "මෙන්න මෙහෙමයි.. මේ පාරෙන් එන්න.. මේවා තමා තියෙන්නෙ.." කියලා කියන්න නෙමෙයි. ගිහින් එන්න ඉන්න අයට සුභ පතන්න අවස්ථාවක් කරගන්න. මොකද ඉතිං මට එන්න වෙන්නෙ නෑ. ඒකයි. මං නාවැයි කියලා අවුලක් නෑ ඉතිං (මං මොකෙද්ද? තාම ‍බටු ඇට දෙකක් තරම් වත් ලොකු නැති පුංචි බ්ලොගයක් ලියන පිස්සෙක්). ඔන්න එහෙනම් හැමෝටම අත්නත්තරේ පිහිටෙන් ඉතාම හොද දවසක් ගතකරන්න පුළුවන් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන. බොක්කෙම්මයි කියන්නෙ.

ඒත් එක්කම චූටි ඉල්ලීමක් කරන්නම්. මත්පැන් එහෙම පාවිච්චි නොකර ඉන්නවා නම් ඒක තවත් ලස්සන වේවි. මොකද ඒවා පාවිච්චි කරාම ඒ ඉන්නෙ තමන් ම නෙමෙයි නෙ. තමන් කොච්චර "මම කෙලින්" කිවුවත් තමාට ඒ විශේෂ අවස්ථාවෙ තියන ඇත්ත සුන්දරත්වය ඒකෙන් ලබන්න වෙන්නෙ නෑ. මේක නිහතමානී ඉල්ලීමක්. 


හෙට දවස කියන්නෙ මගේ බ්ලොග් ජීවිතේට ගොඩක් වැදගත් දවසක්. ඒ දවස බ්ලොගර්ස් ලා එක්ක ගතකරන්න තිබ්බා නම්. ශික්. පින නෑ කියන්නෙ ඒකනෙ. :(

මතක තියාගන්න:

*සල්ලි පරිස්සම් කරලා තියාගන්න.
*එන්න කලිං වතුර බෝතලයක් එහෙම අරන් එන්න.
*කැමරාවක් එහෙම තිබ්බොත් වෙන දේවල් මතකේ තියාගන්න ගෙදර අරන් යන්න පුළුවන්.
*දැම්මම ෆෝන්, කැමරා ටික චාජ් කරගත්තොත් හොදයි.
*හෙට උදෙම්ම නැගිටින්න කලිං නිදාගන්න.

හැමෝටම හොදට සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා..

අනේ දෙයියනේ වහින්න නම් එපා !


ප.ලි. : වෛරස් උණ නැමති රෝගය මේ ලෝකයට හදුන්වාදෙනු ලැබූ එකාට පලි ගසන බවත්, දින දෙකහාමාරක් ඇදේ සිට ලාවට ඔළුව උස්සාගැනීමට හැකි වූ වහාම ලෙඩේ වැඩි කරගන්නට කොළඹ දුවන්නට තනනවා යැයි කියමින් ගමනට දැඩි භාධා එල්ලවන බවත් ප්‍රකාෂ කර සිටිමි. වැඩිදුර තොරතුරු අධ්‍යනයේදී පෙනී ගිය කරුණක් වන්නේ ගියාට කම් නැති වුනත් ආපිට ඇවිදින් එකදු "හචිස්" එකක් හෝ පිට වූ වහාම බත්කාඩ්පත අහිමි කරනා බවට අවධාරණය කර සිටීමයි.

Friday, April 20, 2012

මේ වගේ සක්කිලියොත් ඉන්නවා ලංකාවෙ

මේ දවස් ටිකේ ඇදට වෙලා හිටියේ ගොඩක් අමාරුවෙන් උණ ගැනිලා. යන්තම් කෙලින් වෙන්න පුළුවන් උනාමයි මේ නැගිටලා ආවෙ බ්ලොග් එක පැත්තෙ. ඉස්සර වගේ නෙවෙයි ඉතිං දැං කවුරුත් මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ නෙ. ඒ නිසා අවුලක් නෑ. මට තමා පාලුව. මොනා කරන්නද. ක්ෂිතිජ රේඛාවටත් හෙනහුරා පහත් උනා නෙ. කරන්න දෙයක් නෑ. කියෙවුවා ඇති. මේ කියන්න යන්නෙ මුහුණ දෙන්න උන සිද්ධියක් ගැන. කියවලාම බලන්න.

එදා උදේ ඉස්කෝලෙ තිබ්බෙ නෑ. මම සුපුරුදු විදිහටම කාඹරේට වෙලා හිටියෙ ‍කොම්පියුටරෙත් දා‍ගෙන එහෙට මෙහෙට කර කර. අපේ ගෙදර සාලෙ තිබ්බෙ මගේ කාඹරේට එහා පැත්තෙ. ටික වෙලාවක් යද්දි මහා බෙරිහන් දෙන සද්දයක් ඇහුනා.

කදුලු බිබී මනුස්සයෙක් මහා හයියෙන් අඩන සද්දයක් ආවා.

"අනේ මහත්තයෝ.. "

අපේ තාත්තාගෙ කටහඩත් ඒත් එක්කම ඇහුනා

"ඉස්සෙල්ලාම වාඩි වෙන්න ඔතනින්.."

 ආපහු අර කටහඩ

"අනේ මහත්තයෝ මගේ දරුවා.."

මේ කෑගැහිල්ල ඇහිලා අම්මාත් කොහේද ඉදන් දුවන් ඇවිත්. මට එලියට එන්න හිතුනෙ නෑ. මම කාඹරේට වෙලා කියන්නෙ මොකද්ද කියලා අහගෙන හිටියා.

"අනේ මහත්තයෝ.. මගේ පොඩි එකා ඊයෙ හවස ඇදගෙන වැටුනා. දරුවාට අවුරුද්දයි. ළමයාට හොදටම අමාරු නිසා කරාපිටියට අරන් ආවා මහත්තයෝ. රුපියල් දහදාහයි මම අරන් ආවෙ. දැන් මගේ අතේ ඉතුරු --- ක්. මගේ දරුවාට අමාරු නිසා ඔපරේශන් එකක් කරන්න ඕන කියලා ජයන්ත දොස්තර මහත්තයා කිවුවා. ඒක කරේ නැත්තං මගේ දරුවා ගැන තියන ආසාව අත්තැරගන්න කියලා කිවුවා. අනේ බුදු මහත්තයෝ"

මහා විලාප සද්දයක්. මට කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ. මම කාඹරේට වෙලා හිටියා. ඒ මනුස්සයා අඩනවා අඩනවා පුදුම විදිහට. තමන්ගේ ළමයාව නැති වෙනවා කියලා දැනුනාම ඉතිං මොන අම්මාට තාත්තාටද දරාගෙන ඉන්න පුළුවන්. අපේ අම්මාත් කතා කරන්න ගත්තා

"දැන් මොකද්ද උනේ කියලා කියන්න.. ඔපරේශන් එකට තව කීයක් අඩු ද?"

"තව රුපියල් 1000 ක් අඩුයි නෝනා. අනේ නෝනා පුළුවන් නම් මට ඒ ගාන දෙන්න. මම හෙට උදේම නෝනාට ගෙනත් දෙන්නම්."

"මේ මාසෙ අන්තිම. මම ඉතුරු කරගත්ත රුපියල් 500 යි තියෙන්නෙ. ණය වෙලා ගෙවල් දොරවල් හදාගත්තාට අපි ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. අපිට තේරෙනවා මිනිස්සුන්ට තියන අමාරුකම්. අපි ඒ මිනිස්සුන්ට උදවු කරන්නෙ නැත්තෙ අමනුස්සකම නිසා නෙමෙයි කරන්න පුළුවන් තත්වෙක අපි නැති නිසා"

එහෙම කිවුවෙ අපේ අම්මා. අර මනුස්සයා තව විනාඩි 30 ක් විතර ඉදලා අපේ පරම්පරාවටම පින් දිදී යන්න ගියා. හැම වතාවෙම කිවුවෙ,

"අනේ බුදු බව අයත් වෙන්න ඕන මහත්තයාලාට. මම හෙට උදෙන්ම මේ සල්ලි ගෙනත් දෙන්නම්"

මෙච්චර වෙලා කාඹරේ ඇතුලෙ හොරා වගේ ඔක්කොම අහන් හිටපු මම හිමීට එලියට ආවෙ අම්මාගෙන් සවිස්තර වාර්තාව දැනගන්න. අම්මා කිවුවා ඉතිං කතාව ඒ මනුස්සයා කියපු හැටියට. ඒ මනුස්සයාගෙ ළමයා බිම ඇදන් වැටිලා ලු. කොන්ද බිම වැදිලා ලු. ඒ නිසා ඉක්මනටම මොකද්ද ඔපරේශන් එකක් කරන්න ඕන ලු. ඒක නිසා ඒ මනුස්සයාට සල්ලි වගයක් ඕන ලු. රුපියල් 1000ක් මදී කියලා තමයි කිවුවෙ. අම්මා ගාව තිබිලා තියෙන්නෙ 500 යි. තව 500ක් කොහෙන්ද මන්දා කෙනෙක්ගෙන් ඉල්ලලා දීලා. තව තුවායකුයි ඕඩිකොලෝන් එකකුයි සබන් කෑල්ලකුයි දීලා පිටත් කරලා ඒ මනුස්සයාව.

කොහොම හරි ඒ දවස ඉවර උනා. අපි ඔක්කොම shock වෙලා හිටියෙ ඒ සිද්ධියට. අනිත් දවසෙ උදේ ඒ මනුස්සයා ආවෙ නෑ. අර ළමයා අච්චර අසනීපෙන් ඉන්දද්දී කොහොමද තාත්තා කෙනෙක් මේ රුපියල් 1000 ක් දෙන්න එන්නෙ. අපේ අම්මා එදා හවස කරාපිටියට කෝල් එකක් ගත්තා, සල්ලි ගැන හොයන්න නම් නෙමෙයි අර ළමයාට කොහොමද කියලා දැනගන්න. නර්ස් කෙනෙක් කතා කරලා තියෙන්නෙ.

"හලෝ කරාපිටියෙන්ද කතා කරන්නෙ"

"ඔවු.."

"මට ළමා ඒකකයට කතා කරන්න පුළුවන් ද?"

"ආ ඔවු පොඩ්ඩක් ඉන්න"

"හලෝ මේ ළමා ඒකකයෙන්ද?"

"ඔවු. කියන්න"

"මට දැනගන්න පුළුවන්ද අර අවුරුද්දක් විතර වයස බිම වැටිලා ඔපරේශන් එකකට ඊයෙ උදේ ගෙනාපු ළමයාගෙ තත්වෙ කොහොමද කියලා"

"නෝනාගෙ ගෙදර ඒ තාත්තා ආවාද?"

"ඔවු මිස්"

"මොනවද කිවුවෙ?"

"වැඩි දෙයක් කිවුවෙ නෑ මිස්. දරුවා ගැන කියලා හොදටම ඇඩුවා. මම ඔය තුවායකුයි ඕඩිකොලොන් එකකුයි තව උවමනා ජාති ටිකකුයි මදියි කියලා කිවුව රුපියල් 1000 කුයි දීලා පිටත් කරා. ඇයි මිස් එහෙම ඇහුවෙ?"

"ඉතිං නෝනාට සල්ලි ආපහු දුන්නාද?"

"නෑ මිස්."

"නෝනා, ඕකා පට්ටපල් හොරෙක්. මුළු දකුණෙම ඕකා ඔය හොර ව්‍යාපාරෙ ගෙනියනවා. ඔය බොරුව තමයි හැමෝටම කියන්නෙ. ඕකාට ඇති ළමයෙක් නෑ. ඕකා නොම්බර එකේ කුඩුකාරයෙක්. දැන් කුඩු ගහලා කොහෙට හරි වෙලා නිදි ඇති. කාළකණ්නියො. ඕකා දවසක් අපේ ගෙදරත් ආවා දරුවා ගැන කියාගෙන. මම කිවුවා මම හටසට ඩියුටි යනගමන් බලලා අඩු ගානක් තියනවා නම් දෙන්නම් කියලා. මිනිහා වාශ්පවුනා. දැන් කාලෙ මිනිස්සුන්ව තුට්ටුවකට විස්වාස කරන්න බෑ මිස්."

අම්මා ඒ ඔක්කොම අහගෙන ඉදලා රිසීවර් එක තිබ්බෙ පුදුම කළකිරීමකින්.

තමන්ගෙ ඕනඑපා කම් ඉශ්ටකරගන්න දරුවොන්ගෙ අසනීප ගැන කිය කිය මිනිස්සුන්ගෙ හිත් වලට ගින්දර දීලා මේ හොයාගන්න සල්ලි මුන්ටම විස වෙලා මැරෙන්නෙ කවදා හරි. දරුවෙක් කියන්නෙ සම්පතක්. ඒ සම්පතේ අගය තේරෙන්නෙ නැති මේ වගේ මිනිස්සුන්ට මොනවාද කරන්න ඕන කියලා තීරණයක් ගන්න. දකුණේ කෙනෙක් නම් අනිත් අයටත් මේ ව්‍යාපාරය ගැන දැනුවත් කරන්න. මේ වගේ මිනිස්සු මේ පොළවට බරක්.

WHAT DO YOU THINK??


ප.ලි. : කවුරු හරි හිතනවා ඇති ඒ කෙනා කරේ බොරුවක් කියලා ඔච්චරටම තේරුනේ නැද්ද කියලා. ඒත් ඒ කෙනා ඒ දේ කියලා විලාප තිබ්බ හැටියට ඕන කෙනෙක් ඒ දේ විශ්වාස කරයි. කොටින්ම කියනවා නම් මම කාඹරේ ඉදන් කල්පනා කළේ මගේ ගාව කීයක් තියනවාද, බැංකු පොතේ කීයක් තියනවාද මේ මනුස්සයාට දෙන්න කියලා. 


ප.ප.ලි : මේ වගේ සැකකටයුතු කෙනෙක් ගැන දැනගන්න ලැබුනොත් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම අදාල කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා සනාථ කරගෙන සල්ලි ටිකක් ඉල්ලගන්න ඕන විදිහට පරක්කු කරලා ළගම තියන පොලීසියට දන්වන්න. මේ ගැන නොදන්න අයට කියන්න. ඒ කියන්නෙ මගේ බ්ලොග් එක බලන්න කියලා නෙමෙයි. මේ වෙන සිද්ධිය ගැන දැනුවත් කරන්න. 

Sunday, April 15, 2012

ක්ෂිතිජ රේඛාව කියවූ ඔබගෙන් සමාව අයැදිමි

ක්ෂිතිජ රේඛාවට පාදක වූ කතා නායකයා එම කතාව පළකිරීමට විරෝධය දැක්වීම හේතුවෙන් කතාව අතරමග නතරකරසිටීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටිමි. සියළු දෙනාටම සමාවන්න..


- ආගන්තුකයා

Saturday, April 14, 2012

ක්ෂිතිජ රේඛාව (තෙවන කොටස | 3)

-----------------------------------------------------------------------------

ජානක එදා කොම්පියුටර් කඩේට ගිහින් කරපු පළවෙනි රාජකාරිය තමයි අර පොටෝ කෑල්ල අයින් කරලා දාපු එක. කොහොමින් කොහොම හරි යාළුවො ටිකත් ඔක්කොම එකතු වෙලා ෆේස් බුක් එකේ. ජානකගෙත් වැඩේ ඉතිං ඉන්න අය එක්ක චැට් කර කර ඉන්න එක. ෆ්රෙන්ඩ්ස් ලා 100 ක් කියන්නෙ ඉතිං ජානකට සම්පතක්. දහ දොලොස් දෙනෙක්වත් ඉන්නවා නෙ ඉතිං චැට් එකට. කම්මැලි නෑ ඉතිං. ‍ගෙදර හිටියා කියලා ජානක වැ‍ඩක් කරන්නෙත් නෑ නෙ. ඕ ලෙවල් ඉවරයි නෙ ඉතිං මොන වැඩ ද?

ඒත් ඔන්න ටික කාලයයි එහෙම ඉන්න හම්බු උනේ. උසස් පෙළ ට පන්ති යන්න පටන්ගන්න සිද්ධ උනා හැමෝටම. ජානක තෝරගත්තෙ විද්‍යා විශය ධාරාවක් වන ගණිතය. ඒ කාලෙ ඉදන්ම ජානකට ළකුණු අඩු උන විශයක් උනත් අනිත් එක විශයක්වත් ජානකට හරියන ඒවා නෙවෙයි. ගෙවල් වලින් කියන්නෙ එක්කෝ මැත්ස් නැත්තං බයෝ. සමාජයේ පිලිගැනීමක් තියෙන්නෙත් ඒවාට ලු නෙ. කෙල්ලොන්ට වගේ නෙවෙයි කොල්ලන්ට. ආර්ට්ස් කරනවා කියන්නෙ මදිකමක්. ඒ කාලෙ සමාජ සම්මතය වෙලා තිබ්බෙ ආර්ට්ස් කොමස් කරන්නෙ එච්චර මොලේ නැති අය කියලා. ජානකටත් වැඩි මොළයක් නෑ. ඒත් සාමාන්‍ය එකක් තිබ්බා. ‍මේ ඔක්කොම නිසා ජානකට තිබ්බෙ තීරණ 2 යි. එක්කො බයෝ, නැත්තං මැත්ස්. 

මේ දෙකෙන් එකක් තෝරගන්න එක නම් ජානකට කිරි කජු. ඒ ජානක එක විශේකට වැඩි කැමැත්තක් තිබ්බ නිසා නෙමෙයි, එක විශයක් ගොඩක් පිළිකුල් වෙච්ච නිසා. ඒ තමයි බයෝ. අම්මා ජානකගෙං ඇහුවාම පුතේ මොනවාද කරන්නෙ කියලා ජානක උත්තර දුන්නෙ

"අනේ අම්මෙ මම බයෝ වලට බයෝ"

කියලා. ඒ කියන්නෙ නිතරගයෙන් මැත්ස් උක්ත වෙනවා. ජානක මෙහෙම බයෝ වලට අකමැති වෙන්න හේතුව තමයි "ලේ". ඉගෙනගන්න කාලෙ පොතපත පරිහරණය කරන්නයි ඔය පොඩි පොඩි ඇගේ කෑලි බෑලි බලන්නයි විතරක් උනාට වැරදිලාත් මෙඩිකල් කොලේජ් ගියොත් එහෙම දවසෙම කලන්තෙ දදා තමා ඉන්න වෙන්නෙ ලේ වලට බය නිසා. ඔය ගෙම්බො කපන එක, ඇගේ පාට්ස් බලන එක ජානකට අරහං. ඕන් ඒ නිසා අන්තිමේදි මැත්ස් තෝරගත්තා කියමු කො.

දැං ඉතිං බැදගත්ත බෙරේ ගහන්නත් එපායැ. ඕන් හාහාපුරා කියලා ජානක ගියේ ප්‍රසිද්ධ භෞතික විද්‍යා පන්තියක ගාල්ලෙ තිබ්බ. පළවෙනි දවසෙ ඒකට ආපු සෙනග දැකලා ජානකට නිකං පිස්සු වගේ. "බුදු අම්මෝ මෙච්චර සෙනගක්" ජානක හිතන්න ගත්තා. බොහොම අමාරුවෙන් කාඩ් එකත් අරගෙන ගිහින් පන්තියේ කොනකින් වාඩි උනා. එදා දවසම ජානක ඇහි පිය නොහෙලා බලාන උන්නෙ සර් කියපු දේවල් දිහා. මේ අතරෙ ජානක‍ගෙ ඉස්කෝලෙ යාළුවො වගේම ෆේස්බුක් එකේ යාළුවොත් ඒකට සහභාගී උනා. ජානකට ඉතිං මාර සතුටුයි. හැමවෙලේම "ඔන්ලයින්" වගේ තමයි.

හැමදාම පන්ති ගිහින් ගෙදර ඉන්න ගොඩක් වෙලා තිබ්බා. ඒ නිසා කොම්පියුටර් කඩේට යන එක අත්තැරියෙ නෑ ජානක. මේ අතරෙ ජානකටත් පොඩි රෝගයක් බෝ උනා. යාළුවො ඇඩ් කරගන්න එක. ජානක ඉස්සර තමන්ගෙ යාළුවො 100 දෙනා තියාගෙන හිටියෙ ඒ ඇති කියලා. ඒත් අළුතෙන් ෆේස්බුක් ඇවිත් යාළුවො ඇඩ් කරන් පිස්සු නටන අය දැක්කාම ජානකට කේන්තියි. මේ නිසා ජානක පළවෙනි පියවර තිබ්බේ එච්චර කාලෙකට ආපු ෆ්රෙන්ඩ් රික්වෙස්ට් 50 ක් 60 ක් විතර ඇක්සෙප්ට් කරලා. පස්සෙ ෆේස්බුක් එකේ අයිනේ පෙන්නන ෆ්රෙන්ඩ්ස්ලාට රික්වෙස්ට් යවන්නත් ජානක පුරුද්දක් කරගත්තා. ඒ මොනවා උනත් දන්න අදුනන දැකලා පුරුදු අය ඇරෙන්න වෙන අය එක්ක වැඩි බජනයක් තිබ්බෙ නෑ. විශේෂයෙන්ම කෙල්ලොත් එක්ක.

ජානක අදුනන කෙල්ලො දෙතුන්දෙනෙක් හිටියා ෆේස්බුක් එකේ‍. ඒ අය හරිම මිත්‍රශීලියි. ඕ ලෙවල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන කාලෙ ජානක ගියපු අමතර පන්ති 3 ටම වගේ ඒ අය සහභාගි වුනා. ඒ පන්ති වලදි වෙන දේවල්, කෑකෝගහන ඒවා, පිස්සු නටන ඒවා ජානක එක්ක කතා කරන්න ඒ අය පැකිලුනේ නෑ. ජානකටත් ඒ අය තමන්ගෙම වගේ උනා. අයියලා අක්කලා මල්ලිලා නැති ජානකට ඒ අය තමන්ගෙම නංගිලා වගෙයි දැනුනෙ. ඒ අය දාන ස්ටේටස් එකකට කමෙන්ට් එකක් ගහන්නවත්, දාන පින්තූරයක් ලයික් කරන්නවත් ජානක දෙපාරක් හිතුවෙ නෑ. සමහර දවස් වලට ජානක අර හවස 6 කියන සීමාවත් පන්නලා කොම්පියුටර් කඩේ නවාතැන් ගත්තා. ඒ වෙලාවෙදි ජානකගෙ අම්මා කොම්පියුටර් කඩේට කෝල් කරලා ජානකට එන්න කියලා කියනවා. 

කොහොමින් කොහොම හරි ජානක යාළුවො කොච්චර ඇඩ් කරගත්තත් අර විශේෂ යාළුවො දෙතුන්දෙනා එක්ක විතරයි කතාබහ කරන්න උනේ කෙල්ලොන්ගෙන්. බොහෝ වෙලාවට අනිත් අය ඕෆ්ලයින් තියන්න තමයි ජානක වැඩි කැමැත්තක් දැක්වුවෙ. මේ විශේෂ යාළුවො දෙතුන්දෙනාටම ලස්සන හුරුබුහුටි කොලු පැටවු තුන් දෙනෙක් හිටියා ජානකගෙ ඉස්කෝලෙම. ඒ අය උන්නාද මළාද කියලා අහගන්නෙ සමහර විට ජානකගෙන්. 

"ඒ බං මයෙ කෙල්ල ඔන්ලයින් ආවැයි..??"

"ආහ්.. තාම නං දැක්කෙ නෑ බං.. ආවොත් මං කියන්නම් කො.."

"කියහං හොදේ එහෙනං.. අම්මාගෙ පොඩි වැඩක්.. මම යන්නම් ඈ.."

"හරි හරි පලයන්.. මම කෙල්ලව බලාගන්නං..හිකිස් "

"තූ තූ‍‍.. හරි හරි ඔන්න එහෙනං කියහං හොදේ මට හදිස්සියි"

"හරි හරි බං නංගියා ආව ගමං මං කියන්නං. හැබැයි මම 6 ට යනෝ හොදේ.."

"ආහ්.. හරි බං අපි කැපුනා.."

මේ විදිහට ටික කාලයක් ගත උනා. හැබැයි ඉතිං රෑ 6 ට පස්සෙ තමයි ගොඩක් යාළුවො දැන් ඔන්ලයින් ඉන්නෙ. මොනවා කරන්නද ඉතිං. ජානකගෙ ගෙදර ඉන්ටර්නෙට් නෑ නෙ. අනික ජානකට කරදර කරන්න හිතෙන්නෙත් නෑ අම්මාගෙං ඉන්ටනෙට් ඕන කියලා. ඒ පැත්තට සිග්නල් තිබ්බත් ඩොංගල් එකක් ගන්න එක ප්‍රශ්නයක් කියලා ජානකට හිතුනා. අනි‍ක කොහෙන්ද ඕවාට සල්ලි. ජානකට මොබයිල් එකකුත් නෑ නෙ. ඒ නිසා ඉතිං රෑට ටිකක් කලිං නිදාගන්න එන තමයි ජානකගෙ රාජකාරිය‍ වෙලා තිබ්බෙ. මේ කාලෙ ජානක දිගටම කරේ. ඒත් සමහර දවස් වලට රෑ ටිකක් වැඩියෙන් ඇහැරගෙන ඉදලා ගැන පොඩි ස්වයං අධ්‍යයනයක් කරන්නත් ජානක පුරුදු වෙලා හිටියා..

මේක අස්සෙ ජානකට අහන්න ලැබුනෙ අති භයංකාර ප්‍රවෘත්තියක්..

"2009 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සතියක් ඇතුලත" 

Friday, April 13, 2012

මට නංගියෙක්වත් හිටියා නම් (නංගිට මගෙං සින්දුවක්)

පොඩි කාලෙ ඉදන් මම යාළුවො එක්ක කතා කරද්දි ඒ අය කියනවා අපේ අක්කා මෙහෙමයි. අයියා මෙහෙමයි. මගේ මල්ලි කනෙං අදිනෝ. මල වදේ. එක එක ඒවා. ඒ නිසා මම හිතුවෙ සහෝදරයෙක් ඉන්න එක කරදරයක් කියලා. ඒත් දැන් නම් කවුරුත්ම නැති අඩුව හුගක් දැනෙනවා. සතුටු වෙලාවක තනියෙම හිනාවෙනවාට වඩා කවුරු හරි කෙනෙක් ලගිං ඉන්නවා නම් කොච්චර හොද ද කියලා අනන්තවත් හිතෙනවා. ඒ වගේම දුකේදි අඩන්න කවුරුත් හිටියා නම්. අඩුම තරමෙ නංගි බබෙක්වත්.

ඒත් මොනවා කරන්නද? මම අසරණයි. කවුරුත් නෑ මට. ඒත් මම ගොඩක් ආස සින්දුවක් රනිදු කියන "මාගේ නංගි" කියන සින්දුව. මේකෙන් කියවෙන්නෙ නංගිලා ගැන විතරක් උනත් මට සහෝදරයෙක් සහෝදරියක් උනු හැම කෙනෙක්ටම ගොඩක් පිං. මේක ලබන ආත්මෙදිවත් මට ලැබෙයි කියලා හිතෙන මගේ නංගියාට.. මේ සින්දුව කියන්නෙ මම හොදේ.. දැන්ම කිවුවා.. ඇහුවාට පස්සෙ බනින්නෙපා‍..



පුන්‍ය කාලය නිසා ක්ෂිතිජ රේඛාව ලියන එක පොඩ්ඩක් පරක්කු කරන්න වෙනවා. හොද වැඩ කරන්න හොද නැල්ලු නේ. නංගි කෙනෙක් මට නැති නිසා කමක් නෑ මේක පෝස්ට් කලාට.. 

Thursday, April 12, 2012

ක්ෂිතිජ රේඛාව (දෙවන කොටස)


-----------------------------------------------------------------------------------------------------------

මේ අතරේ සද්දේ වැඩියි කියාගෙන සෙක්ශනල් හෙඩ් පන්තියට ආවත් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති වලට වැඩි "ලෙඩක්" දාන්නෙ නෑ. මොනවා උනත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසාම සද්දෙ බද්දෙ ටිකක් අඩු කරත් හෙමීට කෙරෙන කතා නම් කාටවත්ම නවත්තන්න පුළුවන් උනේ නෑ. මේ අතර ජානකත් කතාවකට වැටුනා. 

"අඩේ බං ජානක, උඹ දැං බලන බලන වෙලේ ඇත්තං ෆේස්බුක් නේ. වෙන වැඩක් නැද්ද බං උඹට"


"හෙහ්.. අනේ පල පල  සංකෙ යන්න.. මට කියන්නෙ තෝත් ෆේස්බුක් එකේ ඉන්න ඕන නේ"


"හරි ඉතිං.. මං නෑ කිවුවයැ. උඹ නං ඔක්කොම පාඩං කරලා ඉවර වෙලා නෙ යන්නෙ අර කම්පියුටර් කඩේට ෆේස් බුක් යන්න"


"ඔවු බං මම ඔක්කොම ඉවර කරලා නෙ යන්නෙ.. ඒක නිසා තමයි උදේට ඇවිත් ගනං ටික හදන්නෙ.."


සංකෙ කියන්නෙ ජානක ගෙ හොදම යාළුවෙක්. ජානකට සංකව හම්බුනාම තොරතොංචියක් නැති කතාබහ තමයි ඉතිං. දෙන්නාම හොද කොම්පියුටර් වැඩකාරයො. ඒ කාලෙ ජානක ෆොටෝශොප් එකේම තමයි ජීවත් වෙලා උන්නේ. යාළුවොංගෙ පින්තූර හද හද ෆේස්බුක් දාන එක තරම් වැඩක් ජානකට තිබ්බෙ නෑ. මේ අතරෙ php ටියුටෝරියල්ස් බලන්නත් joomla වෙබ් ඩිසයිනින් ගැන ඉගෙනගන්නත් ජානක ගොඩක් ආස කරා. ඒත් එක්කම මේ විභාගෙ වැඩ. සාමාන්‍ය පෙළ කියන්නෙ සාමාන්‍ය දෙයක් උනත් දෙමවුපියන්ට ඕන හැම එකක්ම ඉහලින්ම පාස් කරන්න ඕන නිසා ජානකටත් ඒ දේ පොදු උනා. 

ජානකගෙ ගෙදර ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ. ඒ නිසා ජානක හැමදාම අදුනන කෙනෙක්ගේ කොම්පියුටර් කඩේකට ගියා. ජානක ඉගෙනගත්තෙ එතනින් තමයි හැමදේම. ජානක ඒ අයියාටත් උදවු කරගෙන වැඩක් නැති වෙලාවට ෆේස්බුක් එකේ හිටියා. මොනවා උනත් හවස 6 වෙන්න කලින් ගෙදර යන්න ඕන. ඒක තමයි නීතිය. මොනවා උනත් ඒ වෙද්දි ජානක ගොඩක් යාළුවො අදුනගෙනයි තිබ්බෙ ෆේස්බුක් එකේ. ඒ කාලෙ අදුනගත්ත සම වයස් වල ගෑණු යාළුවෝ සමහරුන්ට නම් ජානකගෙ ඉස්කෝලෙ ම කොල්ලෙක් හිටියා. එහෙම හිටියෙ නැති අය ගෙ නම් හැම තිස්සෙම වගේ කියවුනා යාළුවොන්ගෙ කටින් පන්ති වල එහෙම. මොනවා උනත් ජානක හැමෝටම සැලකුවේ තමන්ගේම සහෝදරයක්ට සහෝදරියන්ට වගේ. මොකක් හරි දුකක් වේදනාවක් දැනුනාම "මහා පණ්ඩිත ජානක උන්නාන්සෙ" බණ කියන්න දෙපාරක් හිතුවෙ නෑ

මේ විදිහට කාලෙ ගෙවිලා ගියා. ඒ කාලෙ ජානකට ළකුණු අඩු විශයක් උන "ඉංග්‍රීසි සාහිත්‍ය" ට පන්ති යන්න සිද්ධ උනා. කොහොමින් කොහොම හරි විභාගෙට තියෙන්නෙ තව මාස 2 ක් විතර. ඒ කාලෙ නම් කරපුවා බලාගන්න කොහොමටත් මදියි කියලයි ඔහු හිතුවෙ. එහෙම හිතාගෙනම මුකුත් වැඩක් ‍නොකර ගෙදරටයි කොම්පියුටර් කඩේටයි වෙලා හිටියා. ඒ අතරෙ ඔහුට ඉංග්‍රීසි සාහිත්‍ය ගැන අමුතුම "මෙවුවා" එකක් ඇති වෙලා තිබ්බේ. මේ නිසාම ජානක රෑට පාඩම් කරනවා කියලා "Village by the sea" පොතේ පිටු දෙකක් විතර කියවලා එහෙම්ම නින්දට වැටුනා. 

ඔහොම කාලෙ ගෙවිලා ගියා. විභාගෙට තිබ්බෙ හරියටම මාසයයි. ජානක නම් සූදානම් නෑ. ඒත් ජානකට ‍තේරුනා නෑදෑයො, යාළුවො රිසල්ට්ස් අහද්දි දෙන්න ඕන උත්තර කොහොම නම් කියන්නද කියලා. ඒක නිසාම වැඩ පටන් ගත්තා. ඉස්සෙල්ලාම ජානක කරපු දේ තමයි අනවශ්‍ය විශයන් බැහැර කරපු එක. ලිස්ට් එකේ උඩින්ම තිබ්බේ ඉංග්‍රීසි. ඊට පස්සේ I C T. පස්සෙ බුද්ධාගම. මේ තුනම අයින් කරලා අනිත් විශයන් ගැන අවධානය යෙදුවා. ඒකෙනුත් Science, History කියන විශයන් දෙක ප්‍රධාන උනා. කොහොමින් කොහොම හරි විභාගෙට පාඩම් කරලා කරලා රෑ නිදි වරාගෙන යම් මට්ටමකට ආවා.

ඉස්සෙල්ලාම තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍ය පේපරේ පැය 3 ට පිටු 25 ක් ලියලයි ජානක පස්ස බැලුවේ. ඔය විදිහට මුළු විභාගෙම ලියලා දැම්මා. එච්චර ගාණක් උනේ නම් නෑ සාමාන්‍ය පෙළ. කොහොම හරි ජානක හොදටම ලියපු විභාගෙ ඒක උනා. අවුම තරමෙ A - 6 ක් වත් ලැබෙයි කියලා ජානක හිතාගෙන හිටියේ. 

කොහොමින් කොහොම හරි ඉස්කෝලෙත් නැවතුනා.  ජානක ගෙදරට වෙලා තට්ට තනියෙන්. ඒ පැත්තේ ඉස්කෝලෙ යාළුවො කවුරුත් නෑ. ගමේ කොල්ලො කුරුට්ටො එක්ක වැඩි බජනයක් ජානකට නෑ. ඒ නිසාම උදේ ඉදන් කොම්පියුටරේ ඉස්සරහාට වෙලා ෆොටෝශොප් ඕපන් කරන් කවුරු හරි යාළුවෙක්ගේ පින්තූරයක් අරගෙන ඒක කපලා හදන්නත් හවස් දිහාවෙ කොම්පියුටර් කඩේට ගිහින් ඒ ටික ෆේස්බුක් දාන්නත් ජානක පුරුද්දක් කරගත්තා. 

මේ අතරේ ජානකට කෝල් එකක් ඇවිත්,

"අඩෝ බං අර දාලා තියන පොටෝ එක අයින් කරහං කෝ.."

"මොකද්ද බං..??"

"අර බං උඹ හදලා තියෙන්නෙ.. අර මායි තව එකෙකුයි වැල්ලෙ නිදාගෙන ඉන්න එකක්.. අනේ බං අයින් කරහංකෝ.."

"හරි බං ඉතිං ඕක කතා කරලා කියන්න ඕනෙයි? ඒක මරු නේ.. ;)"

"ඔවු බං මරේ මරු.. අපේ කසීන්ස් ලා ටික දැක්කොත් බං.. අයියෝ ඉවරයි"

"හරි හරි බං අයිං කරන්නං. උඹ බය නොවී ඉදහං.."

-----------------------------------------------------------------------------------------------------------
දෙවන කොටස ලගදීම


ප.ලි. : දෙවන නෙමෙයි තුන්වන කොටස ළගදීම 

Wednesday, April 11, 2012

ජීවිතේ එක්ක බැදුනු සුනාමියේ අදුරු මතකය

‍ආගන්තුකයා තමන්ගේ පළවෙනි කතා මාලාව එලිදක්වන්න හැදුවා විතරයි "සුනාමියක් එනෝ.." කියලා පළවෙනි දුරකථන ඇමතුම ආවෙ "කවිකාරි" ගෙන්. (මතකද දන්නෙ නෑ). 

"මල්ලී.. ටී.වී. බැලුවෙ නැද්ද? අන්න සුනාමියක් එනවා ලු. බුදුසරයි !"

"අහ්.. හා අක්කේ.. තෑන්ක්ස් ඈ.. බුදුසරණයි" 

පස්සෙ එක දිගට කෝල් එන්න ගත්තා. ඒක අස්සේ අම්මා පැළ ටික උඩින් තියන්න ඕන කියලා ඒ වැඩ. තාත්තා ආච්චි අම්මා තනියෙම කියලා මහගෙදර. ඒක අස්සේ ආපු කෝල් වලට ආන්සර් කරනවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නෑ. වෙනදා ආසාවට රිංග් වෙන්නෙ නැති ෆෝන් එක අද පුදුම වදයක් දුන්නේ. ඒ මොනවා උනත් අද සුනාමියක් ආපු නැති එක නම් වාසනාවක් තමයි. ක්ෂිතිජ රේඛාව ලියන එක පොඩ්ඩකට කල් තියලා සුනාමිය ගැන ලියන්න හිතුවා‍. 

මේ අවුරුද්දේ නෙවෙයි 2004 දෙසැම්බර් 26 වෙනි උදුවප් පෝය දවසේ ලංකාවට ඇවිත් දෙනෝදාහක් මුහුදට අරගෙන ගිය ඒ අදුරු දවස. මම ඒ කාලෙ 6 වසරේ. එදා උදේ පාන්දරම අපේ ගෙදර කට්ටියම කුස්සියේ එක් රැස් වෙලා. කට්ටිය එක එක වැඩ. පෝය දවසෙ නිසා ටිකක් නිස්කලංකයි. ඒත් එදා උදේ අමුතුම කාළකණ්නි බවක් පරිසරේ තිබ්බා. උදේ ඉදන් හැමෝම හරිම අලස ගතියක් පෙන්නුවා. අම්මා රෙදි වගයක් හෝදලා වැලට දාලා ඇවිත්‍. ඒ තිබ්බ අමුතු මූසල කළුවර නිසාම මමත් අම්මයි තාත්තයි එක්කම. අපේ බල්ලා උදේ ඉදන් ආගිය අතක් නෑ. අපි එදා තමයි උදේ යන්න හිටියේ ගාලු ටවුමට බඩු ගන්න. ඒත් අදහස කලින්ම වෙනස් උන නිසා කලින් දවසෙම දවල් 12 ට ටවුමට ගියා කවදාවත් නැතුව. 

මේ ඔක්කොම අස්සෙ මිනිස්සු වගයක් පාරෙ දුවනවා අපිට පෙනුනා. ගාල්ල මාතර ප්‍රධාන පාර අපේ ගෙදර ඉස්සරහා. මීටර් 150 ක් විතර පිටිපස්සෙන් ගෙදර හදලා තියෙන්නෙ දූවිලි දුම වදින නිසා. එයින් එක මනුස්සයෙක් අපේ ගෙදර දිහාවට හැරුනේ පුරුද්දට වගේ. ඒ කාලෙ අපේ වත්ත පල්ලෙහාට ගොඩක් මිනිස්සු එනවා වතුර ගෙනියන්න අපේ ලිදෙන්. මේ එහෙම එන කෙනෙක්. මේ කෙනා හති දම දම දුවගෙන ආවේ,

"මහත්තයෝ.. බලං ඉන්න එපා.. අපි යමු.. මු..... මුහු.... මුහුද ගොඩගලනවා මහත්තයෝ.. යමු කන්දට.."

අපේ පවුලේ හැමෝම අන්දුන්කුන්දුන් වෙලා. අම්මාගෙ මූන වෙනස් වෙලා.. අර මනුස්සයා එහෙම කියාගෙන වත්ත පල්ලෙහාට දිවුවා. මේ අතරෙ අම්මා කලබල වෙයි කියලා හිතපු තාත්තා කිවුවේ,

"අහ්.. එහෙනම් මේ පාර බිලි දෙන්න වෙන්නෙ අපේ චන්ද්‍රිකා මැඩම්ව තමයි"
(විහාරමහා දේවි ව මුහුදට බිලි දුන්නා ලු නේ. ඒ කාලෙ හිටියේ චන්ද්‍රිකා මැඩම් නෙ. )  

මොනවා උනත් එන්න එන්නම මිනිස්සු වැඩිවෙන්න ගත්තා. ඒ පාර නම් මේ කතාව විහිලුවකට ගත්ත තාත්තත් ටිකක් කලබල වෙලා ශර්ට් එකක් දාගෙන ඉස්සරහාට ගියා. පාර පුරා මිනිස්සු දුවනවා. ඒ පාර නම් වැඩේ බරපතලයි. පස්සේ තාත්තා ගෙදරට ඇවිත් කිවුවා,

"ඇත්ත තමයි මිනිස්සු දුවනවා. කෝකටත් බඩුමුට්ටු ටික උඩිං තියාගත්තොත් හොදයි. වතුර ටික ස්ලැබ් එක උඩට දාමු" 

ඒ අදහස ක්‍රියාත්මක උනා. ඒ කාලෙ අපේ ගෙදර 1/4 යි හදලා තිබ්බේ. උඩ තට්ටුවය යන්න පඩිපෙලක්වත් තිබ්බෙ නෑ. ඉනිමගක් තියාගෙන ඕන කරන බඩුමුට්ටු ටික උඩ තට්ටුවට දාන්න පටන් ගත්තා. ඔන්න ඒත් එක්කම වත්ත පල්ලෙහා තිබුනු ඕලන්ද ඇලෙන් වතුර ටිකෙන් ටික වත්ත ඇතුලට එන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් උඩ තට්ටුවට ගෙනිච්ච මගේ බයිසිකලේ ආයෙත් බිමට බාන්න සිද්ධ උනා. කොහොම නමුත් මගේ බඩේ බාගයක් විතර උසට වතුර. බොහොම අමාරුවෙන් ඔක්කොම අය යටගල පන්සලට ගියා. එදා රෑ අපි ගත කරේ එහේ. මිනිස්සු එකිනෙකාට කොච්චර උදවු පදවු කරගන්නවාද කියලා එදා මට තේරුම් ගියා. 

දුප්පත් පෝසත්, ලොකු පොඩි කියලා භේධයක් නෑ. එදා හැමෝම ආවෙ තමන් ඇදන් හිටි ඇදුම පිටින්. සමහරු අනුන්ගෙන් ණයට ඉල්ලගත්ත ඇදුමක් පිටින්. හැමෝම හිටියෙ එකම මරණ බයෙන්. හැමෝටම තිබ්බේ එකම පිහිට. හැමෝම වෙනුවෙන් හිටියෙ හැමෝම. හැමෝම කෑවේ එකම දේ. හැමෝම බිවුවේ එකම වතුර. හැමෝම නිදාගත්තේ පැදුරු එලාපු ධර්මශාලාවෙ. අනිත් දවසෙ උදෙන්ම අපි ගෙදර ගියා. ගෙදර බිත්ති වල ඉරිතැලිලා තිබ්බා යන්තම්. ගේ ඇතුලට වතුර නොඑන්න වැලි කොට්ට දාලායි තිබ්බේ. පැල නම් මැලවිලා තිබුනෙ. 

ඒත් එක්කම අහන්න ලැබුනෙ "සුනාමිය වෙලාවෙ මාල කඩපු මිනිස්සු, හොරකම් කරපු මිනිස්සු, දාස් ගාණකට හයර් ගියපු මින්ස්සු" ගැන. ලොකුම ලොකු කළකිරීමක් ඇති උනා ඒ වෙලාවෙදි. ඒත් එක්කම අහන්න ලැබුනෙ නත්තල් දවසෙ හොදට කණමදයො වගේ බීලා දපනෙ දාලා දොයියං හිටි අය ඔක්කොම මුහුදට ගහං ගිහිං කියලා. ඒත් එක්කම ටෙලිෆෝන් කිසි දෙයක් වැඩකරන්නෙ නෑ. කරන්ට් එකත් නෑ. ටෝච් එකේ බැට්‍රි කෑලි දෙකෙන් රේඩියෝ එක පණගහගත්ත අපි තිබ්බ දෙයක් උයාගෙන කෑවා. ඒත් කඩෙන් බඩු ගන්න විදිහක් නෑ. කඩ ඔක්කොම වහලා දාලා. 

මේ අතරේ එක එක සංවිධාන වලින් ලංකාවට ආධාර ආවා. සිරස සහන යාත්‍රාව ගමට ආවා. මේ හැම දෙයින්ම ආධාර ලැබුනා. කවදාවත් කාටවත් අතපාන්න ඉදිරිපත් නොවුන අපිට එදා අතපාන්න සිද්ධ උනා. ඒත් ඒක අතපෑමක් කියලා කියන්නෙ නෑ. මොකද මිනිස්සුන්ගෙ අසරණකම දැකපු තවත් මිනිස්සුන්මයි මේ උදවු උපකාර කරන්නෙ. ඒ අයට ගොඩක් පිං. ඒත් එක්කම අපිට උදවු කරපු ඇමරිකාවෙ ඩොලර් එක 95 කට විතර වැටුනයි කියලා ඒ තත්වෙම දිගටම පවත්වගන්නවැයි කියපු දේසපාලුවො ගැන නම් ඇති වෙන්නෙ කළකිරීමක්. 

මේ සිද්ධියෙන් පස්සෙ මාස ගාණක් යනකන් "සුනාමිය" ගැන කසුකුසුව මුළු ලංකාව වටේම තිබුනා. මිනිස්සු දහස් ගාණක් එකට මැරිලා ඉන්න තැන්, තමන්ගෙ පුතාව හොය හොය දෙයියන්ට කන්නලවු කරන අම්මලා, තමන්ගෙ ගෙදර කවුරුවත් හොයාගන්න බැරුව අඩ අඩ ඉන්න පුංචි දරුවෝ, තමන්ගේ ආදරණීයයන් නැති වුනු මිනිස්සුන්ගෙ කදුළු කතා ඇහෙද්දි හිතට දරාගන්න බැරි තරම් වේදනාවක් ඇති නොවුනා නෙමෙයි. දුප්පත්, පෝසත්, ජාති, කුළ මේ කිසිදෙයක් තැකුවෙ නෑ සුනාමිය. හැමෝම එක්කගෙන ගියා. අපේ ඉංග්‍රීසි පන්ති ආපු ගෑණු ළමයෙක්වත් සුනාමිය අරන් ගියා. ඇත්තටම එදා ඒ ළමයා හිටි තැන හිස් වෙලා තියනවා දකිද්දි මොන තරම් කාළකණ්නි දෙයක්ද මේ කියලා මටත් දැනුනා.


මේ මොන දේ කොහොම උනත් ඒ අන්ධකාර දවස එදායින් ඉවර උනා. මිනිස්සු ආයෙමත් කදුළු අස්සෙන් හිනා උනා. තමන්ගේ ජීවිත ආයෙත් පටන්ගත්තා‍. අද දවසෙ ඒ අදුරු අතීතය ආයෙත් මතක් කරලා දුන්නා. ආගන්තුකයා උණවටුනේ හිටියට නොමැරී ඉන්නේ රූමස්සල කන්ද අපේ ගෙදරත් මුහුදත් වෙන් කරන නිසා. උණවටුනෙ පොඩි ප්‍රදේශයයි එහෙම ආරක්ෂා වෙලා තියෙන්නෙ. එක අතකට මම වාසනාවන්තයි. 

ඒ මොනවා උනත් ආයෙ ඒ විලාප, අදෝනා, දුක්ගැනවිලි අහන්න දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ පෝස්ට් එක ඉවර කරන්නම්..

ලබන්නා වූ නව වසර සාමය, සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා...!!!

ප.ලි. : සුනාමිය එනවා කියලා මේ වතාවෙ දැනගන්න ලැබුනාම කතා කරලා කොහොමද කියලා අහපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.