Tuesday, October 30, 2012

සර් නැති වෙලාවට - පොයම් ද මන්දා

අද අපේ ෆිසික්ස් පන්තියේ සර් එන්න පරක්කු උනා (හැමදාම වගේ). කතා කරන්න එකෙකුත් නෑ. පොතක් පතක් කියවන්න හිතෙන්නෙත් නෑ, බෑග් එක ඇදලා ගත්තා පැන්සල් පෙට්ටිය. පෑනත් අරන් කොළේකුත් පොතකුත් අරන් කුරුටුගාන්න ගත්තා. දන්නැතුවම මොකද්ද එකක් කුරුටුගෑවිලා.. නිකං නාස්ති වෙන එකේ ඔන්න ඔහේ මේකට දාන්න හිතුවා. වැඩේ කියන්නෙ ඒකත් කඩ්ඩෙන්.

Class

It's hours passed from the right moment
They know this is more often
So they are deep within,
More what they want, than what they need..

Silent one at a corner staring at a book
Other one is so silent staring at his mobile
Behind are two chatter boxes,
Having no idea of even what they talk

Opening their chatter boxes,
One leg on other bending down
Some staring at books while,
The other staring at nails

Writing things so fast,
as if it's the last moment of life
Seems that boy has given up his joy
To have it for a lifetime

So many things to talk,
Places yet to move for a better view
Looking at the watch angrily
Yet not frustrated at all

Half are the empty desks
So the number of empty benches
15 in front of me and...
15 right behind me..

No one will stop anything..
What the freedom has granted them..
Yet a minute less I guess
To stop this "nonsense" what they call

Tok Tok..

-Janitha Senevirathna

Friday, October 26, 2012

මම සහ පොටෝ ගැහිල්ල අතීතයේ සිට වර්ථමානය දක්වා

මේ දින වල පොටෝ ගැසීමට දැඩි ආසාවක් ඇතිවී තිබෙන බැවින් මම ම මෙය වුනේ කෙසේද, කොහොමද කියා සොයා බලන්නක කැමැතියි. ඉතින් පුංචි කාලෙ ඉදලා අද වෙනකං කොහොමද මේ දේ උනේ, කවුරු නිසා ද උනන්දු උනේ, කොහෙන් කෙළවර වෙයි ද කියලා මේක ලියන් යද්දි මටම තේරෙයි. කොහොමත් ‍මේවගේ එකක් ලියද්දි (බ්ලොග් පෝස්ට් එකක්) මට ඔය ඔක්කෝම බඩවැල වගේ මතක් වෙනවා. ඒ නිසා සෝයි.

මං පුංචි සන්දියේ, ඒ කාලෙ අපේ ගෙදර තිබ්බා රීල් කැමරාවක්. ඒක Konica MT-11 කියලා එකක්. අම්මා මගේ පොටෝ ගහද්දි මටත් ඉතිං මාර ආසයි ඕකෙන් පොටෝ ගන්න. ඒත් මට කවදාවත් පොටෝ එකක් ගන්න හම්බෙලා නෑ ඕකෙන්. ඒක ඉල්ලලා අඩද්දි මට ඕක හිටවපු ත්‍රිපාදය (Tripod) එක දෙනවා. මං ඒකෙ දහ අතේ හොයනවා කොහෙද ඔබන බොත්තම තියෙන්නෙ කියලා‍. පස්සෙ ටිකක් ලොකු උනාම මට කැමරාව එක පාරක් දුන්නා. රීල් නැතුව. මං ඉතිං ඔබ ඔබ හිටියා. එච්චර තමා පුංචි කාලෙ. කවදාවත් මං පොටෝ එකක් අරන් නෑ. මේ කැමරාව වැඩ. මොකද්ද දෝසයක් තියනෝ ලු. මේ දැනුත් අතේ තියෙන්නෙ.

පස්සෙ ඉතින් කාලෙ ඔහේ ගෙවුනා, පින්තූර ගැනිල්ල ගැන මෙලෝ අදහසක් තිබ්බෙ නෑ. කැමරා සංගමේ අයියලා, මලයලා කැමරා උස්සන් දුවද්දි ඉතිං මට හිතුනෙ 'අම්මපා මුංට පයිත්තියංද?' කියලා. ඔය එක එක අවස්ථා වලදි එක එක අය ඩිජිටල් බට්ටො (point and shoot camera) වලින් පින්තූර ගනිද්දි මම display එක දිහා බලං හිටියෙ ආසාවට වගේ. මේ මෑතක් වෙනකං (මම 13 වසරෙ 2වනි වාරෙ ඉවර වෙනකං වගේ) 

පස්සෙ තමයි වැඩේ පත්තූ උනේ. අපේ ගෙදර අවුරුද්දකට නවතින්න ආපු Mickel ගාව තිබ්බා Olympus sp 800uz Bridge කැමරාවක්. මම ඉස්සෙල්ලාම බලද්දි ආස උනේ ඒකෙ විශාලන හැකියාවට (zoom). ඒක ඉල්ලන් දවස් දෙකක් තුනක් පොටෝ ගහද්දි අහම්බෙන් වගේ කවුරු හරි මාව Photo Talk Facebook Group එකේ සාමාජිකයෙක් කරලා තිබ්බා. (ඒ කවුරු කරත් මං පින් දෙනවා)  ඒ ගෲප් එකේ දේවල් මං එතරම් ගනංගත්තෙ නෑ. මං හිතං උන්නෙ මාව ඇඩ් කරලා තියන අනිත් ගෲප් එකසිය ගාන වගේ තවත් එක ගෲප් එකක් විතරයි කියලා. කොහොම හරි අර කැමරාවෙන් ඇති වෙච්ච ආසාව නිසා ඒකෙ ක්‍රියාකාරීත්වය, මෝඩ් මාරුකිරිල්ල ගැන එහෙම මං හදාරන්න උත්සාහා කරා.

මේ අවුරුද්දෙ (2012) වෙසක් පෝය දවසෙ තමයි හොද වැඩක් උනේ. එදා මං දැක්කා අපේ බනි අයියා (අනුශ්ක ලක්මාල්) පුන්සදේ පින්තූරයක් අරන් පළ කරලා තියනවා. පස්සෙ මටත් ආස හිතුනා එයින් එකක් ගන්න. අර කැමරාවත් අරන් එලියට ගිහින් ගත්තා, හද නිකං මොකද්ද ව‍ගේ වෙලා. මං ඉතිං ආසාව අත්තැරලා බලාපොරොත්තු කඩ කරන් 'බනි අයියාගෙ කැමරාව හොද එකක් වෙන්න ඇති' කියලා හිත හදාගෙන, ඒත් කමක් නෑ අහලා බලනවා කියලා ලිස්ට් එක ඔන්ලයින් දාලා බනිඅයියාගෙන් ඇහුවා. පස්සෙ කියාපි, 'යකෝ උඹේ ගාව තියන එකෙන් ඔයිට හොදට ගන්න පුළුවං Tripod එකේ තියලා ගනිං කියලා. අවුරුදු ගානක් කබඩ් එක උඩ තිබ්බ Tripod එක මට වැදගත් උනේ අවුරුදු ගානකට පස්සෙ. දුවලා ගිහින් ඒක අරන් ඇවිත් තියලා ගහපු පළවෙනි එක හිතට ඇල්ලුවෙ නෑ, ඒත් තරමක් හොදයි වගේ. පස්සෙ තටමලා තටමලා Program Mode එකට අරන් (Manual Mode එකක් ඒකෙ නෑ) බනි අයියා කියපු විදිහට ISO අඩු වැඩි කරලා ගහලා බලද්දි මරු පින්තූරයක් (ලෝකෙ තියන හොදම පින්තූරෙ නෙමෙයි, තරමක් හොද පින්තූරයක්) ගහගන්න පුළුවන් උනා. මට ඒ වෙලාවෙ ඇති වෙච්ච සතුට වචන කරන්න මට තේරෙන්නෑ.
මේක තමයි ඒක

පස්සෙ මම ඉස්සෙල්ලාම කරේ ඒක ෆේස්බුක් දාපු එක. ඒකට පළවෙනි කමෙන්ට් එක ගැහුවෙත් බනි අයියා "ඔය තියෙන්නෙ" කියලා. පස්සෙ මම නිකමට වගේ Photo Talk Group එකට ඒක දැම්මා. ලයික් කමෙන්ට් වැඩිය නැති උනත් කවුරුත් ඒකෙ වැරැද්දක් නම් කිවුවෙ නෑ. මට එදා ඒ ආසාව ඇති උනා. පස්සෙ අර කැමරාව අතපත ගාලා බලද්දි ඒකෙ Macro Mode කියලා එකක් තිබ්බා. ඒගැන ඒ තරම් අවබෝධයක් තිබ්බෙ නෑ. දවස් දෙකකට විතර පස්සෙ මම දැක්කා ගෲප් එකේම Macro පින්තූරයක් පළ කරලා තියනවා. ඒක හරි ලස්සන අපූරු සමීප පින්තූරයක්. පස්සෙ තමා මට තේරුනේ සාමාන්‍ය point and shoot camera එකකින් සමීප පින්තූර ඒ තරම් හොදට ගන්න බෑ කියලා. ඉතින් කියන්න දෙයක් නෑ නෙ මං ඊලගට කරන දේ.. අර මැක්‍රො මෝඩ් එක ඇක්ටිවු කරන් පින්තූර ගන්න මම බැලුවා. මට ඒකෙන් ගන්න පුළුවන් උනා සමනල්ලු, නිදිකුම්බා මල්, බත්කූරො, සර්කිට් කෑලි වගේ ඒවා. 

Sunday, October 21, 2012

මට හොද මගේ පොටෝ 1

මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං. අපි තාම ඉතිං පුරුදු වෙනවා නෙ. මොකක්ම හරි කැමරාවක් ගත්ත දවසට බැරියැ මොකක් හරි කරගන්න. නැද්ද..

මේ පින්තූර වලට කියන්නෙ ලෑන්ඩ්ස්කේප්ද කොහෙද. මේක ගත්තෙ නම් උණවටුනෙ හවස් ජාමෙ. ලයිට්රූම් වලින් තමා මෙවුවා කරේ.




මිනිස්සුංගෙ හැසිරීම් රටා අරවා මෙවුවා ගන්න එකට මට ආස හිතිලා. ඇයි දන්නෑ. කොහොම හරි එවුවා Street Photography ලු. මං ඉතිං ඕන් ඒවයින් ටිකකුත් ගත්තා ඈ..





මෙවුවාට නං කියන එක දන්නෑ.. ඒත් මං ආසයි.. මේ ඉන්නෙ ප්‍රවීන වනජීවී ඡායාරූපශිල්පියෙක් වන ප්‍රසාද් හපුආරච්චි මහත්මයා




මිනිස්සුංගෙ මූනු ගත්තාම එවුවා පෝට්රේට්ස් ලු. ස්ටුඩියෝ එකක් නැතත් පාරෙදි හොරෙං වගේ ගහගත්ත එකක්. ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ද මන්දා. ආ ඔය ඉන්නෙ ඉසුරු අයියා. 





මේ ටිකේ මට පැනොරාමා පිස්සුවක් ගහලා. අනේ මන්දා, දන්නැද්ද ඉතිං. අර දිග පොටෝ.. ආං එවුවා.. ‍මෙවුවා නං ඔක්කොම පින්තූ‍‍රෙ ගානෙ ගහගෙන ෆොටෝශොප් වලින් සීරුවට පූට්ටු කරලා හදපුවා.. මේවාට ගොඩක් වෙලා ගියා වගේම ගොඩක් මහන්සි උනා


මේ උණවටුන මුහුද. පේන්නැත්තං මේක උඩ කොටන්න ඈ..
මේක ගාල්ල. මේ පින්තූ‍රෙ කලිං එක නං චා.  මේක මේ විදිහට හදලා දුන්නෙ ලක්ෂාන් හිරුමල් අයියා
මේක හදන්න නම් හොද පණ ගියා. මිනිස්සුංගෙ පැනොරාමා ගහනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් බව තේරුනේ මේක ගැහුවට පස්සෙ
ළගදි වෙඩිමකට ගිහින් ගැහුව එකක් පල්ලෙහා තියෙන්නෙ. මන්දා, මං ඒකට ආආසයි..




මේ ඉතිං ටිකක් හොද ඇති, නැත්තං නරකම ඇති. ඒත් ඉතිං ඔය මට පුළුවං තරම තමා. මොනා කොරන්නද, හැම එකක්ම කරන්න ආසයි කියලා පුළුවන් වෙන්නෙ නෑ නෙ. මෙතන තියන හැම පින්තූරයක්ම ගහලා තියෙන්නෙ ටොම් රූස්, ම‍ගේ හිතවතාගෙ කැමරාවෙන්. කැමරාව Canon 400D කාච - මිමි50.


(උස්සන්න නං එපා හොදේ, බොහොම අමාරුවෙන් පැය ගානක් මහන්සි වෙලා ගහගත්තුවා. ඕන උනොත් ඉල්ලන්නකො. මං හොද කොපියක් දෙන්නං, මෙවුවා කොහොමත් ෆේස්බුක් දාන සයිස් එකේ නෙ.)

Monday, October 15, 2012

කීර්තිනාමය ලබාදීම / ලබාගැනීම / වැනසීම

කීර්තිනාමය, ලොකු වචනයක්. කාලාන්තරයක ඉදලා කිසියම් සංවාධානයක්, පුද්ගලයෙක් විසින් අමාරුවෙන් ගුණාත්මකභාවයෙන් කැප කිරීම් වලින් ගොඩනගාගන්න දෙයක්. නූතන සමාජයේ මේ කීර්තිනාමය බොහෝ විට යොදාගැනෙන්නෙ "පාසලේ කීර්තිනාමය", අර කෙනාගෙ කීර්තිනාමය ආදී වශයෙන්. මෙය හදාගැනීම, ලබාගැනීම, ආරක්ෂා කිරීම සහ විනාශ කිරීම රැදිලා තියෙන්නෙ ඒ සංවිධානයේ ඉන්න අය ක්‍රියාකරන ආකාරය අනුව.

යම් පුද්ගල සංවිධානයක්, සමාජයේ යහපතට ගුණාත්මක දේවල් කරලා නැත්නම් තමන්ට පුළුවන් දෙයින් උපරිමේට ගිහින් තමන්ගෙ සංවිධානයට කරන්න පුළුවන් මොනවාද කියලා පෙන්නුම්කරලා බොහොම කැපවීමෙන් තමයි යමක් "හොදයි" කියලා සමාජයේ පිලිගැනීමක් ඇති කරන්නෙ. ඒ වගේම තමයි අවශ්‍ය තැන් වලදි මොලේ කල්පනා කරලා ගන්න වැදගත් තීරණ වල සාර්ථකත්වය බොහෝ සංගමයන් ගැන විශ්වාසයක් මින්ස්සුංගෙ හිත් වල ඇති කරවනවා.

ඒත් දැන් සමාජයේ මොකද්ද වෙන්න? කීර්ති නාමයන් ප්‍රයෝජනයට ගැනීම. උදාහරණයක් විදිහට කියන්නම්. මගේ පාසල රිච්මන්ඩ්. රිච්මන්ඩ් විද්‍යාලය කිවුවාම ඒකට ලොකු පිලිගැනීමක්, කීර්ති නාමයක් තියනවා. ඒ කීර්ති නාමය පිරිසක් පාවිච්චි කරන්නෙ "මාත් රිච්මන්ඩ් එකේ" කියලා කියාගන්න විතරයි. ළගදි ශිෂ්‍යත්ව විභාගෙ පළවෙනියා රිච්මන්ඩ් විද්‍යාලයෙන් වාර්තා උන වෙලාවෙ කී දෙනෙක් ඒක ගැන කියවන්න ඇති ද? උසස් පෙළ ගණිත අංශය ගැන ලොකු ප්‍රසිද්ධියක් අපේ පාසලේ තියනවා, හේතුව තමයි දිස්ත්‍රික් පළමුවැන්නා, ලංකාවෙ පළමු දෙවනි තැන් ගොඩක් පහුගිය වසර වල හිමිකරගත්ත නිසා. "Richmond College Mathematics" කියලා ගහලා තියන T shirt එකක් ඇදන් යන්න ගොඩක් අය කැමති ඒ නිසා. ඒත් මං දැකලා තියනවා උසස් පෙළට ගමේ ඉදන් ආපු කොල්ලො කුරුට්ටො ටිකක් කඩේ යන්න, දානෙ ගෙදර, මළගෙදර හැම මගුලකටම ඕක අදිනවා. ඒ කරන්නෙ ඉස්කෝලෙ කීර්තිනාමය යොදාගෙන තමන් බැබලීම.

සංගම් වලත් ඔහොමයි. පිරිසක් විසින් පුළුවන් තරම් මහන්සි වෙලා පටන්ගෙන කැප කිරීම් කරලා, දරදිය ඇදලා භාධක අස්සෙ පවත්වාගෙන ගිහින් ඉස්සරහාට එන්න ඉන්න අයට භාරදීලා ගියාම ජීවිතේට ඒ පැත්ත පළාතෙ නොආපු උන් ඒවා ඇතුලට රිංගලා තමන් බැබලෙන්න දගලනවා. තමන් ඒකෙ කියලා පෙන්නන්න ඉස්සෙල්ලාම කරන්නෙ T shirt එකක් ගහගන්න එක. ඒවා දකිද්දි මුල් සාමාජිකයින්ට දුකයි, කණගාටුයි. එහෙම කියලා කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවෙ. දේශපාලනේදිත් ඔහොමයි. දේශපාලකයො වටේ ඉන්න උන් ඒ‍ දේශපාලකයාගෙ නම යොදාගෙන ඕන ඕන වැඩ කරගන්න අවස්ථා, මිනිස්සුන්ට තර්ජනය කරන, බනින, ගහන අවස්ථා ගැන අමුතුවෙන් මොනවාට කියන්නද?  

හැබැයි මිනිස්සු ඔහොම කරලා අන්තිමට ඒ නම නැත්තට නැති කරාට පස්සෙ වෙන දේ තමයි භයානක. කවුරු හරි කොල්ලෙක් කඩේ අදින්නත් යන T shirt එක ඇදන් කෙල්ලෙක් එක්ක පාරෙ ගියොත් පුද්ගලයාව නොදැනගත්තත්, T shirt එකේ ගහපු එක අදුනන උන්දැලා ඇගිල්ල දික් කරන්නෙ උක්ත ආයතනය හරි සංවිධානය හරි පාසල හරි ගැන කියලා. ඒ වගේ වෙලාවට ඒ සංවිධානයට වැඩක් කරපු, කරන මිනිස්සුන්ට අරූව මරන්න තරං තරහයි. ඔය වගේ ඕන නොහොබිනා වැඩක් කරාම අන්තිමට අහු වෙන්නෙ ඒ පුද්ගලයා නෙමෙයි, කාලාන්තරයක් තිස්සෙ නම රැකන් එන සංවිධානය. කියන්න දෙයක් නැතිව බලං ඉන්න මිනිස්සුන්ට ඒකත් ඇති.

"දැං අරක වැඩක් නෑ බං.. ඒකෙ කොල්ලො පාරවල් ගානෙ කෙල්ලො එක්ක යනවා.."

"අරූ මිනිස්සු දම්මලා කප්පං ගන්නවා බං"

"අරුංට වඩා හොදට අංගොඩ උං මේවා කරනවා බං"

ඔහොමයි අන්තිමට මිනිස්සු කියන්නෙ. වැඩක් කරපු මිනිස්සුන්ට ඒ වෙලේ එන්නෙ කලකිරීමක්. මොනවා නම් කරන්නද? මේක තමයි බලපෑම.

අනිත් මිනිස්සු හදන්න අපිට බෑ. ඒත් අපිට පුළුවන් පුද්ගල සංවිධානයක, නැත්තම් පාසලක වගේ කීර්තිනාමය වැඩි කරලා දෙන්න. ඒක කරන්න පුළුවන් අපි සංවිධානය කරන සාර්ථක වැඩ වලින්, අපි ගන්න ජයග්‍රහන වලින්, අපි සමාජයේ හැසිරෙන ආකා‍රයෙන්. ඒ දේවල් හොද වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ පිලිගැනීම වැඩියි. මට මේ දේ තේරුනේ මම 5 වසරෙ ඉන්නකොට. ගාල්ලෙ පාසල් ඔක්කොගෙම සාහිත්‍ය තරග තියන වෙලේ මමත් ගියා කවි තරගෙට. වැඩිපුර හිටියෙ ගෑණු ළමයි. කොහොම හරි විනිසුරු මඩුල්ලෙ 3න් දෙනෙක් හිටියත් ඒ අයට වාඩි වෙන්න තිබ්බෙ පුටු 2 යි. ඒ වෙලේ මම මගේ පුටුව ගිහින් මිස් කෙනෙක්ට දුන්නා. මාව ඇදුරුවෙ නැති උනත් ඒ මිස්,

"රිච්මන්ඩ් එකේ ළමයි මෙහෙමයි"

කියලයි පටන්ගත්තෙ. ඒ දේ ඇහුනාම මට පුදුම සතුටක් ආවා. හැබැයි ඉතිං අර ගෑණු අය නං එක්කෙනෙක්වත් හෙල්ලුනේවත් නෑ. දුකයි ඒක ගැන.

ඒ කොහොම වෙතත් අපි මොකක් හරි දෙයක් නි‍යෝජනය කරනවා නම්, ඒ උක්ත සංගමයෙ හරි මොකක හරි කීර්තිනාමය තියන විදිහට වැඩකටයුතු කරන්න ඕන. අපි කියන එක වචනයක් උනත්, අපි කරන එක ක්‍රියාවක් උනත් ඒ දේ ඇති කිරීම හෝ නැති කිරීමට සම්මාදම් වෙනවා.  

Thursday, October 11, 2012

AL Project කරන්නෙ කොහොමද?

ගොඩක් උසස් පෙළ කරන අයට තියන ප්‍රශ්නයක් තමා මේ ප්‍රොජෙක්ට් එක කියන්නෙ මොකද්ද, මොකටද කරන්නෙ, අනේ කොහොමද මේක කරන්නෙ, කො‍හොමද මේ මගුලෙන් ගැලවෙන්නෙ කියන එක. තවත් එකක් තමයි මේ උසස් පෙළ අස්සෙ මොන ප්‍රොජෙක්ට් ද කියන එක. ඒත් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන නෙ. එකක් නෙමෙයි දෙකක්. ඔන්න ඉතින් මම හිතුවා අද කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ කියන එක කියන්න. ඊට කලින් කියන්න ඕන මේක නම් කියන්නෙ අනුන්ගෙ එකක් තමන්ගෙ කියලා 'කොපියක්' ගහන් 'වදෙන් බේරෙන්න' හිතන අයට නොවන වග.

උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අප‍තේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.

අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා.

තමන් විදින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.

මාතෘකාව තෝරගත්තාට පස්සෙ තමන් හිතන්න ඕන ‍කොහොමද මේක කරන්න කාලෙ වෙන් කරගන්නෙ කියලා. මෙන්න මේ කියන දේ තීරණය වෙන්නෙ තමන් කරන්න හිතන් ඉන්න දේ අනුව. මම උදාහරණ කීපයක් කියන්නම්.

උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,


  • මාතෘකාව තෝරාගැනීම
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
  • ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
  • දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
  • ව්‍යාපෘති වාර්තාව සෑදීම


උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,


  • මාතෘකාව තෝරාගැනීම 
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
  • ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
  • උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
  • ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා  පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕ‍න. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කන්න ඕන.


පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්‍. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
  1. ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
  2. අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
  3. පිදුම
  4. පටුන
  5. හැදින්වීම
  6. තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
  7. නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
  8. ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
  9. ආශ්‍රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
  10. ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
  11. වැරදි නිවැරදි කිරීම්
  12. කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. ‍මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.

මම පෞද්ගලිකව ආස නෑ අනුන්ගෙ දෙයක් මගේ විදිහට පෙන්නලා ළකුණු ගන්න. ඒ වගේම කෙනෙක් හෝ පිරිසක් විසින් ඉතාමත් සාර්ථකව ආරම්භ කරපු දෙයක් අස්සට ඔළුව දාලා ඒක තමන් කරා කියලා කියාගන්න. යමක් අපි කරනවා නම් අපි ඉස්සෙල්ලා අපිට අවංක වෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ දෙයක් පෙන්නලා ගන්න ළකුණු 20 ට වඩා තනියෙන් ගන්න එක ළකුණ පවා වටිනවා මට නම්. ඒත් තමන්, තමන්ටත් අනුන්ටත් වැදගත් යමක් ආසාවෙන් කරා නම් ඒ දෙයට උපරිම දේ ලැබෙන්න ඕන. ඒ නිසා තමයි මට ළකුණු 20 ක් ලැබුනෙ මගේ ව්‍යාපෘතියට. මට ඒ ගැන ගොඩක්ම සතුටුයි, ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි, ඒ හැම ළකුණක්ම මම ගත්ත නිසා.

මේ විදිහට සාර්ථක ප්‍රොජෙක්ට් කරපු අය ගැන පොඩි සදහනක්,
  • කාල තරණය - ශිරාන් ඒකනායක - ළකුණු 19
  • ලෝක විනාශය 2012, විද්‍යාත්මක මත විමසුම - පසිදු ද සිල්වා -ළකුණු 20
  • ශ්‍රී ලංකාවෙ මැණික් - රුක්ෂාන් සත්‍යානන්ද - ළකුණු 18
  • බාලදක්ෂිකා මෙහෙවර - දිනිති ගුණතිලක - ළකුණු 20
  • ශුද්ධ ගණිතය පිළිබද වැඩිදුර අධ්‍යයනය - තනුජ සෝමසිරි - ළකුණු 16
  • Medical Plants - යසස් වික්‍රමසිංහ - ළකුණු 18
  • හෙල ඔසු තතු - දිනාලි නල්ලපෙරුම - ළකුණු 19

ඒ කාලෙ ප්‍රොජෙක්ට් කරන්නෙ කොහොමද කියලා ඔළුව අවුල් වෙලා හිටි කාලෙ මට උදවුවක් ගන්න මේ වගේ කිසි දෙයක් තිබ්බෙ නෑ. තිබ්බෙ හතරට පහට නැමිච්ච පුංචි පත්‍රිකාවක් විතරයි. ඕන කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකකට උදවුවක් ඕන නම් මගෙන් ගන්න පුළුවන්. "ස්තුතියෙ" නම දාගන්න එකට වඩා කෙනෙක්ට අපි දන්න දෙයක් කියලා දෙය එක මට පෞද්ගලිකව ‍ලොකු ආත්ම තෘප්තියක්. ඒත් එක්කම මතක් කරන්න ඕන අපි (ඒ කියන්නෙ මමයි කීපදෙනෙකුයි) පටන්ගත්ත සාමාන්‍යපෙළ කෙටිසටහන් බ්ලොග් අඩවිය ගැන වැදගත් වෙන අයට දැනුම්දෙන්න කියලත්.

මගේ ප්‍රොජෙක්ට් එක : click here
ඕ ලෙවල් ශෝට් නෝට් බ්ලොග් එක :  http://olshortnote.blogspot.com/
ඕ ලෙවල් ශෝට් නෝට් පේජ් එක : https://www.facebook.com/OlShortNotes

ප.ලි. : ඇත්තටම දැන් කැම්පස් එකේ ඉන්න නිසා බොහොම කලාතුරකින් තමයි බ්ලොග් එක පැත්තට ගොඩ වෙන්නෙ.. මොනවා හරි ප්‍රශ්න තියනවා නම් මගේ fb account එකෙන් contact කරගන්න.. ස්තුතියි.. බ්ලොග් එක උඩ තියන ෆේස්බුක් අයිකන් එකෙන් නැත්තං මේ ලිංක් එකෙන් එන්න පුලුවන්..
https://www.facebook.com/jnsx3nds

Tuesday, October 9, 2012

කැමරාවේ සටහන් වෙන භූතාත්ම / දේවතා එලි ගැන මං දන්න තරමට

ඇත්තෙන්ම කියනවා නම් පුංචි කාලෙ මම හිතං හිටියෙ අපිට පේන්නෙ නැති භූතයො කැමරාවෙ සටහන් වෙනවා කියලා. මේ ළගක් වෙනකන්, ඡායාරූපකරණය ගැන මගේ උනන්දුවක් ඇති වෙන්න කලින්. ඒත් මේ භූතයො ගැන ඉන්ද්‍රනාථ සර් පළ කරපු ලිපියක් කියෙවුවාට පස්සෙ මේ වෙන්නෙ මොකද්ද කියලා මට පොඩ්ඩක් තේරුම් ගියා. පස්සෙ ඉතින් ඔළුවෙ කැක්කුමක් ඇති උනාම තියනවා කියලා මතක් වෙන මගේ මොලෙන් කල්පනා කරලා ඇත්තටම මේ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බැලුවා. ඔය ලිපි කියව කියව ඉන්න ගමන් තමයි මම ඔලොක්කුවට ශෙයා කරලා තිබ්බ මේ පින්තූරෙ දැකලා යාළුවෙක් ප්‍රශ්නයක් නැගුවෙ.


"mchn oy bola bola pena 4to 1k umba share karane, a mchn dewatha eli newei, wenasa programe eke awa a amanushya balawega wla 4tos kiyala. mage cam 1tath owa ahu wela thynawa, bt mama langadi dngththe a mnwada kiyala, joke newei bn."

මං ඉතිං පොඩ්ඩක් ඉවසලා කරලා බලලා කියන්න ගත්තා.


මම : 
සාමාන්‍ය පොයින්ට් ඇන් ශූට් කැමරාවක් සකස් කරලා තියෙන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න ලේසි වෙන විදිහට. ඒ ‍වගේම ඒකෙ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය විදිහට සකස් කරලා තියෙන්නෙ. ඡායාරූපකරණයේදි අපි වැදගත් වෙන දේවල් ගොඩක් තියනවා. මේ "ඔටෝ" තත්වයෙන් ඡායාරූපයක් ගන්නකොට අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ අවස්ථාවෙ තියන ආලෝක තත්වය මදිනම් අමතර 'ෆ්ලෑශර්' එකත් ආධාර කරගෙන ආලෝකට සෙන්සර් එකට සංවේදනය කරගැනීම. ඔය කියන දේවතා එලි, භූතාත්ම පේන්නෙ දවල් නෙමෙයි නෙ, ඒ පේන්නෙ රෑ.
මම හරි ද?
ඔවු ද නැද්ද කියපං..

ඔහු :
mama arna thynwa dawaleth, cravata bn kynne,
oy bola ahuwela thynwa dawaltath.


මම : 
ගිණි මද්දහනෙ?

ඔහු :
ge ethule, hebei hndata awwa pyala thyddi

මම : 
ඔය කියන ආලෝක ලප පේන්නෙ එක්කො රෑට. නැත්තං ගෙයක් ඇතුලෙ. නැත්නම් ඒ වගේ ආවරණය වෙච්ච ගොඩනැගිල්ලක් ඇතුලෙ. මේ සංසිද්ධියට දේවල් කීපයක් බලපානවා
1. පවතින ආලෝක තත්වය
2. කැමරාවෙ ඔටෝ මෝඩ් එකේ ක්‍රියාකාරීත්වය
3. කැමරාවෙ ෆ්ලෑශරය
ප්‍රශ්නය 2 : උඹ ඔය ගත්ත පොටෝ වල ආලෝක ලප තියන ඒවා ගනිද්දි ෆ්ලෑශරේ වැදුනා ද?
අඩේ නැගිටහං..

ඔහු : 
aaa bn me me, ow flash on krala,

මම :
හරි.. උනේ නැත්නම් තමා පුදුමෙ..
කැමරාවක ස්වයංක්‍රීය ෆ්ලෑශරය ක්‍රියාත්මක වෙන්නෙ කැමරාවෙ සෙන්සරේට ලැබෙන ආලෝකය අඩු වෙනවා කියලා කැමරාව අදුරගනිද්දි. ඒ වගේම ඔය කියන භූතාත්ම පේන්නෙ එක්කො කාඹරේක (වටවෙච්ච). නැත්නම් රාත්‍රී කාලයේ. ඒ තත්ව දෙකේදි කැමරාවට ලැබෙන ආලෝක තත්වය අඩුයි.
ඒ එකක් අනික තමයි, අවට පරිසරයේ ජලවාශ්ප ඝනත්වය වැඩියි රාත්‍රී කාලයේ සහ සංවෘත කාඹරේක..

ඔහු :
ethakota bn 4to eke 1 thenaka wthrain neh bn oy bola capture wenne, a kynne ekko 4to eke meda ekko edge 1ka.. 

මම :
මුළු කාඹරයක්ම ජල වාශ්ප වලින් හෝ දූවිලි අංශු වලින් සංතෘප්ත වෙලා නෑ. පරිසරය රාත්‍රී කාලයේදිත් එහෙමයි. ෆොටෝ එකක ඕනම තැනක ආලෝක ලප වදින්න පුළුවන් ෆ්ලෑශරේ ක්‍රියාකාරීත්වය නිසා. ආලෝකය පරාවර්තනය වෙන්නෙ එකවරම. ඒක ආලෝක ලපයක් විදිහට සටහන් වෙනවා. කාඹරේක තියන ජල වාශ්ප ශනත්වය සහ දූවිලි අංශු ගණන වැඩි වෙනකොට ඒ ආලෝක ලප ගණනත් වැඩි වෙනවා. ඔය කියන තැනකම DSLR කැමරාවකින් ගනින් කො ෆ්ලෑශර් එකක් වෙනම අරන්. ඔය එක ලපයක්වත් නෑ

ඔහු : 
ethakota mchn wenasa eke pnnuwa, oy buthyo allala bothal ethualata dala gaththa 4tos, a bothal ethule minis rupayata samana blur wechcha chaayawan penawa, mama dekka bn,ape -------- inne, uge chinese 4n eke cam eken u 4to 1k argna oy mkkda thowilayak natala iwarara wela bothalekata dala arn gypu 1k, mama a 4to 1 dekka bn blur wechcha chaayawak thynwa bn. 

මම:
ඒක තවත් කතන්දරයක්
ඒකත් අහන්නෝනෙයි
මට කීයක් හරි දියං..

ඔහු : 
mama gaththa 4tos tkk umbata email krnnam passe, ethkota umba kynne oy amanushya aathma ne kylada? budu hamuduruwo deshana krpu..

මම :
බුදුහාමුදුරුවො කියපු දේවල් වලට උඩින් යන්න අපිට බෑ. අපේ පියවි ඇහැට නොපෙනෙන දෙයක් ෆෝන් එකක කැමරාවක කොහොමටවත් සටහන් වෙන්න බෑ. ඔය කියපු චයිනීස් පෝන් එකේ මෙවුවා එකක් තිබ්බා ද? ෆ්ලෑශර් එකක්??

ඔහු :
awai khda bn flashers, umba kynne me loke kohewth camera 1kata oy buutha aathma capture wela ne kylada?

මම :
නෑ.. ෆ්ලෑශර් එකක් තිබිලා භූතාත්මයක් අහු උනා නම් තමා කේස් එක. දැන් ඉතින් ආයෙ අහගනින් කො.
"understanding light is understanding photography" කියලා කැනන් කොම්පැනියෙනුත් කියනවා නෙ. 
අපේ ඇහැට රූප පේන්නෙ කොහොමද? 
පිටස්තර ආලෝක ප්‍රභවයකින් අපිට පේන රාමුවට වැදෙන ආලෝකයෙන් කොටසක් පරාවර්තනය වෙලා. 
ෆොටෝ එකක් වදින්නෙ කොහොමද? 
සරළයි. පිටස්තර ආලෝක ප්‍රභවයකින් අපිට පේන රාමුවට වැදෙන ආලෝකයෙන් කොටසක් පරාවර්තනය වෙලා කැමරා කාචයෙන් සෙන්සරේට.
ආලෝක තත්වය අඩු උනාම අපි මොකද කරන්නෙ?
(මම නං කණ්නාඩි දෙක පහත් කරලා ඇස් දෙක හොදට ඇරලා බලනවා)
කැමරාවත් එහෙම්මයි
කැමරාවෙ aperture එක ලොකු වෙනවා ආලෝකය අඩු වෙද්දි..

ඔහු : 
ado a kynne umba pili gannema ne buutha athma


මම :
හිටපිය අහගෙන >:(
කැමරාවෙ පින්තූරයක් වදිද්දි සුදුසු ආලෝකටක් සෙන්සරේ සටහන් වෙන්න ඕන. ඒකට තියන එක ක්‍රමයක් තමයි ආලෝකය එන සිදුර ලොකු වෙන එක. අනිත් එක තමයි කැමරාවෙ ද්වාර වේගය අඩු කරගන්න එක. කැමරාවක ද්වාර වේගය අඩු වෙන එකෙන් අදහස් වෙන්නෙ ගොඩක් වෙලා ආලෝකය එන්න සැලැස්සීම. ඒත් එක්කම වෙන තව වැඩක් තමයි කැමරාවෙ කාචයට ඉස්සරහා තියන ඒවායෙ හැම ක්‍රියාකාරකමක්ම සෙන්සරේ සටහන් වෙනවා. ඔය කාලය ඇතුලත අපේ අතක් අරන් ගියොත් අපිට පේන්නෙ නිකං භූතයෙක්ගෙ වගේ. අමුතු සුදු පාට අතක් අමුතු විදිහට, බුදු අම්මෝ භූතයෙක්.. නෑ, ඒ ආලෝක තත්වය වැඩි කරගන්න ගිහින් වෙන පලඉලවුවක්.. 


දැන් මම උඹේ අනිත් ප්‍රශ්නෙට උත්තර දෙන්නම්,
මම විශ්වාස කරනවාද භූතයො.. අනිවාර්යයෙන්ම ඔවු. අපේ දෘශ්‍ය පරාසය ඉතාමත් කෙටියි. ඒ පරාස‍ය තුල තියන දේවල් විතරයි අපිට පේන්නෙ. මේ විශ්වය ඊට ගොඩක් ලොකුයි. හැබැයි මං විශ්වාස කරන්නෑ කැමරාවක භූතයො සටහන් වෙන එකක් ගැන. අපේ මිනිස් ඇසේ ක්ෂේත්‍ර පරාසය (dynamic range) එක අඩුයි. ඒ වගේම කැමරාවක dynamic range එක ඊටත් අඩුයි. ‍මේ කියන ක්ෂේත්‍ර පරාසය වැඩි කරගන්න තමයි පින්තූර කිහිපයක් අරන් HDR ඡායාරූප හදුන්වා දීලා තියෙන්නෙ. (High Dynamic Range Photography) 
එතනදි අපිට සාමාන්‍ය ඇහැට අහුවෙන්නැති පරාසයක් දැකගන්න පුළුවන්. ඉදින් පොටෝ පෙන්නන්න. භූත පොටෝ නෙමේ. මේ පින්තූරය තනි එකක් විදිහට ගත්තා නම් කවදාවත් මේ තියන ආලෝකය, මේ ලස්සන දැකගන්න වෙන්නෙ නෑ. මේක පින්තූර 3ක් හරි කීපයක් හරි එක එක පරාස වල කීයක් හරි අරගෙන, ඔක්කොම බද්ධ කරලා තනි එකක් විදිහට හදපු පින්තූරයක්. ළගදි දවස් වල ලංකාවේ ආන්දෝලනයක් ඇති උනා දානෙ ගෙදරක ළමයෙක්ගෙ භූතාත්මයක් සැරිසැරුවා කියලා. ඒත් එතනදි වෙලා තියෙන්නෙ ළමයෙක් ගමන් කරලා. අඩු ආලෝක තත්වෙ නිසා ඒ ළමයාගෙ කකුලක් දිගට සටහන් වෙලා ද්වාර වේගය ස්වයංක්‍රීයව අඩු වෙච්ච නිසා. මේක මොකක් හරි පත්තරයක් හරි වැඩසටහනක් හරි දැක්ක ගමන් කියන්නෙ "ඔන්න භූතයෙක්" කියලා. මිනිස්සුත් උඩ දාගෙන බලනවා නෙ. මරු නිවුස් එක, අන්න භුතයො..

ඔහු : 
wnna plwn, ---- missge album 1 umba dekkadaaaaaaaaaa?

මම :
නෑ.. කාගෙ ඇල්බම් එකක් උනත් මට වැඩක් නෑ නෙ බං. ---- මිස් උගන්නන්නෙ ----- මිසක් ඡායාරූපකරණය නෙමෙයි නෙ. අපේ ඇහේ මෙගාපික්සල් 578 (ඒ වගේ ගානක් මයෙ හිතේ) යි. මෙගාපික්සල් 10 ක 12 ක කැමරාවකින් ගත්ත පින්තූරයක් ඇයි අපි විස්වාස කරන්නෙ?

ඔහු : 
akne
ama ynawa mchn hetath lesson 1k dnna..

මම :
හෙහ්.. හරි බං.. ක්ලාස් එකට ගානක් අරං වරෙං
:පී
බායි

චැට් එක සමාප්තයි. අසා සිටි ඔබට ස්තුතියි. වැරදි නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. ඉන්ද්‍රනාථ තේනුවර ගුරුතුමා ගෙ ලිපි කියවලා තමා ටිකක් මේ ගැන තේරුම්ගත්තෙ. මගේ මොකක් හරි දෙයක් වැරදි නම් ඒකට සර් ලා ව අල්ලගන්නෙපා. (එහෙම මිනිස්සුත් ඉන්නවානෙ). 

Friday, October 5, 2012

BODMAS සෙල්ලම් සහ තවත් කතා

මේ දවස් වල බුකියෙ දැක්ක දෙයක් තමයි ගොඩක් facebook groups කරන අය දැන් ෆැශන් එකට වගේ එක එක ගණිත ගැටළු දානවා. උත්තරයක් දන්න කෙනෙක් ඉතින් නිකං අරින්නෙත් නෑ නෙ. කොහොම හරි කමෙන්ට් කරනවා නෙ දන්න උත්තරේ. නැත්තං උඩ එකාගෙං බලාගෙන හරි කමෙන්ට් කරනවා දන්නවා වගේ. ඒ කොහොම වෙතත් ඔය වැඩිපුරම අ‍පේ අය කරන facebook groups වල නම් අහන්නෙම ඉලක්කම් ටිකක් දාලා, වැඩි කරලා, අඩු කරලා එකතු කරලා, බෙදලා ගත්තාම කීයද කියලා. ඒවාට 75% විතර නිවැරදි පිළිතුරු දෙන අතරෙ (වැඩිපුර ගහලා තියන නිසා වෙන්නත් පුළුවන්) සමහර අය ඕන වරද්දගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔය මුලින් කියපු BODMAS නොදැනීම.

BODMAS කියන්නෙ එක්තරා විදිහක ගණිතයේ නීතියක්. ඕකෙන් කියන්නෙ අපි මොන පිළිවෙලටද සමීකරණයක් විසදන්න ඕන කියන එක.

B - Brackets (වරහන්)
O - Of (න්)
D - Division (බෙදීම)
M - Multiplication (ගුණ කිරීම)
A - Addition (එකතු කිරීම)
S - Subtraction (අඩු කිරීම)

අපේ සිංහලේ පහසුවට අපි ඕකම "වන්බෙගුදරි" (ද - ධන [එකතු කිරීම] , රි - සෘණ [අඩුකිරීම]) කියලත් භාවිත කරනවා. ඕකෙන් කියන්නෙ පුංචි දෙයක් උඩ ඉදන් යටට තියන පිළිවෙලට තමා ඉස්සෙල්ලා කරන්නෝනෙ.


උදා : 

1 + 4/2 + (3 - 5)x3 +2
දැන් ඉතින් මේකෙ ඔය උඩ කියපු ජාති ඔක්කොම වගේ තියනවා නෙ. ඉස්සෙල්ලාම වරහන්, ඒ කියන්නෙ වරහන් ඇතුලෙ තියන එක සුළු කරන්නෝනෙ.
1 + 4/2 -2x3 +2
ඊට පස්සෙ බෙදීම
1 + 2 -2x3 + 2
පස්සෙ වැඩිකිරීම
1 + 2 -6 + 2
එකතු කිරීම
5 - 6
අන්තිමට අඩු කිරීම
-1
උත්තරේ -1 යි.

තව මං දැකපු ගාණක් තමා ඔය එකේ ඒවා ගොඩකුයි අන්තිමට 0 න් වැඩි කරපු එකකුයි තියන ඒවා. ගොඩක් අය කිසි හැල‍ හොල්මනක් නැතුව "ඕනම සංඛ්‍යාවක් 0 න් වැඩි උනාම උත්තරේ 0 යි" ය කියලා කියනවා. ඒත් ඉතිං වැඩි කරන්න කලිං ජාති තියනවා නෙ. නැද්ද

උදා : 
1+1+1+1+1+1-1+1x0

ඔන්න ගණන් (අපේ අයට). ඉස්සෙල්ලාම තියෙන්නෙ වැඩි කිරීම නෙ. ඒත් එකක්, ඔතන වැඩි කිරීම ළකුණ තියෙන්නෙ 1 ත් 0 ත් අතර. ඒ නිසා වැඩි වෙන්නෙ ඒ දෙන්නා විතරයි‍. "1x0 = 0" ඒක හරි එතකොට,
1+1+1+1+1+1-1
දැන් එකතු කරන්න.
6-1
අඩු කරාම උත්තරේ 5 යි.

හැබැයි මේක කිවුවා වගේ නෙමෙයි. මේකෙ මහ කුප්ප යතාර්ථයකුත් තියනවා. අපේ ලංකාවෙ fb pages කරන අය ඔය වගේ දේවල් දාන්නෙ facebook ඉන්න අයගෙ දැනුම මට්ටම බලන්නවත් වෙන මොකකටවත් නෙමෙයි, තමන්ගෙ ලයික් ගාන, කමෙන්ට් ගාණ, සහ ශෙයා වෙන ප්‍රමාණෙ වැඩි කරගන්න. ඇත්තවම ගණිත දැනුම පිරික්සන්න නම් ඉතින් හොද ගණන් දෙන්න පුළුවන් නෙ? නැද්ද මං අහන්නෙ? මම තාම දැකලා නෑ එක facebook group එකකින්වත් අවකලනය ගාණක්, අනුකලනය ගාණක්, ත්‍රිකෝණමිතිය ගාණක් එහෙම දීලා තියනවා. ඒත් සමහර පිටරට මිනිස්සු ඒ ව‍ගේ ගණන් දාලා තියනවා දැකලා තියනවා. අපේ රටේ අවකලනෙ අනුකලනෙ උගන්නන්නෙ අවුරුදු 18 ත් උනාම. ඒත් ඒ රටවල අවුරුදු 16 එකත් දන්නවා ඕවා. අපේ ඕවා දන්නෙ උසස් පෙළට ගණිතය කරන අය විතරයි. 

අපේ ෆිසික්ස් සිලබස් එකේ තියන ජාති උඩින් පහත් උනා වගේ සමහර සමීකරණ දුන්නාට ඒවා ගන්නෙ කලනයෙන් කියන එක යතාර්ථයක්. බයෝ කරන අයට ගණිතය ඕන නෑ කියලා අපේ උන්දැලා හිතන නිසා ඕවා කෙලින්ම සිලබස් වලින් අයින් වෙලා තියෙන්නෙ. ඒකෙන් අන්තිමට වෙලා තියෙන්නෙ ගණිතය කරන අයටත් ෆිසික්ස් සමීකරණ උඩින් ආපුවා වගේ වීම. (විකිරණශීලීතාවයේ සමීකරණ අනුකලනයෙන් ගන්න පුළුවන්, ධාරා විද්‍යුතයේ යම් යම් දේවල් අවකලනයෙන් ගන්න පුළුවන්) හැබැයි ඔය මොකක් කරත් පිටරට උන් ට අපි තරං ගණං හදන්න එහෙම නම් බෑ. ඒ කොහොම වෙතත් තාමත් මූලික දේවල් නොදන්න ගොඩක් දෙනෙක් ඉන්නවා ලංකාවෙ. ගණිතය කියන්නෙ ඉලක්කම් සංකේත එක්ක සෙල්ලම් කිරීමක්ම විතරක් නෙමෙයි. ඒකෙන් මොලේ ක්‍රියාකාරීත්වය හොදට හැදෙනවා. කටපාඩමින් එන්නෙ නැති තාර්කික කුසලතාවක් ඇති වෙනවා. ඒත් ලංකාවෙ ඕ ලෙවල් ගණිතය පාස් කරන්නෙත් බොහොම අඩු මට්ටමකින් වගේම ගණිතය ෆේල් වෙන‍ ලොකු ප්‍රතිශතයකුත් මේ ලංකාවෙ ඉන්නවා. ඒකට හේතුව "මෝඩකම" කියලා මං කියන්නෑ. 

ළමයින්ට ගණිතය තේරෙන්න කියලා දෙන්න ඕන. ඒකයි ඇත්ත කතාව, මුල ඉදන්ම ගණිතය එපා වෙච්ච කෙනෙක්ට ඕවගේ එකක් බලන්නවත් හිතෙන්නෙ නෑ. ඒකට කවුරු වැරදිද කියන්න නම් දන්නෙ නෑ. ඒ කෙසේ වෙතත් උසස් පෙළට ගණිතය කරලා හොද රිසල්ට් එකකුත් අරන් කැම්පස් යන්න බැරුව, බැංකු වල ජොබ් කරන පිරිසකුත් මේ ලංකාවෙ ඉන්නවා. ඒ බුද්ධි මට්ටමේ ම අය වෙන රටවල් වල ඉන්ජි‍නේරුවො.

මොනාද මන්දා මේ කියවන්නෙ.. හරි ඒක ඉවරයි. පල්ලෙහා තියෙන්නෙ ගැටළුවක්. පුළුවන් නම් හදමු බලන්න. (ඕක ලේසී ඈ‍)


Monday, October 1, 2012

Photo Meet 3 - ගාල්ල


Photo Meet කියන්නෙ ලක්ෂ ගාණක් ෆේස්බුක් එකේ තියන වැදගැම්මකට නැති ගෲප් අස්සෙ තියන සාමාජිකයො විශාල පිරිසක් ඉන්න Photo Talk කියන ගෲප් එකේ ඉන්න ෆොටෝ උණ ගහපු මිනිස්සු සංවිධානය කරන, ඒ ‍වගේම ෆොටෝ උණ තියන පිරිසක් සහභාගී වෙන එක්තරා විදිහක සුහද හමුවක් තවත් විදිහකින් දැනුම බෙදාගන්න තියන තැනක් වගේම ප්‍රායෝගිකව පින්තූර අරන් වැරදි අඩුපාඩු හදාගන්න අවස්ථාවක්. ඒ ඔක්කොටමත් වඩා ෆේස්බුකියෙ පොටෝ දාලා කමෙන්ට් කරන අයත් එක්ක හම්බුවෙලා කතාබහ කරන්න පුළුවන් වෙන හරිම අපූරු අවස්ථාවක්.

මේ පාර 3 වෙනි පාරට තමයි Photo Meet එක පැවැත්වුනේ. මම ෆොටෝ ටෝක් ගෲප් එකට සම්බන්ධ වෙලා මාස 5කට 6කට විතර පස්සෙ තමයි මේ ගැන දැනගන්න ලැබුනෙ. පළවෙනි මීට් එක කොළඹත්, දෙවනි මීට් එක නුවරත් තමයි තිබිලා තියෙන්නෙ. තුන් වෙනි මීට් එක තියෙන්නෙ කොහෙද කියලා Photo Talk ගෲප් එකේ පළ උනාට පස්සෙ මමයි සුරේශුයි තව කීප දෙනෙකුයි ගාල්ලෙ කරමු කියලා සද්දයක් දැම්මෙ. (එහෙම කොළඹම තියලා හරියනවැයි නැද්ද මං අහන්නෙ) කොහොමින් කොහොම හරි මුලින්ම කරන්න ඕන වෙලා තිබ්බෙ ගාල්ල පැත්තෙ හොද හෝල් එකක් හොයාගන්න එක. එක එක අය ඒ ගාන කිවුවත් අන්තිමට වැඩේ කරලා දුන්නෙ දැනට ලංකාවෙ වත් නැති "දිනේශ්" කියලා අයියා කෙනෙක්. 

කො‍හොම හරි මේ ගැන කතා උනේ අපි (මමයි සුරේශුයි) අගෝස්තු මාසෙ උසස් පෙළ ලියන්න සූදානම් වෙද්දි (මම පළවෙනි පාර ගණිත අංශයෙන්, සුරේශ් දෙවන වර කොමස් වලින්) මම පළවෙනි පාර ලියන නිසාත්, මැත්ස් වලින් ලියන්න ඉන්න නිසාත්, ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසාත් ඒ ටිකේ මට නම් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න උනේ නෑ. කොහොම හරි ඒ ලෙවලුත් ලියලා ඇවිත් බලද්දි ඒත් වැඩේ එතනමයි. කොහොම හරි මගේ කම්පියුටරෙත් කැඩිලා (කොහෙන් හරි ෆේස්බුක් එන්නත් එපායැ) අදුරන තැනක ඔන්ලයින් ආවාම සුරේශ් අහපි, "ඒ බං මේ උඹට පුළුවං ද බස් එකක් හොයාගන්න" මාත් ඉතිං පුළුවං එකා වගේ "හා හා මම තාත්තාටත් කියන්නං. අදුරන අය ඉන්නවා හොයාගන්න පුළුවන්" කියලා කිවුවෙ නැතැයි. එතනින් සම්බන්ධ උනාට පස්සෙයි තේරුනේ මේක කොච්චර බරපතල වැඩක් ද, කොච්චර වගකීමකින් කරන්න ඕන වැඩක් ද කියලා.

රිච්මන්ඩ් එකේ ඉන්න කාල මගේ සගයන් එක්ක මැච් ඕගනයිස් කරලා, හවුස් කැප්ටන්සි කරලා ඒ ලබාගත්ත පන්නරයත්, ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉදලා සමාජෙ ගැනත්, වැඩක් කරගන්න පුළුවන් තැන් ගැනත්, මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕන විදිහ ගැනත් ලබාපු දැනීම ලොකු පන්නරයක් උනා. ඒ කෙසේ වෙතත් අපි වැඩිපුරම ටවුමෙ කරක්ගැහුවෙ අපේ තාත්තාගෙ මෝටර් සයිකලෙන් (සුරේශයාව දාගෙන ආම්බාන් කරන්න අමාරුයි වැනෙනවා ) ඒ කොහොම වෙතත් ඕකෙන් ගිහින් සමරු පලක හෙවුවා, බත් කඩ ගානෙ ඇවිද්දා, එක තැනකිං බෑ කියද්දි තව තැනකිං ඇහුවා. ඔහොම දවස් දෙක තුනක්ම බයිසිකලෙන් කරක්ගැහුවා. පස්සෙ අපේ හිතාදර බනියා නොහොත් අනුශ්ක ලක්මාල් කෑම වැඩේ බාරගන්නම් කියලා කිවුවා. ඒකත් එහෙම කෙරෙද්දි මං අදුරන අංකල් කෙනෙක්ගෙ මාර්ගයෙන් අනිත් තැන් වලට සා‍පේක්ෂව ලාබෙට ලොකු බස් එකක් දවසකට ගන්න පුළුවන් කමක් ලැබුනා.