Wednesday, December 26, 2012

Titanic විචාරය වගේ එක


මේක ලියන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් අද Titanic ෆිල්ම් එක මුල ඉදන් අග‍ වෙනකං හොදට බලං උන්නා සිරසෙ පෙන්නපු නිසා. පැය ගානක් දිග කතාවක් උනත් එක හුස්මට බලන් ඉන්න පුළුවන් විදිහට හදලා තියන එක ගැන නම් විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ කතාවෙ ජන සමාජෙ විවිධ පැතිකඩ ගණනාවක් වගේම මිනිස්සුං‍ගෙ හැගීම් ගැනත් ලස්සන ආදර කතාවක් ගැනත් මතු කරලා තියන විදිහ අපූරුයි. පොඩ්ඩක් බනින්නත් තියනවා. ඒවා පස්සට දාමුකො.

ජැක්, ජීවිතේ හරි නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන තරුණයෙක්. ‍‍රෝස්, තමන්ගෙ පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න අකමැත්තෙන් උනත් විවාහයකට කැමති වෙච්ච තරුණියක්. දෙන්නාගෙ ආදර කතාව ගැන කියන්න තියන ජාති පස්සට දාලා ඉස්සෙල්ලාම අනිත් ටික කියලා දැම්මොත්‍ හොදයි කියලා හිතුනා. මේ චිත්‍රපටියෙ ප්‍රධාන තේමාවක් විදිහට මම දකිනවා සමාජයෙ විවිධත්වය. ඒ කියන්නෙ පන්ති භේධය‍. උසස් පන්තියෙ මිනිස්සු තමන්ගෙ පන්තිය ආරක්ෂා කරගන්නෙ ඇගට හිර වෙච්චි ඇදුම් ආයිත්තම්, ඉහල පැලැන්තියෙ සාද, කථා කරන විදිහ, ආශ්‍රය කරන මිනිස්සු, ලොකු කම් කියවනවා වගේ ‍දේවල් වලින්.  පහල පන්ති වල මිනිස්සුන්ට එහෙම විශේෂයක් නෑ. සූදු කෙලින්න, බීර බොන්න, හිනා වෙන්න, ඕන ඕන විදිහට නටන්න, සින්දු කියන්න, යාලුවො එක්ක විනෝදෙන් ඉන්න එක ඒ අයගෙ පන්තියෙ ගතියක් විදිහටයි ඉස්මතු කරලා තිබ්බෙ නම්.

චිත්‍රපටියෙ මුල් කොටසෙදි වෙන්නෙ ‘රෝස්’ කිසිම කැමැත්තකින් නොවුනත් ටයිටැනික් නැවට ගොඩවෙන එක. ඒත් එක්කම සූදු කෙළලා දිනාගන්න 3 වෙනි පන්තියෙටිකට් එකකින් ජැක් අන්තිම මොහොතෙදි ජීවිතේ දිනන බලාපොරොත්තුවෙන් නැවට ගොඩ වෙන එක. රෝස් කොච්චර මානසික පීඩනේකින් ඉන්නවාද කියලා කියනවා නම් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න පවා උත්සාහා කරනවා. ඒ වෙලාවෙ මේ තුන් වෙනි පන්තියෙ තරුණයා ඉදිරිපත් වෙලා ඇගේ ජීවිතේ බේරගන්නවා. ඇත්තෙන්ම කිවුවොත් ඒ තරුණයා ඇගේ ජීවිතේ බේරන්නෙ සීතල වතුරෙ ගිලුනාම කොච්චර දුක් විදලා මැරෙන්නද වෙන්නෙ කියන එක කියලා අන්තිමේ ඇය පැන්නොත් තමුනුත් පනිනවා කියලා. ජීවිතේ තමුන් එක වතාවක් පමණක් දැක්ක කෙනෙක් වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙන්න ඇයි කියන එක මට තේරුම්ගන්න බැරි දෙයක්. “පළවෙනි බැල්මෙන් ආදරයක් ඇති වෙනවා” කියන කාරනාව ඇත්තම කිවුවොත් මම විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව අපි ඉස්සෙල්ලාම කෙනෙක්ව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඒ කෙනාගෙ හිත දකිනවා කියලා. ඇත්තෙන්ම පළවෙනි වතාවට දැකීමෙන් අදහස් වෙන්නෙ අපි ඒ කෙනා‍ගෙ රූපය දකිනවා කියන එක. ඒක මගේ පෞද්ගලික මතය.

කොහොම හරි ජැක්, රෝස් ව බේරගත්තාට පස්සෙ ඒක දකින භටයන් ජැක් ට විලංගු දානවා. එතනින් මම දකින්නෙ ඉහල පන්තියේ සහ පහල පන්තිය යන දෙකට සමාජය විසින් සලකන්න හුරු වෙලා ඉන්න ආකාරයේ විවිධත්වය. රෝස් ට විවාහා වෙන්න කියලා හිතං ඉන්න තරුණයා ජැක් ට ඩොලර් 20 ක මුදලක් දෙද්දි රෝස් අහන්නෙ,


“මගේ ජීවිතේ වටින්නෙ ඩොලර් 20ක් විතරද?”

කියලා‍. මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දි ජැක්ට ආරාධනාවක් ලැබෙනවා උසස් පැලැන්තියෙ අයගෙ සාදයකට සහභාගී වෙන්න. පෝසත් උසස් පැලැන්තියෙ කරුණාවන්ත නෝනා කෙනෙක් ජැක් ට තමන්ගෙ පුතා ගෙ ඇදුම් අන්දලා ලස්සන කරලා ඒ සාදෙට එක්කන් එන එකෙන් ‘කිලීමලෙත් ඇත දත සුද්දෝ’ කියමන සනාථ වෙනවා. ඒ උසස් පැලැන්තියේ ‘බෝරිං’ සාදය ඉවර වෙලා රෝස්වත් ඇදගෙන ජැක් යන්නෙ 3 වෙනි පන්තියෙ මිනිස්සුන්ගෙ උ‍ද්‍යෝගීමත් සාදයට. ජීවිතේ කවදාවත්ම නැති තරම් අර කෙල්ලව විනෝදෙන් සතුවෙන් තියන්න ජැක් ට පුළුවන් වෙනවා.

පස්සෙ මේ ගැන ආරංචි වෙන රෝස් ගෙ අම්මාගෙ කතාවෙන් තමයි ඇත්තටම ඒ පවුලෙ තත්වෙ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබෙන්නෙ. උසස් පැලැන්තියේ කියලා නමක් තිබුනත් සල්ලි වෙනුවට තමන්ගෙ පවුලෙ නමට ලොකු ණය ගොඩක් ඉතුරු වෙලා තියන පවුලකයි ඇය ජීවත් වෙන්නෙ. රෝස් ව සල්ලිකාරයෙක්ට බන්දන්නෙ ඒ ණයතුරුස් වලින් නිදහස් වෙන්න. ඒ කොහොම වෙතත් ඒ ගෑණු ළමයාගෙ හැගීම් යටපත් කරන්න පුළුවන් කමක් නම් ලැබෙන්නෙ නෑ. රෝස් තමන්ගෙ ඇත්ත ආදරවන්තයා ජැක් එක්ක ප්‍රේමයෙන් වෙලෙනවා. චිත්‍රය ගැන ඉතිං කවුරුත් දන්නවා නෙ.‍ ඒක නිසා කියන්න වැඩක් නෑ.

අන්තිම වගේම හැමෝම දන්න සිද්ධිය නැව ගිලෙන එක නෙ. ඒ වෙලාවෙ රෝස් ව බේරන්න බෝට්ටුවකට නැග්ගුවත් ආයෙ ඒ කෙල්ල නැවට පනිනවා. ඒ තමන්ගෙ ආදරවන්තයා එක්කම ඉන්න ඕන කියන හැගීම ‍තදටම හිතේ පැලපදියං වෙලා තියන නිසා. අන්තිමේදි රෝස් ව ලී තට්ටුවක් උඩට නග්ගලා ජැක් මැරෙනකන්ම ඒ තට්ටුව අල්ල‍ගෙන ඉන්නවා ඒ ගෑණු ළමයාගෙන් ජීවත් වෙනවා කියන පොරොන්දුව අරගෙන.

ඒ කාලෙ සමාජයේ පන්ති භේධය කොච්චර නම් පැලපදියම් වෙලා තිබ්බාද කියනවා නම්, නැව ගිල්ලා හැමෝම මැරෙන්න යන වෙලාවෙදි තමන්ට ගොඩ වෙන්න තියන ආරක්ෂක බෝට්ටුවේ 3 වෙනි පන්තියෙ මිනිස්සු නෑ නේද කියලා අහන්න තරම් රෝස් ගෙ අම්මා උඩගු වෙනවා. සේවකයෙක් ආරක්ෂක ලෝගුවක් පිරිනමද්දි, තමන් විශිෂ්ඨම ඇදුම් ඇදන් මරණයට සූදානම් වෙලා ඉන්න බව තවත් කෙනෙක් ප්‍රකාෂ කරනවා. තමන් විසින් අධිතක්සේරුවෙන් නිපදවපු නැවත් එක්කම ගිලෙන්න ඒකෙ නිර්මාතෘවරයා සූදානම්‍ වෙනවා. තමන් විසින් තමන්ගෙ නම පත්තරේ පල කරගන්න ගත්ත වැරදි තීරණ වල ප්‍රතිඵලයක් විදිහට මුලු නැවක්ම මුහුදුබත් වෙනවා කියන කනස්සල්ල නිසාදෝ නැවේ කපිතාන් තමන්ගේ සුක්කානම් කාඹරයේ නාවික ජීවිතයේ වගේම තමන්ගේ මුලු ජීවිතයේම අවසාන මොහොත ගෙවනවා. ජීවිතයම සංගීතයට කැප කරපු වයලීන්, වයලෝ, චෙලෝ වාදකයින් දිගින් දිගටම ඒ වාදනයේ නිරත වෙනවා. නොසැලකිල්ල හා අධිතක්සේරුව නිසා මිනිස්සු 1900 ක් විතර මැරිලා යනවා. ඉඩ ඉතුරු වෙච්ච ආරත්ෂක බෝට්ටු අනිත් මිනිස්සු පෙරලයි කියන බයට ගිලුන නැව දිහාට එන්න අදිමදි කරනවා.

මේ හැම දෙයක් එක්කම මේ ආගන්තුකයාගෙ හිතේ අර උඩින් කියපු ආදර කතාව ගැන ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා. ඒක මෙහෙම කියන්නම්. උඩ තට්ටුවේ ඉන්න රෝස් ව පල්ලෙහා තට්ටුවේ ඉන්න ජැක් දකිනවා. ඔහු ඇය දිහාම බලාගෙන ඉන්නවා. ජීවිතේ නැති කරගන්න ගිය රෝස් ව ‍ජැක් බේරගන්නවා. තමන්ව බේරගත්ත නිසා රෝස් ජැක් එක්ක කුලුපග වෙනවා. ජැක්, රෝස් ව ජීවිතේ කවදාවත්ම නැති විදිහට සතුටු කරනවා. ඒ නිසාද ආදරයක් ඇති උනේ? ඒ ආදරේ ඇති වෙලා දවස් කීපයයි. ඇයි රෝස් තමන්ගෙ ශරීරය ජැක් ඉස්සරහා නිරාවරණය කරන්නෙ? ඔහුට කියලා චිත්‍රයක් ඇදගන්නමද? ඒ වෙලාවෙ ජැක්ගෙ මූණ රතු උනත් ඔහු ඒ ගෑණු ළමයාව ස්පර්ශ කරන්නෙවත් නැතිව ඇයව චිත්‍රයට නගනවා. ඇගේ ජීවිතය තනියෙන් ගෙවන එකේ වටිනාකමක් නෑ කියන එක පෙන්නන්න රෝස් ආරක්ෂක බෝට්ටුවෙන් නැවට පනිනවා. මැරෙනවා නම් එකට මැරෙමු කියන ඇය ජැක් අර සීතල වතුරෙ මිදිලා මැරිලා මුහුද පතුලට යද්දි ඇස් ඇරන් බලන් ඉදලා, බේරගන්න ආපු කණ්ඩායමට තමන්ව ඇහෙන්නැති උනාම එහායින් මැරිලා හිටිය මනුස්සයෙක්ගෙ නලාවකින් නාද කරලා ඔවුන්ගේ අවධානය දිනාගන්නවා. ඔවුන් එක්ක ආයෙත් ගිහින් හොද පවුල් ජීවිතයක් ගෙවලා දරුවොත් හදනවා. ඇයට ආයෙමත් ජැක් ගෙ මතකයන් අවදි වෙන්නෙ ටයිටැනික් ගැන කියද්දි නේද?

මට තේරුම්ගන්න බෑ ඇත්තටම රෝස් ගෙ ආදරේ ඇත්ත එකක් ද බොරු එකක් ද කියන එක. ජීවිතයේ කෙනෙක්ට ආදරේ කරලා කාගෙ හරි බලපෑමකට හරි වෙන කෙනෙක් කසාද බදින්න වෙලා එක දරුවෙක් හැදුවා කියමුකො. ඒත් දරුවො 3 දෙනෙක් හදන්න කොහොමද හිත හදාගන්නෙ? අනික රෝස්ට බලපෑම් කරන්න එයාගෙ අම්මා හිටියෙත් නෑ. ඇයි වෙන මනුස්සයෙක්? රෝස් අසරණ වෙලා, වෙන කෙනෙක් බදින්න උනා කියමුකො. ඒ මනුස්සයාට ඇයි ඒ කතාව කියන්න බැරි උනේ? ඇයි ඒ ආදරේ හිතේ හංගගෙන ඒ මනුස්සයාට අවනත උනේ? ඒ ආදරේ හිතේ හංගගත්තෙ කවදාවත් නොකියන්න නම් ඇයි එච්චර මහලු වෙලා තමන් නොදන්න මිනිස්සු ටිකකට ඒ කතාව කියන්න තීරණය කරේ?

තව එකක් කියන්න තියනවා. චිත්‍රපටයේ ආලෝකකරණයත්, කැමරාකරණයත් ඉතාම උසස් මට්ටමක තිබ්බ බව කියන්න කැමතියි. අති විශාල වියදමක් දරලා කරපු මේ චිත්‍රපටය සිංහල භාශාවෙන් හඩකවලා ඉදිරිපත් කරන්න ගත්ත තීරණය සහ ඒකෙ ප්‍රතිඵලය ගැන සිරස මාධ්‍යජාලයට ප්‍රශංසා කරන්නත් ඕන.

ප.ලි‍ : විචාරය ප්‍රශ්න පත්‍රයක් වීම පිළිබද කණගාටු වෙමි.

ප.ප.ලි‍ : දැන් ඉතින් අපි ඉන්නෙ අකුරු පහේ පරිගනක තක්සලාවෙ ලු නෙ. මේ ටිකේම ඒකෙ වැඩ තමා. ගෙදර තිබ්බ කනෙක්ශන් එක අයිං කරලා ඩොංගල් එකක් ගත්තත් හරි 3G සිග්නල් නෑ. මාලඹේ දි නිදහසේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න නිදහසක් නෑ. බලමුකො මොකක් හරි කරන්න. 

24 comments:

  1. ඊයා.. මේ ගොන්නු ඒකත් හඬකවලා විනාස කරලද..... සිරසේ හඬකැවීම් නම් බලන්න අප්පිරියයි... හොඳ වෙලාවට ඒ පැත්තට වත් කැරකෙව්වේ නෑ...

    ඇත්තම කියනවා නම් මම ඒ කතාවේ දකින්නේ වෙන දෙයක්.. ජැක්ගේ සහ රෝස්‌ෙග් ආදරේ ගැන කතාවට යටින් යන කතාව ගැන...

    රෝස් කියන්නේ පෝසත්, ලස්සන, නම්බුකාර ජීවිතයක් තිබ්බත්, නැවට නඟිනකම්ම තමන්ගේ ජීවිතේ ගැන වටිනාකමක් දෙන්න දන්නෙ නැතුව, වෙනත් අයගේ බලපෑම් වලින් හෙම්බත් වෙලා මැරෙනවා කියලා හිතාගෙන ඉන්න කෙල්ලෙක්...

    දුප්පත්, අහිංසක ජැක්ගේ ( ලස්සන.....) ජීවිතේ තියෙන උද්යෝගිමත් කම, බලාපොරොත්තු සහගත බව, අවංක බව හින්දා මුලින්ම ආදරයකට වඩා රෝස් ගේ හිතේ ඇතිවෙන්නේ විශ්වාසයක්... ඒ විශ්වාසය මත තමයි චිත්‍රය ඇඳෙන්නේ... රෝස් නිරුවත් උනත් ජැක් ඇයගේ ඇඟට අත තියන්නේ නැති වීමෙන් ඒ විශ්වාසය තමයි පෙන්නන්නේ.. එතනින් ඇතිවෙන විශ්වාසය තමයි ආදරයකට පෙර‌ළෙන්නේ.. ඒ වෙනකොට රෝස් තේරුම් අරන් ඉන්‌ෙන් තමන් හිතන තරම් තමන්ගේ ජීවිතය වටිනාකමක් නැති දෙයක් නෙවෙයි කියන එක...

    නැව ගිලෙද්දි රෝස් හිතනවා ජැක් නැතුව තමන්ගේ ජීවිතයේ වටිනාකමක් නෑ කියලා... ඒත් අන්තිමට ජැක් තමන්ව බේරු ගන්න දරන උත්සාහය නිසා ඇතිවෙන ගෞරවය හින්දා තමයි රෝස් තවදුරටත් ජීවත් වෙන්නේ.. ඇය ජීවත් වෙන්‌ෙන් ජැක් වෙනුවෙන්... තමන්ගේ ජීවිතයේ වටිනාකම ඇය දන්නවා එතකොට..

    තව දෙයක්.. ඔය කාලේ සමාජයත් එක්ක ගැහැණියකට තනියෙන් ජීවත් වෙන්න ඉඩක් නෑ.. ඒ නිසා ඇය විවාහ වෙනවා... ළමයි හදනවා.. ජීවිතේ පුදලා ජැක් බේරගත්ත, තමන්ගේ ජීවිතේ ඇය දිගටම හොඳින් ගත කරන්නේ ජැක් වෙනුවෙන්.. ඇය ජීවිතේ තවත් දුක් වින්ඳා නම් ජැක්ගේ උතුම් පරිත්‍යාගයෙන් ඇති වැඩේ මොකද්ද...

    අන්තිමට රෝස් කතාව කියන්නේ ජැක් වෙනුවෙන්.. තමන්ගේ සාර්ථක ජීවිතයේ ඇත්තම හෙවනැල්ල, ජැක් එක්ක ඒ ගත කරපු දින කිහිපයේ අය අත්වින්ද ජැක්ගේ හොඳ ගුණාංග කියන එක තමයි අන්තිමට කියන්නේ.. ඒක තමයි ඇය ජැක් වෙනුවෙන් කරන පරිත්‍යාගය.. ඒක සංකේතවත් කරන්න තමයි අන්තිමට මාලේ මුහුදට දාන්නේ...

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ ඕකෙ ඉංගිරිස් එක බලන්න ගියා තේරුන්නෑ. පස්සෙ ඕ ලෙවල්, ඊට පස්සෙ ඒ ලෙවල්. ඉංග්‍රීසි එක හරියට බලන්න උන්නෑ. (කොහොමත් කඩ්ඩ බෑ නෙ) ඉදලා ඉදලා සිංහල එක බලලා ලිවුවානෙ මාත් විචාරයක්. එක අතකට ඒකත් ඇත්ත නේ. සමාජීය මතවාද. ශික් ජැක්ටත් අර ලී තට්ටුවේ ඉඩක් තිබ්බා නං. චූටි මෙවුවා එකක් තියනවා. හරියට දන්නෙ අදුනන්නෙ නැති කෙනෙක්ට එහෙම ශරීරෙ පෙන්නන්න රෝස් ඉදිරිපත් උනේ ඇයි? රෝස් ගොඩක් බාල, අත්දැකීම් නැති කෙනෙක් නිසා ද නැත්නම් ජැක් ගැන විශ්වාසය නිසා ද?

      Delete
    2. එතන තියෙන්නේ මෙන්න මෙහෙම එකක් තියලා මට හිතෙන්නේ... ඇත්තටම ඔය චිත්‍රෙ කියන්නේ තමන් පත්වෙලා හිටපු තත්වය ගැන රොස්ගේ හිතේ තියෙන දුක, කළකිරිම සහ තරහා පිට කරන සංකේතයක් විතරයි... ඒ කියන්නේ රොස් ඇත්තටම දන්නවා අම්මට තමන්ව වටින්නේ පවුල ගොඩ ගන්න විතරයි කියලා.. අර බඳින්න ඉන්න කෙනාට තමන්ව වටින්නේ තමන්ගේ ලස්සන නිසා විතරයි කියලා... රෝස් කරන්‌ෙන් තමන්‌ෙග් ඒ හැමදේකටම තියෙන අකමැත්ත පෙන්නන එක.. ඒ තමන්ගේ තත්වයට වඩා ගොඩක් පහල කෙනෙක් ඉස්සරහා, ඇරගොල්ලෝ එච්චර වටිනාකමක් දෙන තමන්ගේ ශරීරය නිරුවත් කරලා... අර මාලේ විතරක් දාගෙන ඉන්නේ ඒක හින්දා.. හරියට මාලේ වටිනාකමයි තමන්ගේ ශරීරයේ නිරුවතයි කියන එක කියන්න වගේ... එයා කරන්නේ අම්මගෙන්, අර බඳින්න ඉන්න කෙනාගෙන්, තමන්‌ෙග් නම්බුකාර සමාජයෙන් පලි ගන්න ජැක්ව යොදා ගන්න එක... රෝස් එතකම්ම හිතන්නේ තමන්ගේ වටිනාකම තියෙන්නේ තමන්ගේ ශරීරයේ සහ නිරුවතේ විතරයි කියලා... නමුත් ජැක් එතන හැසිරෙන විදිය නිසා තමයි රෝස් ජැක්ට ආදරය කරන්න පටන් ගන්නේ...

      නිකම් හිතන්න... බඳින්න ඉන්න කෙනානේ ඒ මාලේ එයාට දෙන්නේ.. රෝස් ඒක දකින්නේ හරියට මාලේට තමන්ගේ ශරීරය හුවමාරු කරගන්නවා වගේ... නිකම්ම නිකම් ගනුදෙනුවක් වගේ.. ඒ ගැන තියෙන තරහා නිසා රෝස් ඒ ගනුදෙනුව පහත් කරලා දානවා.. ඒකට පාවිච්චි කරන සංකේතය තමයි ජැක් කියන පහල පන්තියේ මිනිහා ඉස්සරහා තමන් නිරුවත් වෙන එක.. ඒ චිත්‍රෙන් කියන්‌නේ ඒ කතාව...

      Delete
    3. මමත් දැක්ක ගේ ඇතුලෙ එහාට මෙහොට යන ගමන්... හිරූ කියල තියෙනව වගේ හඬ කැවීමනං අජූතයි..

      Delete
    4. හප්පොච්චියේ, හිරු අක්කා දන්න දේවල් නැද්ද මං අහන්නෙ. බලාගෙන ගියාම ෆිල්ම් එක පිරවිලා තියෙන්නෙ සංකේත වලිම්මනෙ. මට ඒ ගැන නිච්චියක් උනේ නෑ ඒක තීවෘව කියවුනෙත් නෑ. සමහර විට හඩකැවීම නිසා ද දන්නෑ. :/ දැන් නම් හරි එක බලන්නම ඕන.

      Delete
    5. කොහොමත් ඉතින් ඇඩ් ගිය ටිකට එහාට මෙහාට ගිහින් මට නං එපා උනා සාතන් අයියෙ.. :/

      Delete
  2. මමත් විරුද්ධයි හඩකැවීමට.. මුලු ච්ත්‍රපටියම විනාස වෙලා තිබුනා ඒ හඩකැවීම නිසා.. සිරසේ හඩකැවීම් වලින් ස්කූබි ඩූ,කවුද බෝයි වගේ කාටුන් නම් සුපිරියි .. ඒත් ටයිතැනික් හඩකැවීම නම් ගන්න දෙයක් නෑ..

    ආදරේ ගැන කියනවා නම්... කෙනෙක් වෙනුවෙන් මැරෙනවට වඩා සෑහෙන්න අමාරුයි ඒ කෙනාගේ මතකයත් එක්ක ජීව්ත් වෙන එක .. එක පාර මැරෙනවා වගේ නෙමේ නැති උන කෙනාව මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ මැරි මැරී ඉපදෙද්දි දැනෙන වේදනාව .. රෝස් කියන චරිතය ඒ අපහසු දේ ජය ගත්තු චරිතයක් .. පොඩ්ඩ එහේ මෙහේ වෙද්දි වහ බොන අද කාලේ ජීවිත වලට ආදර්ශයක්.. :)

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි එක හරියාකාරව බලලා නැති නිසා මං හිතුවෙ සිංහල හඩකැවීම හොද ඇති කියලා. මදැයි. දැං කොහෙං හරි හොයාගෙන ඉංග්‍රීසි එක බලන්න ඕන. බලමු ඒකෙන්වත් මට උත්තර හම්බු වෙයි ද කියලා.

      Delete
    2. හ්ම්ම්.. ශරීරය නිරාවරණය කරන්නේ ඇ‍යි නොදන්නා කෙනෙක් ඉස්සරහ..

      මෙහෙමයි.. කෙනෙක්ව අවුරුදු දහයක් පුරා දැන ගන්නත් පුලුවන්, ඒ වගේම මිනිත්තු හතරකින් පහකින් දැනගන්නත් පුලුවන්.. ඔන්න ඕකට තමයි අර සංසාරගත බැඳීම කියන්නේ මම හිතන්නේ... ආදරේක වයස දවස් ගානින් මනින්න බෑ මම හිතන විදියට...අනික රෝස් ට හිතෙන්න ඇති තමන් ආදරය කරන කෙනාගෙ ඇහින් තමන්ව දකින්න .. ඒ කෙනාව පොඩ්ඩකට හොල්මන් කරන්න .. :)

      ළමයි හැදීමයි ඇත්ත ආදරෙන් කැමැත්තෙන් කෙනෙක් එක්ක ඉඳීමයි කියන්නේ දෙකක් ... මෙහෙමයි.. එකින් එක සිද්ධිය අරගෙන කපල කොටලා ඇනලයිස් කරන්න යන්නෙපා.. ජැක් රෝස් ගෙන් පොරොන්දුවක් ගන්නවා.. ඒ එයා නැති උනත් රෝස් දිගටම ජීවිතේ ගෙනියනවා කියලා.. තාපසියක් වගේ නෙමේ.. සාමන්‍ය කාන්තාවක් වගේ.. ඒ පොරොන්දුව උඩයි ජැක් ජීවිතේ පූජ කරන්නේ... තමන් ආදරේ කල කෙනා තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ රෝස්ට ජීවිතයක් දෙන්න නම් රෝස් ඒ ජීවිතේ කාලකන්නි කරගන්න එක වැරදී නේද.... එතකොට ජැක්ගේ පරිත්‍යාගයට මොකද වෙන්නේ.. ඒක නිරපරාදේ නාස්ති වෙනවා නේද .. රෝස් එයාගේ කථාව හම්බෙන හම්බෙන එක්කෙනා එක්ක කිය කිය ගියානම් ඒ කථාවේ වැදගත්කම මොකද්ද.. ඒක නිකන්ම අනුකම්පාව යදින ත්‍රික් එකක් විතරක් වෙනවා නේද.. අනික එයා එ වෙනකොට ගොඩ නාගෙන තිබුනු ජීවිතේ ඒකෙන් විනාස වෙනවා නේද.. මේ කථාවට අදාල නැති වෙනම පාර්ෂවන් හතරක් (රෝස්ගේ මහත්තයඉ ලමයිනුයී ඒකෙන් අපහසුතාවයට පත්වෙනවා නේද .. නමුත් අන්තිමේ.. හැම බැඳීමකින්ම නිදහස් උනාට පස්සේ රෝ ට ඕන වෙනවා හිතේ තියෙන දුක පිටකරන්න.. ඒකයි එයා ඒ කථාව කියන්නේ ...

      ජීවිතේ මල් ලියන බ්ලොග් එකේ තිබ්බා ආදරේ කපන්න කොටන්න ඇනලයිස් කරන්න ගියොත් අන්තිමේ ඉතුරුවෙන දෙයක් නෑ කියලා.. ලූනු ගෙඩියක් වගේ, පෙත්තෙන් පෙත්ත ගැලෙව්වම මුකුත් ඉතුරු නෑ.. ඒ නිසා වැඩිය හිතන්නෙපා :D

      Delete
  3. හඬ කැවීම ගැන කතා කරලා තිබුන නිසා මෙහෙමත් බෙදාගන්න හිතුනා. උපසිරැසි නිසා රූප වලින් 80%ක් මනසට ග්‍රහණය වෙන්නෑ කියලා කොහෙද මන්දා ලියලා තිබුනා මතකයි..ඒනිසා අප්සට් වුනත් හඬ කැවීම නිසා අපිට රූප වලට අවධානය යොමු කරන්න පුළුවන්..

    ආගන්තුකයගෙ සටහනේ අන්තිම අහලා තියන ප්‍රශ්න වලින් තේරෙන්නෙ සිනමාකරුවා කොච්චර සාර්ථකද කියලා..මේ වගේ හිතට වදින්න පුළුවන් සිනමා සිතුවමක් හදන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනද? චිත්‍රපටිය හදලා අවුරුදු 10කටත් වැඩි වුනත් එහි රසය තවමත් නැවුම්...

    ReplyDelete
    Replies
    1. ඔවු.. මාත් පිලිගන්නවා.. අම්මපා ඒ කතාව නං දැනුයි මගේ මොලේට ගියේ.. එක හුස්මට අහන් හිටියා නෙමෙයි, බලන් හිටියා කියලා මට දැනුයි තේරුනේ..

      Delete
  4. හ්ම්ම්......මම නම් බැලුවේ නෑ ඊයේ! ඉස්සර බැලුවට එච්චර මතකයක් නෑ! බලලාම කියන්නම්කො.....

    ReplyDelete
    Replies
    1. නාඩි අයියාත් මෙවුවා එකක් ලියන්නකො බලලා.. හි හි

      Delete
  5. හඩකවලා බලලා වැඩක් නෑ බං.. ඉතාලි කාරයොත් ෆිල්ම් පෙන්නනෙම හඩ කවලා.. හෙන චා සමහර එවුවා.. සමහර එවුවනම් හොදයි..

    ටයිටැනික් නම් සුපිරියි.. මාත් මාරම ආසාවෙන් බලපු එකක්..

    ReplyDelete
    Replies
    1. අයියාට නං මොකෝ බාසා කීයක් නං පුලුවං ද? හඩකැවීම් හොදයි ඉතිං අපි වගේ කඩු බැරි අයට. හයියෝ ඉංග්‍රීසි එක බලන්නම ඕනෙ දැං නං..

      Delete
  6. අනේ ඉතිං මුං සේරම ටයිටැනික් සිංහලෙන් බලලා. මං පවු ගෙවනවා

    ReplyDelete
    Replies
    1. හෑ මං පවු ගෙවනවා කිවුවෙ.. :/

      Delete
  7. /*මට තේරුම්ගන්න බෑ ඇත්තටම රෝස් ගෙ ආදරේ ඇත්ත එකක් ද බොරු එකක් ද කියන එක.*/

    උඹට පිස්සුද බන්... ආදරේ කියන එක ඔය අවශ්‍යතා, ගනුදෙනු කියන ඒව සරසන්න හදාගත්තු සංකල්පයක් වගේ එකක්... කැමති පැත්තකට හරවතෑකි... ආයෙ ඇත්තද බොරුද හොයන්න ගියොත් පිස්සන් කොටුවට යන්න වෙන්නෙ ;)

    නිකමට බලපන් රෝස්ගෙ ආදරේ ගැන දීල තියෙන ටෝක්... ජැක් ඉතුරුවෙලා කෙල්ල මලානම්, ඌ මිණිබිරියක් එක්ක ආපහු ඇවිත් කතාව කිව්වනම් මොකක් වෙයිද?..

    ReplyDelete
    Replies
    1. මට ඔය ආදරේ ගැන තේරෙන්නැත්තෙත් ඕක නිසාමද කොහෙද.. අම්මපා ජැක් බේරුනා නං මොනා වෙයිද නේ??

      Delete
  8. හෆ්ෆා... ටයිටැනික් මම ඔය හඬ කවපු එක බැලුවෙ නම් නෑ.. ඒත් ආරංචි වල හැටියටනම්, අජූතයි තමයිලු!!! අනික ඇඩ් තොගයක් දාගෙන එපා වෙනකම් පෙන්නුවාලු...

    ඒත් මම ටය්ටැනික් ඉංග්‍රීසි ෆිල්ම් එක බලද්දි මට හරිම දුක හිතුනා අන්තිම ටික නම් ... :(

    සුපිරි ෆිල්ම් එකක්!!

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කෙ.. මම ඔක්කොටම වඩා අගය කරේ කැමරාකරණය..

      Delete
  9. ඕකට උත්තරයක් රෝස් ම කියනවා නේද..?
    "woman's heart is like a ocean of secrets" කියල.
    එයාගේ ආදරේ අඩුවක් නෙවේ.මෙතැන තියෙන්නේ පිරිමි අය හිතන හැටියි ගෑනු අය හිතන හැටියි අතර තියෙන පරතරේ...

    ReplyDelete
    Replies
    1. එයා එහෙම කිවුවා කියලා නං මතකයි..
      හ්ම්ම්..
      ඇත්ත නේද..
      මේ ෆිල්ම් එකේ හැම තැනම සංකේත නෙ.. හයියෝ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....