Saturday, August 25, 2012

කියම් කෙසේ අප හැරයම්දෝ කියලා..

ආදරණීය පාසල් දිවිය, ඉදින් අවසරයි ඔබ ඇකයෙන් සදහටම නික්මෙන්නට තව දින 4 කුත් හෝරා කිහිපයකින්. සන්සුන්ව තිබූ සිතිවිලි සයුර කැලඹී ඇත. නිසසල සිතුවිලි රුදුරු රළ බවට පත්ව හදවතේ බිත්ති කඩාබිද එලියට ඇදෙන්නට තනයි‍. සියල්ලට වගකිවයුත්තා නුඹ ය. නුඹ අපට මෙතරම් සෙනෙහසක් දැක්වූයේ ඇයි? මෙතරම් ආදරයෙන් අප බලාකියාගත්තේ ඇයි? ඔබට මෙතරම් සමීප කරගත්තේ ඇයි? ඇයි...?

1 වසරේ තිබුනු ටයර් පේලිය.. එකක් උඩ නැගී අනෙකට පනිද්දී දැනුනු ඒ සතුට.. ටීචර්ලා එක්ක උදේට එලියට ඇවිදින් ගාථා මුමුනද්දී ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක්ට හොරෙන් ඇගිල්ලෙන් ඇන දැනුනු ප්‍රීතිය.. ආයෙ කොයින් ද?

2 වසරේ සීරුවට වැලි අතුරා තැනූ ඒ මේස මත ඇන්ද අකුරු ඉලක්කම්.. ඉන්ටවල් බෙල් එක ඇසුනු ගමන් පෙලක් දුවගෙන යන සීසෝව.. චිරි චිරි ඔන්චිල්ලාව‍.. ආයෙත් කොයින් ද?

3 වසරේ උදේ රැස්වීම.. පොරකාගෙන දුවගෙන යන පුංචි ටැප් එක.. අල්ලන සෙල්ලම් කරන්න කදිම තැනක් උන බාගෙට හදපු කණ්නංගර ශාලාව.. ආයෙත් කොහෙන්ද?

4 වසරේ බිල්ඩිම, උදේම ගහගත්ත ප්‍රිෆෙක්ට් බැජ් එක, වැස්ස වෙලාවට තාලෙට වතුර ගලාගෙන යන කාණුව.. ඔළුව ලේ විලක් කරපු මලකඩකාපු කොණ්ඩිපට්ටම.. ආයෙත් කොහෙන්ද?

5 වසර උඩ තට්ටුව, උදේම ඇවිත් බලපු සිරීපාදෙ.. හවස නැවතිලා ශිෂ්‍යත්වෙට කරපු පාඩම්, පළවෙනිම සාහිත්‍ය සමිතිය.. ආයෙ කොයින් ද?

6 වසර මෙලෝ දෙයක් නොතේරුන ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය, කන්දත් එක්ක තිබ්බ ටොයිලට් එක, ලෙදර් බෝල හංගපු පුංචි සිදුරු.. එන්න තිබ්බ හොර පාර.. ආයෙත් කොයින් ද?

7 වසරෙ තනිවුන පන්තිය.. එහාපන්තියෙ අයියලා.. උදේම කොරිඩෝවෙ ගහපු ෆුට්බෝල් මැච් එක.. දෙන්න කලිං සිංහල පොතේ වැඩ කරන් ඇවිත් මිස් ගෙන් චෙස් අදින්න කරපු ඇවටිලි..ආයෙ කොයින් ද?

8 වසරෙ පී.ටී. පීරියඩ් එක.. සාහිත්‍ය සමිතිය.. කවි.. සින්දු.. කතන්දර රගපාපුවා.. පන්ති කට් කරන් ගිහින් මියුසික් රූම් එකේ කියපු සින්දු, අල්ලපු අඩවු.. ආයෙ ‍කොයින් ද?

9 වසරෙ තිබ්බ පොකුණ.. උදේම ඇවිත් මාළු දිහා බලන් උන් හැටි.. තාලෙට තිබ්බ පඩිපේලි උඩින් දුවපු අපූරුව.. උදේ අතුගෑම ලෝකෙ ලොකුම කාරිය උනු කාලෙ.. ආයෙ කොයින් ද?

10 වසරෙ උඩුමහල.. තාරපාර දිගේ යන ගෑණු ළමයි බලන්නම හදාපු කොරිඩෝව.. විටින් විට ඇවිත් කෑගහලා යන ප්‍රිෆෙක්ට් අයියලා.. ඉවරවෙනකන් බලන් හිටපු හිස්ට්‍රි පීරියඩ් එක.. ආයෙ කොයින් ද?

11 වසරෙ අයිනෙ පන්තිය.. අතුගාන්න තිබ්බ ලොකු ප්‍රමාණෙ.. යටින් තිබ්බ අයිටී රූම් එක.. අයිටී පීරියඩ් එකේ ඉබේම වගේ ගැලවුන සපත්තු.. ගහගත්ත වතුර, කොළගුලි.. උස්සන් දුවපු පොලු.. කියපු කියුම්.. නටපු නාඩගං..

12 13 වසරෙ හිටි ප්‍රධාන ශාලාව, ලෙක්චර් රූම් එක.. ආදරණීය L ශාලාව.. ප්‍රැක්ටිකල් ලැබ් එක.. හෙල්ලුවාම තාලෙට පැද්දෙන ස්ලිංකිය, නාස් මට්ටමේ ඉදලා අත්තැරියාම නාහෙ ගෑවි නොගෑවී ගිය සරළ අවලම්භය, ග්‍රීස් ගාලා වතුර නවත්තපු සර්ල් එක.. කම්මැලියි කියලා පැත්තකට දාපු ජෙගර් එක.. පීරියඩ් එකේ පැය ගාණක් ෆෝකස් නොවුන, ප්‍රදර්ශනේ තප්පර 10 න් ෆෝකස් උන චල අනිවීක්ෂෙ.. නිකං ඉදිද්දි පිඹ පිඹ හිටි එක් කෙළවරක් සංවෘත නලය.. සරසුල් සෙට් එක.. කුණු ගද ගහපු එස්ටරේ.. වාතයේ තිබ්බ ඔක්සිජන් පරිමාව.. උරන්න ගිහින් කටට ගිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවනේ.. ‍ආයෙ කොයින් ද? උදේ පාන්දරින් කට්ටිය රැස් උන ප්‍රිෆෙක්ට්ස් රූම් එක ආයෙ කොයින්ද?


අපිට උගන්නපු රත්තරං මිස් ලා සර් ලා ආයෙ කොයින් ද?

අපේ යාළුවොත් එක්ක ගෙවපු ඒ සුන්දර අතීතේ ආයෙ කොයින් ද?

කෑගහගත්තුවා.. බැනගත්තුවා.. රණ්ඩු කරගත්තුවා.. ගහගත්තුවා.. ආයෙ කොයින් ද?

අපි දැන් පිට මිනිස්සු..

අපිට ඉතුරු ඒ සුන්දර අතීතෙ විතරයි..

මිස් ගෙ අතින් ලැබුන ඇඩ්මිශන් එක

හැමෝම මලු සූදානම් කරනවා.. යන්න.. ආයෙ මේ විදිහට නොඑන්නම..


කියම් කෙසේ අප හැරයම්දෝ කියලා.. මා ආදර පාසල් දිවිය මගේ.. 


ප.ලි. : පාසල්කාලයේ සිද්ධ උන සුන්දර - අසුන්දර අත්දැකීම් ටික ගැන ඉදිරියට ලියනවා‍.

24 comments:

  1. අපි හැමෝම ඔය අත්දැකීමට මුහුණ දුන්නා. මුහුණ දෙනවා. යතාර්ථය එකයි මල්ලි! පාසලෙන් ඉවත් වෙලා, ඒ පාසලේ නම රැකෙන විදියට කටයුතු කරන්න පුළුවන් නම් එච්චරයි!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ.. ඒ ලබපු පන්නරය නිසා තමයි මේ විදිහට අද කොන්ද කෙලින් තියන් අභිමානයෙන් ජීවත් වෙන්නෙ..

      Delete
  2. lassana avurudu 13 ka pasal jeewithe sathi 3 kin dala yanna wenakota aththatama dukai .exam ekata suba pathanawa.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත අවතාරෙ.. බොහොම ස්තුතියි!

      Delete
  3. ම්ම්ම් ජීවිතේ සොඳුරුම කාලය..... කවද හරි මතක් කර කර සතුටු වෙන්න පුලුවන් හොදම මතකයක් ඉතිරි කරන තැන සුන්දර පාසල් දිවිය.

    ReplyDelete
  4. මල්ලි ඔයා පමණක් නොවී අපි සියලු දෙනාම රිච්මන්ඩ් මෑණියන්ගෙන් වෙන්වුවේ ඔවැනිම වූ සිත් වේදනාවකින් මා අදත් හෙටත් පාසල් මෑණියන්ට ගරු කරමි. ඒ පාසලේ නම රැකෙන විදියට කටයුතු කරන්න පුළුවන් නම් එයයි විදුහල් මෑණියන්ට කරන ලොකුම ගෞරවය.

    ReplyDelete
    Replies
    1. බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඒ රිච්මන්ඩ් අම්මා කියලා දුන්න අභිමානයෙන් ජීවතේ ගෙවන්නත් කවදාවත් මේ රත්තරං පාසල අවමානයට ලක් නොකරන්නටත් වල බලාගන්නවා මහත්මයා.. ඒක ඉර හද වගේ..

      Delete
  5. අපේ පන්තියේ හිටිය එකම කාන්ත චරිතය... Mrs රේණුක දමයන්ති ශ්‍රී වර්ණසිංහ.. එතුමියගේ උදේ පාන්දරම බැනුම් ඇහුවේ නැතිනම් නිකන් පන්සිල් නොගෙන බෝධි පුජාව කලා වගේ. අනේ මන්ද..? බැනුම ඇතුලේ හැඟුණු ආදරයක් කියලයි මිස් නම් කියන්නේ. අපිට ටිකක් වටහා ගන්න අමාරු නිසාම මිස් තරහ වෙලා ගිහිපු වෙලාවලුත් නැතුවම නෙමේ.(අලුත් අවුරුද්ද සමරපු දවසේ මතකයිනේ) උගන්නපු නුගන්නපු ගුරු උතුමන් හැම දෙනාම මතක් කරනවා එක හරි නමක් අමතක උනොත් එහෙම හොඳ නෑනේ. කොහොම උනත් දැන් ඉස්කෝලෙන් අයින් වෙලා ඉවරයි. දෙයක් නැති උනාමලු එකේ අගේ දැනෙන්නේ. ඒ වගේ තමා. කලින් කිව්ව වගේ මතක සටහන් ගොඩක් සඟවා ගෙන හිතේ දරාගෙන රිච්මන්ඩ් මෑණියන් අගේ දරුවෝ දිහා බලාගෙන ඇති. මොකද අම්මා කෙනෙක් දරුවොන්ව ඇත අරින්නේ නෑනේ. එකයි අම්මේ කියන්නේ අපි ලබන යම් දෙයක් වේද ඒ අපට නොව ඒ සියල්ලම ඔබටමය කියලා....

    මම ලියපු සිතුවිල්ලක්.. ඉතුරු ඉකත් ළඟදීම දැන්නම්...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. :) කියන්න දෙයක් හිතාගන්න බෑ අයියෙ.. මම ලියපු එක කියවලා මටම ඇඩෙන්න වගේ..

      Delete
  6. ඔය දුක හැමදාම තියනවා පුතේ. අදටත් ආදිශිෂ්‍ය සංගමයට ගියාම කල්පනා ලොවේ අතරමං වෙනවා. සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ ගායනා කරන 'පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන්' ගීතය අදටත් අහන්නේ ගෙදර අයට හොරෙන් පිසදාගන්නා කඳුලකුත් සමගයි. මම හිතාගෙන ඉන්නවා නියම යෝජනාවක් කරන්න ආදී ශිෂ්‍ය සංගමේට. සියලු දෙනා අර පරණ තාලේ සූට් කේස් එකකට ඇඳුම් දාගෙන, පාසල ගැන සිහිවටන තියනවනම් ඒවත් අරගෙන ඇවිත්, හොස්ටල් එකේ එක රැයක් ඉඳලා යන්න. එකම සුදුසුකම වයස අවුරුදු 55 ට වැඩි විය යුතුයි. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහත්මයා මේකට ගොඩවැදුනාට..
      සැබෑ රිච්මන්ඩ්වරයෙක් රිච්මන්ඩ් නම ගෑවුනත් ඒ මොකක්ද කියලා හොයලා බලන්න දෙපාරක් හිතන්නෙ නෑ.. පුදුමයක් නෙමෙයි මේ පෝස්ට් එකට මෙච්චර පිරිසක් ආපු එක..
      තාම 19 යි :) ඔය කාලෙ වෙද්දි ඉදී ද දන්නෙත් නෑ.. ඒත් එකක්.. කොතන ගියත් "මම රිච්මන්ඩ් එකේ" කියලා කිසි බයක් නැතුව කියනවා. ඒ රිච්මන්ඩ් නම බබලවන්න ඇර කැළලක් කරන්න කවදාවත් වැඩ නොකරන නිසා..

      Delete
  7. A nice, sensitive post.... well done.

    All the best for the exam!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වකා..

      Delete
  8. ඉස්කෝලේ අන්තිම දවස කෝම අමතක කරන්නද මලයා... අපි කවුරුත් ආයෙම යන්න ආස එකම එක කාලේ පාසල් කාලෙනේ මලය..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ.. ආයෙත් යන්න ඇත්නම් පොත් බෑග් එකත් අරන් ඒ අපූරු පාසලට.. :'(

      Delete
  9. කියවද්දිත් දුකයි :(

    ReplyDelete
  10. මගෙ ජීවිතේ මගේ ඇසට කදුළු නංවන මතකයන් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි පාසලේ අන්තිම දවස ගැන මතකය. පාසල් කාලය නිමාවුනාට පස්සෙ අපි පාසලට ආගන්තුක වෙනවා. සාමලා අමරලා (අළුත් සිලබස් එකේ ඉන්නවද දන්නෑ) අළුතින් එන අයත් එක්ක යාළු වෙනවා. සුන්දර සමයක් අවසන් වෙලා අපි වගකීම් වල බර දැනෙන වැඩිහිටි වියට පිය මනිනවා. ඒ කාලෙ ආයෙ කවදාවත්ම එන්නෙ නෑ කියලා දැනෙනකොට කියාගන්න බැරි තරමේ පාළුවක් හිතට දැනෙනවා. පාසලෙන් අයින් වෙලා අවුරුදු 8ක් ගෙවුනත් තවමත් ඒ විදියටම ඒ කම්පනය දැනෙනවා මල්ලි. ස්තුතියි හැමෝටම පොදු මාතෘකාවක් මතක් කලාට. ජය..!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දිග උනේ හිතට එච්චර වැදුන නිසා කියලා නොදන්නවා නෙමෙයි අයියෙ.. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ නෙ.. දැන් මෙහෙම දැනෙන දුක ඉස්සරහට කොච්චර නම් දැනෙයි ද..

      Delete
  11. මාවත් ආයෙත් මගේ පාසල් කාලෙට අරන් ගියා මේ පෝස්ට් එකෙන්..ඒ කාලේ ගැන නම් කියල වැඩක් නැහැ මල්ලා.. :)

    ReplyDelete
    Replies
    1. පුදුම සුන්දරත්වයක්.. අපූර්වත්වයක් ඒක..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....