Wednesday, December 26, 2012

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි


සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x 40 ප්‍රමාණයෙ පින්තූර 3ක් අරන් එන්න කියලා ලිවුමෙ ගහලා තිබ්බා. ඕක දැක්ක අම්මාත් කිවුවෙ ගාල්ල ටවුන් එකට ගිහින් පින්තූරයක් ගහන් එන්න කියලා තමා. ඒත් ඉතින් මම ඒ අදහසට නම් එක හෙලා මගේ විරෝධතාවය ප්‍රකාෂ කරා. මම අම්මාට කිවුවෙ මම ම පින්තූරයක් ගහගන්නං ඔච්චර සල්ලි වියදං කරන්න ඕන නෑ කියලා.

කලින් නොකරලා තිබ්බත්, ජීවිතේ පළවෙනි වතාවට මමත් මගේම මිලිමීටර් ගානක චූටි පින්තූර කෑලි දෙකක් ගහගන්න සූදානං උනා. (එක අතකිං ලැජ්ජාව වහගන්නත් ඕන නෙ ඉතිං දන්නැද්ද..) Portrait Photography ගැන වැඩි දැනුමක් අවබෝධයක් නොතිබ්බත්, ළගදි බලපු Canon Speed Light Tutorial එකේ තිබ්බ ආලෝක පාලනය ගැන චූට්ටිත්තක් ඔලුවට ගිහින් තිබ්බෙ. අනික ඉතින් ඔය චූටි පින්තූර කෑල්ල එච්චර උසස් මට්ටමේ තියෙන්න ඕනත් නෑ නෙව! අනික තමා ස්ටුඩියෝ එකට ගිහින් ගහන පින්තූර වල මොකක් හරි ඇදයක් තියනවා. මට ඉන්න හිටින්න තේරෙන්නෑ ඒ මිනිස්සු කියන හැටියට. වෙලාව කියන්නෙ අපේ උඩ ගෙදර හිටි අයියා කෙනෙක් ගාව Canon 450D කැමරාවකුයි 50mm Portrait Lens එකකුයි තිබ්බා. අපේ අම්මාගෙ අවුරුදු තිස් ගාණක් පරණ ත්‍රිපාදය (Tripod) එකත් අරගෙන ඒකට හයි කරලා එහෙම මමත් වැඩේ පටංගත්තා‍. පාවිච්චි කරපු ජාති,

* Canon 450D කැමරාව
* 50mm Portrait Lens එක
* අම්මාගෙ Tripod එක
* සීලිමේ තිබ්බ ලයිට් එක
* හිච්චි කණ්නාඩි කෑල්ලක්
* හෝල්ඩරයක් හයි කරපු ප්ලග් කරන්න පුලුවන් වයර් කෝඩ් එක (තාත්තාගෙ නිශ්පාදනයක්)
* බල්බ් එකක්

ඉස්සෙල්ලාම කරේ හොදට එලිය වැටිලා තියන තැනක් හදා ගත්ත එක. පුටුවක් එහෙම තියලා ඉස්සරහින් ‍ට්‍රයිපොඩ් එක හයි කරපු කැමරාව තියලා ඉතුරු ආම්පන්න මේ විදිහට හදාගත්තා. (කැතයි හොදේ මට අදින්න තේරෙන්නෑ :/ )


ඔන්න ඔය විදිහට තමයි තිබ්බෙ. අහ් තව එකක්. අර කැමරාවෙ තිබ්බෙ පොප් අප් ෆ්ලෑශර් එක. ඒකෙන් කිසිම පාලනයකින් තොරව ඩෝං ගාලා මූණට එලිය වදිනවා. එහෙම ගත්තාම මූණ විකෘති වෙනවා. අවශ්‍ය දත්ත මැකිලා යනවා. ඒක වෙනස් කරන්න තිබ්බ එකම විදිහ තමයි අර පුංචි කණ්නාඩි කෑල්ල. සාමාන්‍යයෙන් සුදු පාට මතුපිටකට ආලෝකය වැටුනාම ඒක පරාවර්තනය වෙන ප්‍රතිශතය වැඩියි වගේම ඒ පරාවර්තනය වෙන්නෙ මෘදු ආලෝකය (soft light) ලු. සිවිලිමත්, පැත්තෙ තිබ්බ බිත්තියත් සුදු පාට වෙච්ච නිසා ඒක හොද වාසියක් උනා වැඩේට. දැන් ඉතින් කරන්න තියන වැදගත්ම දේ. ඒ තමයි ඉතිං පින්තූරෙ ගන්න එක. කැමරාවෙ සෙටිංග්ස් මැනුවල් කරලා, එක්ස්පෝශර් එක හරියට හදලා (Shutter Speed, Aperture, ISO) ටයිමර් එක එහෙම හරියට දාලා ඉදලා පින්තූරයක් දෙකක් ගහගත්තා ඒත් අර මූණට වදින නිසා හරියන්නෑ. පස්සෙ තාත්තාට එන්න කියලා ෆ්ලෑශර් එකේ ආලෝකෙ උඩ සීලිමට එල්ල වෙන විදිහට කණ්නාඩි කෑල්ල අල්ලන්න කියලා පින්තූර දෙක තුනක් ගහගත්තා කියමුකො.


වැඩේ කියන්නෙ හොද හැටි හිටපු පින්තූරෙ බෙල්ල මොකද්ද විකාරයක් කරගෙන ඉන්නෙ. ඉතිං බෙල්ල ඇදයි, මූණයි ඇගයි කෙලින්. දැන් ඉතින් මොකෝ කරන්නෙ, ඔන්න ඔය වෙලේට තමා ඉතින් මගේ හොද මිත්‍රයා ෆොටෝශොප් සිහියට ආවෙ. ඉස්සෙල්ලාම කරේ බෙල්ල කදෙන් වෙන් කරපු එක. පස්සෙ බෙල්ල මූණෙන් වෙන් කරා. පස්සෙ බෙල්ල ඕන විදිහට හරවලා, වැඩි කෑලි කපලා, අඩු කෑලි ඔබලා එහෙම ගත්තා. ඒත් ඉතින් හරියන්නෑ වගේ. පස්සෙ ගූගල් එකේ සර්ච් කරලා ස්ටුඩියෝ එකක පසුබිමකුත් දාලා මූණෙ අදුරු වෙලා තිබ්බ තැන් ටික අර Dodge Tool එකෙන් හදලා, ඔය පේන්න තියනවා වගේ වෙන්න පින්තූර කෑලි 8ක් ම ප්‍රින්ට් කරගත්තා. කොයි වෙලේත් ඔන් වෙලා තියන කම්පියුටරේ කරන්ට් බිල ඇරුනාම වෙනදා කොහොමත් ටවුන් යන එකේ තාත්තාගෙ බයික්කෙ එල්ලිලා ගියපු පෙට්‍රල් ටික ඇරුනාම ප්‍රින්ට්අවුට් එකට ගියේ රුපියල් 20යි.



ප.ලි : මේක කියවන අය හිතන්නෙපා මේවගේ වැඩක් කරගන්න DSLR ම ඕන කියලා. Point and Shoot කැමරාවක ෆ්ලෑශර් එකට අර මෙවුවා එකක් අල්ලලා මූනෙ තැන් වලට එලිය එන විදිහට හදාගත්තා නං මේ වගේ චූටි පින්තූරයක් ලොකු ලාභයක් එක්ක ගෙදරදිම ගහගන්න පුළුවං. 

Titanic විචාරය වගේ එක


මේක ලියන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් අද Titanic ෆිල්ම් එක මුල ඉදන් අග‍ වෙනකං හොදට බලං උන්නා සිරසෙ පෙන්නපු නිසා. පැය ගානක් දිග කතාවක් උනත් එක හුස්මට බලන් ඉන්න පුළුවන් විදිහට හදලා තියන එක ගැන නම් විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ කතාවෙ ජන සමාජෙ විවිධ පැතිකඩ ගණනාවක් වගේම මිනිස්සුං‍ගෙ හැගීම් ගැනත් ලස්සන ආදර කතාවක් ගැනත් මතු කරලා තියන විදිහ අපූරුයි. පොඩ්ඩක් බනින්නත් තියනවා. ඒවා පස්සට දාමුකො.

ජැක්, ජීවිතේ හරි නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන තරුණයෙක්. ‍‍රෝස්, තමන්ගෙ පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න අකමැත්තෙන් උනත් විවාහයකට කැමති වෙච්ච තරුණියක්. දෙන්නාගෙ ආදර කතාව ගැන කියන්න තියන ජාති පස්සට දාලා ඉස්සෙල්ලාම අනිත් ටික කියලා දැම්මොත්‍ හොදයි කියලා හිතුනා. මේ චිත්‍රපටියෙ ප්‍රධාන තේමාවක් විදිහට මම දකිනවා සමාජයෙ විවිධත්වය. ඒ කියන්නෙ පන්ති භේධය‍. උසස් පන්තියෙ මිනිස්සු තමන්ගෙ පන්තිය ආරක්ෂා කරගන්නෙ ඇගට හිර වෙච්චි ඇදුම් ආයිත්තම්, ඉහල පැලැන්තියෙ සාද, කථා කරන විදිහ, ආශ්‍රය කරන මිනිස්සු, ලොකු කම් කියවනවා වගේ ‍දේවල් වලින්.  පහල පන්ති වල මිනිස්සුන්ට එහෙම විශේෂයක් නෑ. සූදු කෙලින්න, බීර බොන්න, හිනා වෙන්න, ඕන ඕන විදිහට නටන්න, සින්දු කියන්න, යාලුවො එක්ක විනෝදෙන් ඉන්න එක ඒ අයගෙ පන්තියෙ ගතියක් විදිහටයි ඉස්මතු කරලා තිබ්බෙ නම්.

චිත්‍රපටියෙ මුල් කොටසෙදි වෙන්නෙ ‘රෝස්’ කිසිම කැමැත්තකින් නොවුනත් ටයිටැනික් නැවට ගොඩවෙන එක. ඒත් එක්කම සූදු කෙළලා දිනාගන්න 3 වෙනි පන්තියෙටිකට් එකකින් ජැක් අන්තිම මොහොතෙදි ජීවිතේ දිනන බලාපොරොත්තුවෙන් නැවට ගොඩ වෙන එක. රෝස් කොච්චර මානසික පීඩනේකින් ඉන්නවාද කියලා කියනවා නම් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න පවා උත්සාහා කරනවා. ඒ වෙලාවෙ මේ තුන් වෙනි පන්තියෙ තරුණයා ඉදිරිපත් වෙලා ඇගේ ජීවිතේ බේරගන්නවා. ඇත්තෙන්ම කිවුවොත් ඒ තරුණයා ඇගේ ජීවිතේ බේරන්නෙ සීතල වතුරෙ ගිලුනාම කොච්චර දුක් විදලා මැරෙන්නද වෙන්නෙ කියන එක කියලා අන්තිමේ ඇය පැන්නොත් තමුනුත් පනිනවා කියලා. ජීවිතේ තමුන් එක වතාවක් පමණක් දැක්ක කෙනෙක් වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙන්න ඇයි කියන එක මට තේරුම්ගන්න බැරි දෙයක්. “පළවෙනි බැල්මෙන් ආදරයක් ඇති වෙනවා” කියන කාරනාව ඇත්තම කිවුවොත් මම විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව අපි ඉස්සෙල්ලාම කෙනෙක්ව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඒ කෙනාගෙ හිත දකිනවා කියලා. ඇත්තෙන්ම පළවෙනි වතාවට දැකීමෙන් අදහස් වෙන්නෙ අපි ඒ කෙනා‍ගෙ රූපය දකිනවා කියන එක. ඒක මගේ පෞද්ගලික මතය.

කොහොම හරි ජැක්, රෝස් ව බේරගත්තාට පස්සෙ ඒක දකින භටයන් ජැක් ට විලංගු දානවා. එතනින් මම දකින්නෙ ඉහල පන්තියේ සහ පහල පන්තිය යන දෙකට සමාජය විසින් සලකන්න හුරු වෙලා ඉන්න ආකාරයේ විවිධත්වය. රෝස් ට විවාහා වෙන්න කියලා හිතං ඉන්න තරුණයා ජැක් ට ඩොලර් 20 ක මුදලක් දෙද්දි රෝස් අහන්නෙ,