ගොඩක් උසස් පෙළ කරන අයට තියන ප්‍රශ්නයක් තමා මේ ප්‍රොජෙක්ට් එක කියන්නෙ මොකද්ද, මොකටද කරන්නෙ, අනේ කොහොමද මේක කරන්නෙ, කොහොමද මේ මගුලෙන් ගැලවෙන්නෙ කියන එක. තවත් එකක් තමයි මේ උසස් පෙළ අස්සෙ මොන ප්‍රොජෙක්ට් ද කියන එක. ඒත් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන නෙ. එකක් නෙමෙයි දෙකක්. ඔන්න ඉතින් මම හිතුවා අද කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ කියන එක කියන්න. ඊට කලින් කියන්න ඕන මේක නම් කියන්නෙ අනුන්ගෙ එකක් තමන්ගෙ කියලා 'කොපියක්' ගහන් 'වදෙන් බේරෙන්න' හිතන අයට නොවන වග.
උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අපතේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.
අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා.
තමන් විදින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.
මාතෘකාව තෝරගත්තාට පස්සෙ තමන් හිතන්න ඕන කොහොමද මේක කරන්න කාලෙ වෙන් කරගන්නෙ කියලා. මෙන්න මේ කියන දේ තීරණය වෙන්නෙ තමන් කරන්න හිතන් ඉන්න දේ අනුව. මම උදාහරණ කීපයක් කියන්නම්.
උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,
- මාතෘකාව තෝරාගැනීම
- ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
- මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
- "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
- ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
- දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
- ව්‍යාපෘති වාර්තාව සෑදීම
උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,
- මාතෘකාව තෝරාගැනීම
- ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
- මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
- සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
- ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
- උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
- ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕන. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කන්න ඕන.
පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
- ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
- අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
- පිදුම
- පටුන
- හැදින්වීම
- තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
- නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
- ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
- ආශ්‍රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
- ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
- වැරදි නිවැරදි කිරීම්
- කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.
මම පෞද්ගලිකව ආස නෑ අනුන්ගෙ දෙයක් මගේ විදිහට පෙන්නලා ළකුණු ගන්න. ඒ වගේම කෙනෙක් හෝ පිරිසක් විසින් ඉතාමත් සාර්ථකව ආරම්භ කරපු දෙයක් අස්සට ඔළුව දාලා ඒක තමන් කරා කියලා කියාගන්න. යමක් අපි කරනවා නම් අපි ඉස්සෙල්ලා අපිට අවංක වෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ දෙයක් පෙන්නලා ගන්න ළකුණු 20 ට වඩා තනියෙන් ගන්න එක ළකුණ පවා වටිනවා මට නම්. ඒත් තමන්, තමන්ටත් අනුන්ටත් වැදගත් යමක් ආසාවෙන් කරා නම් ඒ දෙයට උපරිම දේ ලැබෙන්න ඕන. ඒ නිසා තමයි මට ළකුණු 20 ක් ලැබුනෙ මගේ ව්‍යාපෘතියට. මට ඒ ගැන ගොඩක්ම සතුටුයි, ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි, ඒ හැම ළකුණක්ම මම ගත්ත නිසා.
මේ විදිහට සාර්ථක ප්‍රොජෙක්ට් කරපු අය ගැන පොඩි සදහනක්,
- කාල තරණය - ශිරාන් ඒකනායක - ළකුණු 19
- ලෝක විනාශය 2012, විද්‍යාත්මක මත විමසුම - පසිදු ද සිල්වා -ළකුණු 20
- ශ්‍රී ලංකාවෙ මැණික් - රුක්ෂාන් සත්‍යානන්ද - ළකුණු 18
- බාලදක්ෂිකා මෙහෙවර - දිනිති ගුණතිලක - ළකුණු 20
- ශුද්ධ ගණිතය පිළිබද වැඩිදුර අධ්‍යයනය - තනුජ සෝමසිරි - ළකුණු 16
- Medical Plants - යසස් වික්‍රමසිංහ - ළකුණු 18
- හෙල ඔසු තතු - දිනාලි නල්ලපෙරුම - ළකුණු 19
ඒ කාලෙ ප්‍රොජෙක්ට් කරන්නෙ කොහොමද කියලා ඔළුව අවුල් වෙලා හිටි කාලෙ මට උදවුවක් ගන්න මේ වගේ කිසි දෙයක් තිබ්බෙ නෑ. තිබ්බෙ හතරට පහට නැමිච්ච පුංචි පත්‍රිකාවක් විතරයි. ඕන කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකකට උදවුවක් ඕන නම් මගෙන් ගන්න පුළුවන්. "ස්තුතියෙ" නම දාගන්න එකට වඩා කෙනෙක්ට අපි දන්න දෙයක් කියලා දෙය එක මට පෞද්ගලිකව ලොකු ආත්ම තෘප්තියක්. ඒත් එක්කම මතක් කරන්න ඕන අපි (ඒ කියන්නෙ මමයි කීපදෙනෙකුයි) පටන්ගත්ත සාමාන්‍යපෙළ කෙටිසටහන් බ්ලොග් අඩවිය ගැන වැදගත් වෙන අයට දැනුම්දෙන්න කියලත්.
ඕ ලෙවල් ශෝට් නෝට් පේජ් එක :
https://www.facebook.com/OlShortNotes
ප.ලි. : ඇත්තටම මේක 2012 ලියපු එකක්. කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕන නම් එකට මැසේජ් එකක් දාන්න. වැඩත් එක්ක මේක බලන්න නම් ඇත්තටම වෙලාවක් නෑ.
https://www.facebook.com/jnsx3nds