
හෙට වෙසක්. වෙසක් කියලා මොනවාද අපි කරලා තියෙනනෙ? කූඩු හදලා... බල්බ් වැල් දාලා.. සරසලා.. සමහරු කූඩු නැතුව බකට් ගෙනල්ලා.. ඉටිපන්දම් ගෙනල්ලා.. සමහරු පුංචි පහේ තොරන් හදලා.. සමහරු කරන්න දෙයක් නැති කමට වෙසක් ලබද්දිම පබ්ලිශ් කරලා කට්ටියව ටැග් කරන්න "සුභ වෙසගක් වේවා" කියලා පින්තූර හදලා. ඇත්තටම වෙසක් කියන්නෙ මේකද? ටිකක් හිතලා බලමු. කවුද මේ වෙසක් කියන එක වෙන විදිහකට දැක්කෙ? අපි බැබලෙන්න කරන මේ දේවල් නැතුව අසරණ මනුස්සයෙක් බබලවන්න අපි එක දෙයක් වත් හිතුවා ද? අපි බලමු. වෙසක් කියන්නෙ මොකද්ද? බුදුහාමුදුරුවන්ගෙ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම.. ඇත්තටම මේ දෙයින් කියවෙන්නෙ මොකද්ද කියලා කවුද හිතුවෙ?
"අඩෝ දන්සලක් වදින්න යමං.. ගිහින් ෆුල් ෆන් එකක් ගමු"
මේකද වෙසක් කියන්නෙ? ඇත්තෙන්ම වෙසක් කියලා හදුන්වන්න බුළුවන් "අනිත්‍යතාවය" කියන සංකල්පයට තියන හොදම උදාහරණය විදිහට. මේ ලෝකයට පහල වෙලා, මේ ලෝකයේ තියන හැම දෙයක්ම අවබෝධ කරගෙන බුදු බව ලබාපු බුදුන් වහන්සේත් මේ වගේ දවසකම තමයි පිරිනිවන්පෑවෙ. කොච්චර උතුම් පුද්ගලයෙක් උනත් අන්තිමේදි ඉතුරු වෙන්නෙ අන්ත්‍යතාවයම තමයි. අපි හැමෝම මැරෙනවා. ඒ දෙයයි ඇත්ත. සමාජයේ අපිට දකින්න ලැබෙන ප්‍රායෝගික "ඇත්ත" මොකද්ද කියලා බලමු පොඩ්ඩක්.
"වෙසක් දවසට යන්න ඕන වෙසක් බලන්න. නිකන් නෙමෙයි හොද කැමරාවක් එක්ක. හැම එකකම පින්තූර ගන්න ඕන. නිකන් නෙමෙයි තමන් වෙසක් කූඩු ඉස්සරහා ඉදගෙන එහෙම. යාළුවො සෙට් එක එකට එකතු වෙලා කරට අතදාගෙන එහෙම. ගෙදර කන්න තියෙද්දි යන්න ඕන දන්සැලකට. ගිහින් පෝලිම පැනලා දන්සල් බත් කාලා ෆන් එකක් ගන්න ඕන. ඒ ඔක්කොම පින්තූර අරගෙන එදා රෑට ඇවිත් ෆේස්බුක් දාන්න ඕන. ඒ ඇල්බම් එක නේම් කරන්න ඕන "I am proud of being a Buddhist" කියලා. ඒක තමයි තරුණ කම කියන්නෙ."

"අනේ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාණන් වහන්‍සේ ඉපදුන, බුදු උන, පිරිනිවුන දවස. ළමයිනේ වරෙල්ලා මාත් එක්ක සිල් ගන්න. උදේ පාන්දරම යන්න ඕන. නැත්තං කණුවක් හරි මුල්ලක් හරි අල්ලගන්න වෙන්නෙ නෑ. උදෙන්ම ගිහින් ඉන්න ඕන. දවසම ඉන්නත් එපායැ."
මේ වයසක, සිල් ඇත්තො කියලා හිතන් ඉන්න අය. මේ අය උදෙන්ම ගිහින් මුල්ලක් අල්ලගෙන නිදාගන්න එක තමයි සිල් ගන්නවා කියලා අදහස් කරන්නෙ.
"අප මහා සම්මාසම්බුදුරජාණන් වහන්සේ..."
"සාදු සාදු සාසාසාදු..."

"ඇත්ත" ගැන කතාකරමු. වෙසක් පොසොන් එද්දී ඉස්සෙල්ලාම දන්සැල් දෙන්නෙ එක්කො හොද ලොකු "මස්කඩකාරයෙක්" නැත්නම් ලෝකෙ නැති වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහ ගත්ත "කළුකඩකාරයෙක්" ඔවුන්ගේ "පවු සමාකරගන්න". ඒත් ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තියනවා. ඔවුන් කරන කර්මය අනුවයි විපාක තීරණය වෙන්නෙ. අහෝසි කම්මයක් නොවුන හැම දෙයක්ම කවදා හරි අපිට පඩිසන් දෙනවා. තමන් සල්ලි හම්බුකරන්න කරපු "පවු" වල විපාක ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම ඔවුන් දෙන දන්සැල දෙන්නෙ ඇත්තටම අනිත් මිනිස්සු වෙනුවෙන් නම් ඔවුන්ට ඊට අදාල විපාක ත්, ඒ නැත්නම් ඔවුන් ඒ දේ කරන්නෙ "පවු සමාකරගන්න" නම් ඊට අදාල විපාකත් නොවරදවාම ලැබෙනවා. ඒ කෙසේ වෙතත් දන්සැල වැදලා එන කෙනෙක්,
"ඕකා ලෝකෙ නැති දහදුරා වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහගෙන ඉන්නෙ. මිනිස්සුන්ගෙ සල්ලී හූරගෙන කාලා දැන් සුදනා වෙන්න හදනවා. ඕකුන්ට දන්සැල් එකක් නෙමෙයි දාහක් දෙන්න සල්ලි තියනවා."
කිවුවාම ලැබෙන්නෙ හොද ආශිර්වාදයක් කියලා මම නම් පිලිගන්නෙ නෑ.

අපි බෞද්ධයො වෙන්න ඕන පෝය දවසට විතරක් නෙමෙයි. අපි හැමදාමත් බෞද්ධයො. අනිත් මිනිහෙක්ගෙ දුකකදි හිත උණු නොවෙනවා නම්, වැඩිහිටියෙක් කියන දේකට අවනත නොවෙනවා නම්, අපේ ඉන්ද්‍රියන් පිනවගන්න විතරක් ලොල් වෙලා නම්, අඩු තරමෙ පන්සිල් වල එක සිල් පදයක්වත් ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ ඔක්කොම එහෙම වෙද්දි ලෝකෙට පේන්න සිල්වතෙක් වෙලා හවසට බුදුන් වදිනවා නම් ඒ කෙනා බෞද්ධයෙක් ද?
අපි මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් පින් රැස් කරගෙන. ඒ පිනට අර්යක් දෙන්න උත්සාහා කරන්නෙ නැත්නම් අපි අපිටම කරන්නෙ ලොකු වංචාවක්. අපි රවට්ටන්නෙ ලෝකය නෙවෙයි, අපිවමයි.
ඒත් එක්කම කියන්න ඕන නියම බෞද්ධයො විදිහට ජීවත් වෙන රත්තරං මින්ස්සු මේ සමාජයේ ඉන්නවා. මඩේ ඉපදිලා, ඒ මඩේම හැදිලා වැඩිලා, ඒ මඩෙන් උඩට ඇවිත් මුළු ලෝකෙම සුවදවත් කරන ඒ මිනිස්සුන්ට ආගන්තුකයාගෙ උත්තමාචාරය..!!!
සියළු දෙනාගේම සිතේ පහන් සිතුවිලි ජනිත වන වෙසගක් වේවා..!!!
ප.ලි. : මේක කියවන බෞද්ධයන් නොවන අනිත් අයට ත් මේ දේ වැදගත් වෙයි කියලා හිතෙනවා සමහර විට. මොකද "බෞද්ධකම" කියන දේ ගොඩක් පිවිතුරුයි. ඇත්ත "බෞද්ධයො" ඔවුන්ගේ බෞද්ධකම ක්‍රියාවෙන් ඔප්පු කරයි..