Sunday, October 21, 2012

මට හොද මගේ පොටෝ 1

මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං. අපි තාම ඉතිං පුරුදු වෙනවා නෙ. මොකක්ම හරි කැමරාවක් ගත්ත දවසට බැරියැ මොකක් හරි කරගන්න. නැද්ද..

මේ පින්තූර වලට කියන්නෙ ලෑන්ඩ්ස්කේප්ද කොහෙද. මේක ගත්තෙ නම් උණවටුනෙ හවස් ජාමෙ. ලයිට්රූම් වලින් තමා මෙවුවා කරේ.




මිනිස්සුංගෙ හැසිරීම් රටා අරවා මෙවුවා ගන්න එකට මට ආස හිතිලා. ඇයි දන්නෑ. කොහොම හරි එවුවා Street Photography ලු. මං ඉතිං ඕන් ඒවයින් ටිකකුත් ගත්තා ඈ..





මෙවුවාට නං කියන එක දන්නෑ.. ඒත් මං ආසයි.. මේ ඉන්නෙ ප්‍රවීන වනජීවී ඡායාරූපශිල්පියෙක් වන ප්‍රසාද් හපුආරච්චි මහත්මයා




මිනිස්සුංගෙ මූනු ගත්තාම එවුවා පෝට්රේට්ස් ලු. ස්ටුඩියෝ එකක් නැතත් පාරෙදි හොරෙං වගේ ගහගත්ත එකක්. ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ද මන්දා. ආ ඔය ඉන්නෙ ඉසුරු අයියා. 





මේ ටිකේ මට පැනොරාමා පිස්සුවක් ගහලා. අනේ මන්දා, දන්නැද්ද ඉතිං. අර දිග පොටෝ.. ආං එවුවා.. ‍මෙවුවා නං ඔක්කොම පින්තූ‍‍රෙ ගානෙ ගහගෙන ෆොටෝශොප් වලින් සීරුවට පූට්ටු කරලා හදපුවා.. මේවාට ගොඩක් වෙලා ගියා වගේම ගොඩක් මහන්සි උනා


මේ උණවටුන මුහුද. පේන්නැත්තං මේක උඩ කොටන්න ඈ..
මේක ගාල්ල. මේ පින්තූ‍රෙ කලිං එක නං චා.  මේක මේ විදිහට හදලා දුන්නෙ ලක්ෂාන් හිරුමල් අයියා
මේක හදන්න නම් හොද පණ ගියා. මිනිස්සුංගෙ පැනොරාමා ගහනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් බව තේරුනේ මේක ගැහුවට පස්සෙ
ළගදි වෙඩිමකට ගිහින් ගැහුව එකක් පල්ලෙහා තියෙන්නෙ. මන්දා, මං ඒකට ආආසයි..




මේ ඉතිං ටිකක් හොද ඇති, නැත්තං නරකම ඇති. ඒත් ඉතිං ඔය මට පුළුවං තරම තමා. මොනා කොරන්නද, හැම එකක්ම කරන්න ආසයි කියලා පුළුවන් වෙන්නෙ නෑ නෙ. මෙතන තියන හැම පින්තූරයක්ම ගහලා තියෙන්නෙ ටොම් රූස්, ම‍ගේ හිතවතාගෙ කැමරාවෙන්. කැමරාව Canon 400D කාච - මිමි50.


(උස්සන්න නං එපා හොදේ, බොහොම අමාරුවෙන් පැය ගානක් මහන්සි වෙලා ගහගත්තුවා. ඕන උනොත් ඉල්ලන්නකො. මං හොද කොපියක් දෙන්නං, මෙවුවා කොහොමත් ෆේස්බුක් දාන සයිස් එකේ නෙ.)

Thursday, October 11, 2012

AL Project කරන්නෙ කොහොමද?

ගොඩක් උසස් පෙළ කරන අයට තියන ප්‍රශ්නයක් තමා මේ ප්‍රොජෙක්ට් එක කියන්නෙ මොකද්ද, මොකටද කරන්නෙ, අනේ කොහොමද මේක කරන්නෙ, කො‍හොමද මේ මගුලෙන් ගැලවෙන්නෙ කියන එක. තවත් එකක් තමයි මේ උසස් පෙළ අස්සෙ මොන ප්‍රොජෙක්ට් ද කියන එක. ඒත් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන නෙ. එකක් නෙමෙයි දෙකක්. ඔන්න ඉතින් මම හිතුවා අද කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ කියන එක කියන්න. ඊට කලින් කියන්න ඕන මේක නම් කියන්නෙ අනුන්ගෙ එකක් තමන්ගෙ කියලා 'කොපියක්' ගහන් 'වදෙන් බේරෙන්න' හිතන අයට නොවන වග.

උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අප‍තේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.

අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා.

තමන් විදින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.

මාතෘකාව තෝරගත්තාට පස්සෙ තමන් හිතන්න ඕන ‍කොහොමද මේක කරන්න කාලෙ වෙන් කරගන්නෙ කියලා. මෙන්න මේ කියන දේ තීරණය වෙන්නෙ තමන් කරන්න හිතන් ඉන්න දේ අනුව. මම උදාහරණ කීපයක් කියන්නම්.

උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,


  • මාතෘකාව තෝරාගැනීම
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
  • ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
  • දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
  • ව්‍යාපෘති වාර්තාව සෑදීම


උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,


  • මාතෘකාව තෝරාගැනීම 
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
  • ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
  • උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
  • ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා  පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕ‍න. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කන්න ඕන.


පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්‍. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
  1. ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
  2. අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
  3. පිදුම
  4. පටුන
  5. හැදින්වීම
  6. තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
  7. නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
  8. ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
  9. ආශ්‍රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
  10. ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
  11. වැරදි නිවැරදි කිරීම්
  12. කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. ‍මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.

මම පෞද්ගලිකව ආස නෑ අනුන්ගෙ දෙයක් මගේ විදිහට පෙන්නලා ළකුණු ගන්න. ඒ වගේම කෙනෙක් හෝ පිරිසක් විසින් ඉතාමත් සාර්ථකව ආරම්භ කරපු දෙයක් අස්සට ඔළුව දාලා ඒක තමන් කරා කියලා කියාගන්න. යමක් අපි කරනවා නම් අපි ඉස්සෙල්ලා අපිට අවංක වෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ දෙයක් පෙන්නලා ගන්න ළකුණු 20 ට වඩා තනියෙන් ගන්න එක ළකුණ පවා වටිනවා මට නම්. ඒත් තමන්, තමන්ටත් අනුන්ටත් වැදගත් යමක් ආසාවෙන් කරා නම් ඒ දෙයට උපරිම දේ ලැබෙන්න ඕන. ඒ නිසා තමයි මට ළකුණු 20 ක් ලැබුනෙ මගේ ව්‍යාපෘතියට. මට ඒ ගැන ගොඩක්ම සතුටුයි, ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි, ඒ හැම ළකුණක්ම මම ගත්ත නිසා.

මේ විදිහට සාර්ථක ප්‍රොජෙක්ට් කරපු අය ගැන පොඩි සදහනක්,
  • කාල තරණය - ශිරාන් ඒකනායක - ළකුණු 19
  • ලෝක විනාශය 2012, විද්‍යාත්මක මත විමසුම - පසිදු ද සිල්වා -ළකුණු 20
  • ශ්‍රී ලංකාවෙ මැණික් - රුක්ෂාන් සත්‍යානන්ද - ළකුණු 18
  • බාලදක්ෂිකා මෙහෙවර - දිනිති ගුණතිලක - ළකුණු 20
  • ශුද්ධ ගණිතය පිළිබද වැඩිදුර අධ්‍යයනය - තනුජ සෝමසිරි - ළකුණු 16
  • Medical Plants - යසස් වික්‍රමසිංහ - ළකුණු 18
  • හෙල ඔසු තතු - දිනාලි නල්ලපෙරුම - ළකුණු 19

ඒ කාලෙ ප්‍රොජෙක්ට් කරන්නෙ කොහොමද කියලා ඔළුව අවුල් වෙලා හිටි කාලෙ මට උදවුවක් ගන්න මේ වගේ කිසි දෙයක් තිබ්බෙ නෑ. තිබ්බෙ හතරට පහට නැමිච්ච පුංචි පත්‍රිකාවක් විතරයි. ඕන කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකකට උදවුවක් ඕන නම් මගෙන් ගන්න පුළුවන්. "ස්තුතියෙ" නම දාගන්න එකට වඩා කෙනෙක්ට අපි දන්න දෙයක් කියලා දෙය එක මට පෞද්ගලිකව ‍ලොකු ආත්ම තෘප්තියක්. ඒත් එක්කම මතක් කරන්න ඕන අපි (ඒ කියන්නෙ මමයි කීපදෙනෙකුයි) පටන්ගත්ත සාමාන්‍යපෙළ කෙටිසටහන් බ්ලොග් අඩවිය ගැන වැදගත් වෙන අයට දැනුම්දෙන්න කියලත්.

මගේ ප්‍රොජෙක්ට් එක : click here
ඕ ලෙවල් ශෝට් නෝට් බ්ලොග් එක :  http://olshortnote.blogspot.com/
ඕ ලෙවල් ශෝට් නෝට් පේජ් එක : https://www.facebook.com/OlShortNotes

ප.ලි. : ඇත්තටම මේක 2012 ලියපු එකක්. කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕන නම් එකට මැසේජ් එකක් දාන්න. වැඩත් එක්ක මේක බලන්න නම් ඇත්තටම වෙලාවක් නෑ.

https://www.facebook.com/jnsx3nds

Monday, October 1, 2012

Photo Meet 3 - ගාල්ල


Photo Meet කියන්නෙ ලක්ෂ ගාණක් ෆේස්බුක් එකේ තියන වැදගැම්මකට නැති ගෲප් අස්සෙ තියන සාමාජිකයො විශාල පිරිසක් ඉන්න Photo Talk කියන ගෲප් එකේ ඉන්න ෆොටෝ උණ ගහපු මිනිස්සු සංවිධානය කරන, ඒ ‍වගේම ෆොටෝ උණ තියන පිරිසක් සහභාගී වෙන එක්තරා විදිහක සුහද හමුවක් තවත් විදිහකින් දැනුම බෙදාගන්න තියන තැනක් වගේම ප්‍රායෝගිකව පින්තූර අරන් වැරදි අඩුපාඩු හදාගන්න අවස්ථාවක්. ඒ ඔක්කොටමත් වඩා ෆේස්බුකියෙ පොටෝ දාලා කමෙන්ට් කරන අයත් එක්ක හම්බුවෙලා කතාබහ කරන්න පුළුවන් වෙන හරිම අපූරු අවස්ථාවක්.

මේ පාර 3 වෙනි පාරට තමයි Photo Meet එක පැවැත්වුනේ. මම ෆොටෝ ටෝක් ගෲප් එකට සම්බන්ධ වෙලා මාස 5කට 6කට විතර පස්සෙ තමයි මේ ගැන දැනගන්න ලැබුනෙ. පළවෙනි මීට් එක කොළඹත්, දෙවනි මීට් එක නුවරත් තමයි තිබිලා තියෙන්නෙ. තුන් වෙනි මීට් එක තියෙන්නෙ කොහෙද කියලා Photo Talk ගෲප් එකේ පළ උනාට පස්සෙ මමයි සුරේශුයි තව කීප දෙනෙකුයි ගාල්ලෙ කරමු කියලා සද්දයක් දැම්මෙ. (එහෙම කොළඹම තියලා හරියනවැයි නැද්ද මං අහන්නෙ) කොහොමින් කොහොම හරි මුලින්ම කරන්න ඕන වෙලා තිබ්බෙ ගාල්ල පැත්තෙ හොද හෝල් එකක් හොයාගන්න එක. එක එක අය ඒ ගාන කිවුවත් අන්තිමට වැඩේ කරලා දුන්නෙ දැනට ලංකාවෙ වත් නැති "දිනේශ්" කියලා අයියා කෙනෙක්. 

කො‍හොම හරි මේ ගැන කතා උනේ අපි (මමයි සුරේශුයි) අගෝස්තු මාසෙ උසස් පෙළ ලියන්න සූදානම් වෙද්දි (මම පළවෙනි පාර ගණිත අංශයෙන්, සුරේශ් දෙවන වර කොමස් වලින්) මම පළවෙනි පාර ලියන නිසාත්, මැත්ස් වලින් ලියන්න ඉන්න නිසාත්, ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසාත් ඒ ටිකේ මට නම් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න උනේ නෑ. කොහොම හරි ඒ ලෙවලුත් ලියලා ඇවිත් බලද්දි ඒත් වැඩේ එතනමයි. කොහොම හරි මගේ කම්පියුටරෙත් කැඩිලා (කොහෙන් හරි ෆේස්බුක් එන්නත් එපායැ) අදුරන තැනක ඔන්ලයින් ආවාම සුරේශ් අහපි, "ඒ බං මේ උඹට පුළුවං ද බස් එකක් හොයාගන්න" මාත් ඉතිං පුළුවං එකා වගේ "හා හා මම තාත්තාටත් කියන්නං. අදුරන අය ඉන්නවා හොයාගන්න පුළුවන්" කියලා කිවුවෙ නැතැයි. එතනින් සම්බන්ධ උනාට පස්සෙයි තේරුනේ මේක කොච්චර බරපතල වැඩක් ද, කොච්චර වගකීමකින් කරන්න ඕන වැඩක් ද කියලා.

රිච්මන්ඩ් එකේ ඉන්න කාල මගේ සගයන් එක්ක මැච් ඕගනයිස් කරලා, හවුස් කැප්ටන්සි කරලා ඒ ලබාගත්ත පන්නරයත්, ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉදලා සමාජෙ ගැනත්, වැඩක් කරගන්න පුළුවන් තැන් ගැනත්, මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕන විදිහ ගැනත් ලබාපු දැනීම ලොකු පන්නරයක් උනා. ඒ කෙසේ වෙතත් අපි වැඩිපුරම ටවුමෙ කරක්ගැහුවෙ අපේ තාත්තාගෙ මෝටර් සයිකලෙන් (සුරේශයාව දාගෙන ආම්බාන් කරන්න අමාරුයි වැනෙනවා ) ඒ කොහොම වෙතත් ඕකෙන් ගිහින් සමරු පලක හෙවුවා, බත් කඩ ගානෙ ඇවිද්දා, එක තැනකිං බෑ කියද්දි තව තැනකිං ඇහුවා. ඔහොම දවස් දෙක තුනක්ම බයිසිකලෙන් කරක්ගැහුවා. පස්සෙ අපේ හිතාදර බනියා නොහොත් අනුශ්ක ලක්මාල් කෑම වැඩේ බාරගන්නම් කියලා කිවුවා. ඒකත් එහෙම කෙරෙද්දි මං අදුරන අංකල් කෙනෙක්ගෙ මාර්ගයෙන් අනිත් තැන් වලට සා‍පේක්ෂව ලාබෙට ලොකු බස් එකක් දවසකට ගන්න පුළුවන් කමක් ලැබුනා.

Saturday, August 25, 2012

කියම් කෙසේ අප හැරයම්දෝ කියලා..

ආදරණීය පාසල් දිවිය, ඉදින් අවසරයි ඔබ ඇකයෙන් සදහටම නික්මෙන්නට තව දින 4 කුත් හෝරා කිහිපයකින්. සන්සුන්ව තිබූ සිතිවිලි සයුර කැලඹී ඇත. නිසසල සිතුවිලි රුදුරු රළ බවට පත්ව හදවතේ බිත්ති කඩාබිද එලියට ඇදෙන්නට තනයි‍. සියල්ලට වගකිවයුත්තා නුඹ ය. නුඹ අපට මෙතරම් සෙනෙහසක් දැක්වූයේ ඇයි? මෙතරම් ආදරයෙන් අප බලාකියාගත්තේ ඇයි? ඔබට මෙතරම් සමීප කරගත්තේ ඇයි? ඇයි...?

1 වසරේ තිබුනු ටයර් පේලිය.. එකක් උඩ නැගී අනෙකට පනිද්දී දැනුනු ඒ සතුට.. ටීචර්ලා එක්ක උදේට එලියට ඇවිදින් ගාථා මුමුනද්දී ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක්ට හොරෙන් ඇගිල්ලෙන් ඇන දැනුනු ප්‍රීතිය.. ආයෙ කොයින් ද?

2 වසරේ සීරුවට වැලි අතුරා තැනූ ඒ මේස මත ඇන්ද අකුරු ඉලක්කම්.. ඉන්ටවල් බෙල් එක ඇසුනු ගමන් පෙලක් දුවගෙන යන සීසෝව.. චිරි චිරි ඔන්චිල්ලාව‍.. ආයෙත් කොයින් ද?

3 වසරේ උදේ රැස්වීම.. පොරකාගෙන දුවගෙන යන පුංචි ටැප් එක.. අල්ලන සෙල්ලම් කරන්න කදිම තැනක් උන බාගෙට හදපු කණ්නංගර ශාලාව.. ආයෙත් කොහෙන්ද?

4 වසරේ බිල්ඩිම, උදේම ගහගත්ත ප්‍රිෆෙක්ට් බැජ් එක, වැස්ස වෙලාවට තාලෙට වතුර ගලාගෙන යන කාණුව.. ඔළුව ලේ විලක් කරපු මලකඩකාපු කොණ්ඩිපට්ටම.. ආයෙත් කොහෙන්ද?

5 වසර උඩ තට්ටුව, උදේම ඇවිත් බලපු සිරීපාදෙ.. හවස නැවතිලා ශිෂ්‍යත්වෙට කරපු පාඩම්, පළවෙනිම සාහිත්‍ය සමිතිය.. ආයෙ කොයින් ද?

6 වසර මෙලෝ දෙයක් නොතේරුන ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය, කන්දත් එක්ක තිබ්බ ටොයිලට් එක, ලෙදර් බෝල හංගපු පුංචි සිදුරු.. එන්න තිබ්බ හොර පාර.. ආයෙත් කොයින් ද?

7 වසරෙ තනිවුන පන්තිය.. එහාපන්තියෙ අයියලා.. උදේම කොරිඩෝවෙ ගහපු ෆුට්බෝල් මැච් එක.. දෙන්න කලිං සිංහල පොතේ වැඩ කරන් ඇවිත් මිස් ගෙන් චෙස් අදින්න කරපු ඇවටිලි..ආයෙ කොයින් ද?

8 වසරෙ පී.ටී. පීරියඩ් එක.. සාහිත්‍ය සමිතිය.. කවි.. සින්දු.. කතන්දර රගපාපුවා.. පන්ති කට් කරන් ගිහින් මියුසික් රූම් එකේ කියපු සින්දු, අල්ලපු අඩවු.. ආයෙ ‍කොයින් ද?

9 වසරෙ තිබ්බ පොකුණ.. උදේම ඇවිත් මාළු දිහා බලන් උන් හැටි.. තාලෙට තිබ්බ පඩිපේලි උඩින් දුවපු අපූරුව.. උදේ අතුගෑම ලෝකෙ ලොකුම කාරිය උනු කාලෙ.. ආයෙ කොයින් ද?

10 වසරෙ උඩුමහල.. තාරපාර දිගේ යන ගෑණු ළමයි බලන්නම හදාපු කොරිඩෝව.. විටින් විට ඇවිත් කෑගහලා යන ප්‍රිෆෙක්ට් අයියලා.. ඉවරවෙනකන් බලන් හිටපු හිස්ට්‍රි පීරියඩ් එක.. ආයෙ කොයින් ද?

11 වසරෙ අයිනෙ පන්තිය.. අතුගාන්න තිබ්බ ලොකු ප්‍රමාණෙ.. යටින් තිබ්බ අයිටී රූම් එක.. අයිටී පීරියඩ් එකේ ඉබේම වගේ ගැලවුන සපත්තු.. ගහගත්ත වතුර, කොළගුලි.. උස්සන් දුවපු පොලු.. කියපු කියුම්.. නටපු නාඩගං..

12 13 වසරෙ හිටි ප්‍රධාන ශාලාව, ලෙක්චර් රූම් එක.. ආදරණීය L ශාලාව.. ප්‍රැක්ටිකල් ලැබ් එක.. හෙල්ලුවාම තාලෙට පැද්දෙන ස්ලිංකිය, නාස් මට්ටමේ ඉදලා අත්තැරියාම නාහෙ ගෑවි නොගෑවී ගිය සරළ අවලම්භය, ග්‍රීස් ගාලා වතුර නවත්තපු සර්ල් එක.. කම්මැලියි කියලා පැත්තකට දාපු ජෙගර් එක.. පීරියඩ් එකේ පැය ගාණක් ෆෝකස් නොවුන, ප්‍රදර්ශනේ තප්පර 10 න් ෆෝකස් උන චල අනිවීක්ෂෙ.. නිකං ඉදිද්දි පිඹ පිඹ හිටි එක් කෙළවරක් සංවෘත නලය.. සරසුල් සෙට් එක.. කුණු ගද ගහපු එස්ටරේ.. වාතයේ තිබ්බ ඔක්සිජන් පරිමාව.. උරන්න ගිහින් කටට ගිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවනේ.. ‍ආයෙ කොයින් ද? උදේ පාන්දරින් කට්ටිය රැස් උන ප්‍රිෆෙක්ට්ස් රූම් එක ආයෙ කොයින්ද?


අපිට උගන්නපු රත්තරං මිස් ලා සර් ලා ආයෙ කොයින් ද?

අපේ යාළුවොත් එක්ක ගෙවපු ඒ සුන්දර අතීතේ ආයෙ කොයින් ද?

කෑගහගත්තුවා.. බැනගත්තුවා.. රණ්ඩු කරගත්තුවා.. ගහගත්තුවා.. ආයෙ කොයින් ද?

අපි දැන් පිට මිනිස්සු..

අපිට ඉතුරු ඒ සුන්දර අතීතෙ විතරයි..

මිස් ගෙ අතින් ලැබුන ඇඩ්මිශන් එක

හැමෝම මලු සූදානම් කරනවා.. යන්න.. ආයෙ මේ විදිහට නොඑන්නම..


කියම් කෙසේ අප හැරයම්දෝ කියලා.. මා ආදර පාසල් දිවිය මගේ.. 


ප.ලි. : පාසල්කාලයේ සිද්ධ උන සුන්දර - අසුන්දර අත්දැකීම් ටික ගැන ඉදිරියට ලියනවා‍.

Friday, May 4, 2012

Mod උන සිංහල බෞද්ධ කම

මේ ලිපිය ලියන්න හිතුවෙ අද කාලෙ මිනිස්සු බොහොමයක් "බෞද්ධකම" කියලා කියන දේට අලුත් අලුත් අර්ථකතන දෙන්න පටන් අරන් තියන නිසාමයි. ඒ දේ වෙන්නෙ කටින් නෙවෙයි, ක්‍රියාවෙන්. ඇත්තම කිවුවොත් මේ දේවල් මෙහෙම වෙලා කියලා කියන්නත් දුකයි. ඒත් නොකිය ඉන්න හිතෙන්නෙත් නෑ මේ 2601 වෙනි බුද්ධ ජයන්තිය ලබන්න තියන වෙලාවෙ. ඇත්තෙන්ම මම අවධානය යොමුකරන්න බලන්නෙ තරුණ පරපුර ගැන විතරක් නෙවෙයි. මුළුමහත් ජනසමාජෙම ගැන. ඇත්තෙන්ම කියනවා නම් "බුද්ධ ධර්මය" නැතුව "බුද්ධ දර්ශනය" අනුගමනය කරන මිනිස්සු හීන වේගෙන යන කාලෙකදියි මේ ගැන ලියන්නෙ.

හෙට වෙසක්. වෙසක් කියලා මොනවාද අපි කරලා තියෙනනෙ? කූඩු හදලා... බල්බ් වැල් දාලා.. සරසලා.. සමහරු කූඩු නැතුව බකට් ගෙනල්ලා.. ඉටිපන්දම් ගෙනල්ලා.. සමහරු පුංචි පහේ තොරන් හදලා.. සමහරු කරන්න දෙයක් නැති කමට වෙසක් ලබද්දිම පබ්ලිශ් කරලා කට්ටියව ටැග් කරන්න "සුභ වෙසගක් වේවා" කියලා පින්තූර හදලා. ඇත්තටම වෙසක් කියන්නෙ මේකද? ටිකක් හිතලා බලමු‍. කවුද මේ වෙසක් කියන එක වෙන විදිහකට දැක්කෙ? අපි බැබලෙන්න කරන මේ දේවල් නැතුව අසරණ මනුස්සයෙක් බබලවන්න අපි එක දෙයක් වත් හිතුවා ද? අපි බලමු. වෙසක් කියන්නෙ මොකද්ද? බුදුහාමුදුරුවන්ගෙ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම.. ඇත්තටම මේ  දෙයින් කියවෙන්නෙ මොකද්ද කියලා කවුද හිතුවෙ?

"අඩෝ දන්සලක් වදින්න යමං.. ගිහින් ෆුල් ෆන් එකක් ගමු"

මේකද වෙසක් කියන්නෙ? ඇත්තෙන්ම වෙසක් කියලා හදුන්වන්න බුළුවන් "අනිත්‍යතාවය" කියන සංකල්පයට තියන හොදම උදාහරණය විදිහට. මේ ලෝකයට පහල වෙලා, මේ ලෝකයේ තියන හැම දෙයක්ම අවබෝධ කරගෙන බුදු බව ලබාපු බුදුන් වහන්සේත් මේ වගේ දවසකම තමයි පිරිනිවන්පෑවෙ. කොච්චර උතුම් පුද්ගලයෙක් උනත් අන්ති‍මේදි ඉතුරු වෙන්නෙ අන්ත්‍යතාවයම තමයි. අපි හැමෝම මැරෙනවා. ඒ දෙයයි ඇත්ත. සමාජයේ අපිට දකින්න ලැබෙන ප්‍රායෝගික "ඇත්ත" මොකද්ද කියලා බලමු පොඩ්ඩක්.

"වෙසක් දවසට යන්න ඕන වෙසක් බලන්න. නිකන් නෙමෙයි හොද කැමරාවක් එක්ක. හැම එකකම පින්තූර ගන්න ඕන. නිකන් නෙමෙයි තමන් වෙසක් කූඩු ඉස්සරහා ඉදගෙන එහෙම. යාළුවො සෙට් එක එකට එකතු වෙලා කරට අතදාගෙන එහෙම. ගෙදර කන්න තියෙද්දි යන්න ඕන දන්සැලකට. ගිහින් පෝලිම පැනලා දන්සල් බත් කාලා ෆන් එකක් ගන්න ඕන. ඒ ඔක්කොම පින්තූර අරගෙන එදා රෑට ඇවිත් ෆේස්බුක් දාන්න ඕන. ඒ ඇල්බම් එක නේම් කරන්න ඕන "I am proud of being a Buddhist" කියලා. ඒක තමයි තරුණ කම කියන්නෙ."

කොච්චර නම් මුක්ධ ද? කොච්චර නම් පිළිකුල් සහගත ද? වෙසක් දවසට වෙසක් කූඩු හදලා තියනවා දකිද්දි, තොරන් ඉදි වෙලා තියනවා දකිද්දි, දන්සල් දෙනවා දකිද්දි ද බෞද්ධයන් කියන එකේ ආඩම්බරකමක් දැනෙන්නෙ? "ෆුල් ෆන්" එකක් ගන්න තියන නිසා ද වෙසක් දවස අර්ථවත් වෙන්නෙ? නැත්නම් වෙසක් එකක් තියනවා ද කියලාවත් මතකයක් තියනවාද? දන්සල් වදිද්දි, තොරන් බලද්දි කල්පනා වෙනවා ද වෙසක් කියන එකේ අර්ථය මොකද්ද කියලා? ඒ තරුණයන්.

"අනේ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාණන් වහන්‍සේ ඉපදුන, බුදු උන, පිරිනිවුන දවස. ළමයිනේ වරෙල්ලා මාත් එක්ක සිල් ගන්න. උදේ පාන්දරම යන්න ඕන. නැත්තං කණුවක් හරි මුල්ලක් හරි අල්ලගන්න වෙන්නෙ නෑ. උදෙන්ම ගිහින් ඉන්න ඕන. දවසම ඉන්නත් එපායැ."

මේ වයසක, සිල් ඇත්තො කියලා හිතන් ඉන්න අය. මේ අය උදෙන්ම ගිහින් මුල්ලක් අල්ලගෙන නිදාගන්න එක තමයි සිල් ගන්නවා කියලා අදහස් කරන්නෙ. 

"අප මහා සම්මාසම්බුදුරජාණන් වහන්සේ..."

"සාදු සාදු සාසාසාදු..."

මොන විකාරයක් ද ඇත්තටම? නිදාගෙන ඉන්න තැනින් ඇහැරිලා සාදු සාදු කියලා බෙරිහන් දෙන්නෙ "බුදුහාමුදුරුවො" කියන වචනෙ ඇහෙද්දි. ආයෙමත් හොදට නිදි. ඇත්තටම වැඩක් තියනවා ද මේ දෙයින්. සිල් ගන්නවා කියලා කියන්නෙ එක දවසකට හරි ගිහි ගෙයින් නික්මයාමක්. නිස්කලන්ක පරිසරේක බනක් භාවනාවක් කරගෙන, ධර්ම සාකච්ඡාවක අර්ථවත්ව යෙදිලා, නොදන්න ධර්ම කරුණු, තමන්ට ගිහි ජීවිතේ ගැන තියන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නෙ කීයෙන් කීදෙනාද? "මුලාව, ඇලීම, ගැටීම" කියන මේ දේවල් වලින් මිදෙන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද? මේ ලෞකික සැප ගැන නොහිත මොහොතක් ඉන්න අපිට පුළුවන් ද? අපි අපෙන්ම අහලු බලමු.

"ඇත්ත" ගැන කතාකරමු. වෙසක් පොසොන් එද්දී ඉස්සෙල්ලාම දන්සැල් දෙන්නෙ එක්කො හොද ලොකු "මස්කඩකාරයෙක්" නැත්නම් ලෝකෙ නැති වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහ ගත්ත "කළුකඩකාරයෙක්" ඔවුන්ගේ "පවු සමාකරගන්න". ඒත් ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තියනවා. ඔවුන් කරන කර්මය අනුවයි විපාක තීරණය වෙන්නෙ. අහෝසි කම්මයක් නොවුන හැම දෙයක්ම කවදා හරි අපිට පඩිසන් දෙනවා. තමන් සල්ලි හම්බුකරන්න කරපු "පවු" වල විපාක ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම ඔවුන් දෙන දන්සැල දෙන්නෙ ඇත්තටම අනිත් මිනිස්සු වෙනුවෙන් නම් ඔවුන්ට ඊට අදාල විපාක ත්, ඒ නැත්නම් ඔවුන් ඒ දේ කරන්නෙ "පවු සමාකරගන්න" නම් ඊට අදාල විපාකත් නොවරදවාම ලැබෙනවා. ඒ කෙසේ වෙතත් දන්සැල වැදලා එන කෙනෙක්,

"ඕකා ලෝකෙ නැති දහදුරා වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහගෙන ඉන්නෙ. මිනිස්සුන්ගෙ සල්ලී හූරගෙන කාලා දැන් සුදනා වෙන්න හදනවා. ඕකුන්ට දන්සැල් එකක් නෙමෙයි දාහක් දෙන්න සල්ලි තියනවා."

කිවුවාම ලැබෙන්නෙ හොද ආශිර්වාදයක් කියලා මම නම් පිලිගන්නෙ නෑ. 

තවත් දෙයක්. ගොඩක් අයට අපි "බෞද්ධයො" කියලා මතක් වෙන්නෙ පෝය දවස එද්දි. ගොඩක් තරුණයො එහෙම අනිවාරියයෙන්ම පෝයට හොද ලොකු පන්සලකට යනවා යාළුවො එක්ක. වෙන මොකකටවත් නෙමෙයි. පින් දහම් කරගන්න ආපු "රූපසුන්දරියොන්ගෙ රූසපුව" දැකලා ඉන්ද්‍රියන් පිනවගන්න. ඒ කිසි කෙනෙක් බන කියද්දි පන්සලට වෙලා ඉන්නෙ නෑ. පෝය දවසෙ ඉස්සෙල්ලාම පන්සලට ගිහින් "ඇස" පිනවගෙන පස්සෙ ටවුමට ගිහින් "ඇස, කණ, දිව, නාසය" පිනවගන්න අමතක කරන්නෙ නම් නෑ බොහෝ දෙනෙක්. 

අපි බෞද්ධයො වෙන්න ඕන පෝය දවසට විතරක් නෙමෙයි. අපි හැමදාමත් බෞද්ධයො. අනිත් මිනිහෙක්ගෙ දුකකදි හිත උණු නොවෙනවා නම්, වැඩිහිටියෙක් කියන දේකට අවනත නොවෙනවා නම්, අපේ ඉන්ද්‍රියන් පිනවගන්න විතරක් ලොල් වෙලා නම්, අඩු තරමෙ පන්සිල් වල එක සිල් පදයක්වත් ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ ඔක්කොම එහෙම වෙද්දි ලෝකෙට පේන්න සිල්වතෙක් වෙලා හවසට බුදුන් වදිනවා නම් ඒ කෙනා බෞද්ධයෙක් ද?

අපි මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් පින් රැස් කරගෙන. ඒ පිනට අර්යක් දෙන්න උත්සාහා කරන්නෙ නැත්නම් අපි අපිටම කරන්නෙ ලොකු වංචාවක්. අපි රවට්ටන්නෙ ලෝකය නෙවෙයි, අපිවමයි.

ඒත් එක්කම කියන්න ඕන නියම බෞද්ධයො විදිහට ජීවත් වෙන රත්තරං මින්ස්සු මේ සමාජයේ ඉන්නවා. මඩේ ඉපදිලා, ඒ මඩේම හැදිලා වැඩිලා, ඒ මඩෙන් උඩට ඇවිත් මුළු ලෝකෙම සුවදවත් කරන ඒ මිනිස්සුන්ට ආගන්තුකයාගෙ උත්තමාචාරය..!!!

සියළු දෙනාගේම සිතේ පහන් සිතුවිලි ජනිත වන වෙසගක් වේවා..!!!


ප.ලි. : මේක කියවන බෞද්ධයන් නොවන අනිත් අයට ත් මේ දේ වැදගත් වෙයි කියලා හිතෙනවා සමහර විට. මොකද "බෞද්ධකම" කියන දේ ගොඩක් පිවිතුරුයි. ඇත්ත "බෞද්ධයො" ඔවුන්ගේ බෞද්ධකම ක්‍රියාවෙන් ඔප්පු කරයි..