මේ පෝස්ට් එක ගහන්න තිබ්බ එකක්. වැරදිලා කලිං පෝස්ට් වෙලා තිබ්බෙ. අග්නි ධාරා අහලා තිබ්බා කෝ පෝස්ට් එක කියලා. ඒක තමයි මේක. හෙහ්. මේවා අමතක වෙන්න කලිං ගහන්නෝනෙ. නැත්තං ආයෙ කවදා කියන්නද. කොහොමින් කොහොම හරි මේ කියන්න යන්නෙ පුංචි කාලෙ ඉදන් අපි නිවාඩුපාඩු වෙලාවක් ආවහාම ගහපු Clip සෙල්ලම ගැන. ඒ කාලෙ සුන්දර මතකයන් මේවා. ක්ලිප් ගහන්න අපිනම් ඉස්සෙල්ලාම පුරුදු උනේ අපි ශිෂ්‍යත්ව පන්ති යන කාලෙ 3 වසරෙ දි. ඒ කාලෙ ක්ලිප් වෙනුවට "විලි ගහනවා" කියන අය දිහා අපි බැලුවෙ ලෝකෙ තිබ්බ නරකම වචනෙ කියපු එකා දිහා බලනවා වගේ. කොහොම හරි "විල්ල" කියන්නෙ "ක්ලිප්" කියන එකේ හරි සිංහල වචනෙ කියලා කවුරුත් පිලිගත්තෙ නෑ. කට්ටිය හිතුවෙ ඒක මාර කැත වචනයක් කියලා. කොහොම හරි මේ තමයි ක්ලිප් සෙල්ලම පරිනාමය උන හැටි.
3 වසරේදි අපි ගැහුවෙ "ක්‍රිකට්" කියලා සෙල්ලමක්. ඒකට ක්ලිප් 2ක් ඕන. ක්‍රීඩකයො ඕනම තරමක් ඉන්න පුළුවන් වැඩිම ළකුණු ගහන එක්කෙනා තමයි දිනන්නෙ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ "කිරන" එක. ඒ කියන්නෙ ඉස්සෙල්ලාම බැට් කරන්න ඉන්න එක්කෙනාව තෝරන එක. ඒක කරන්නෙ ක්ලිප් දෙක අරගෙන අල්ල උඩ තියලා උඩ දාලා අතේ අනිත්පැත්තට සමබරව තියලා ආයෙ උඩ දාලා අල්ලගන්න එක. එහෙම වැඩි වාර ගාණක් ගන්න කෙනා ඉස්සෙල්ලා ගහන්නෙ. පස්සෙ ක්ලිප් එක බිමට වැටෙන හැටි අනුව 4 හරි 6 හරි කපලා ගහන්න තියෙන්නෙ. ක්‍රීඩකයෙක් දැවී යන්න ක්‍රම කීපයක් තියනවා.
* 4 කපද්දි ක්ලිප් එක ස්පර්ශ වීම.
* ගහන පාර ක්ලිප් එකේ නොවැදීම.
* ක්ලිප් දෙකම එලියට යාම.
* 6ක් කපලා ගැහුවාම ක්ලිප් දෙකම සීමාව ඇතුලත තිබීම.

(අඩිරූලයි කටර් එකයි යොදාගෙනත් අපි ක්‍රිකට් ගැහුවා. ඒ මේස ක්‍රිකට්. ඒක ගැන කියන්නෙ නෑ මොකද ක්ලිප් සම්බන්ධ නෑ නෙ)
ඔය තියෙන්නෙ බොක්සිං ක්‍රීඩාවෙ තැන් කීපයක්. (මගේ ආර්.සී.ජී ක්ලිප් එක) |
ඔන්න ඔහොම අපි 9 වසර වෙනකං ඔය ක්‍රීඩාවෙ නිරත උනා. 9 වසරෙදි අපිට අළුතෙන් හදුන්වාදුන්න ක්‍රීඩාවක් තමයි "Boxing". ඒ කියන්නෙ අපේ පන්ති වල තියන සාමාන්‍ය ඩෙස් එකක හරි මැද පොතක් තියනවා. ක්‍රීඩකයෝ දෙන්නෙක් නම් දෙපැත්තෙ ඉදගන්නවා. ඒ අය වෙන වෙනම ක්ලිප් අරගෙන එක අවස්ථාවකට එක බැගින් ඒ කිල්ප් එකට ගහනවා. කරන්න තියෙන්නෙ ප්‍රතිවාදියාව කොහොම හරි බිමට දාන එක. පළවෙනි වතාවෙම අනිත් කෙනාට Direct ගහන්න බෑ. ඒත් අර මැද්දෙ තියලා තියන පොතේ උඩින් ආවොත් ගහන්න පුළුවන්. දෙන්නාගෙම පළවෙනි පාර ඉවර උනාට පස්සෙ ඕනම තැනකදි අනිත් කෙනාගෙ ක්ලිප් එකට ගහන්න පුළුවන්. එක පාරක් එහෙම වැදුනාම දිගටම ප්‍රතිවාදියාගෙ ක්ලිප් එකට ගහන් යන්න අවස්ථාව තියනවා. එහෙම ගහලා අනිත් කෙනාව විතරක් බිම දාන්න තියෙන්නෙ තමනි උඩ ඉන්දිද්දි. මෙහෙම ඕනම ක්‍රීඩකයන් ගානකට ගහන්න පුළුවන්. ඒ වගේම පිලවල් බෙදිලා ගහන්නත් පුළුවන්.
මේ ක්‍රීඩාව තවත් සංවර්ධනය උනා 10 වසරෙ මැද විතර. ඒක අපි හැදින්වුවෙ "Wrestling" කියලා. අර ජෝන් සීනලා, බිග් ශෝ ලා ගහගන්නෙ. අන්න ඒක තමයි. මේකෙ අපි පන්තියෙ එක එක Titles වලටයි තරග පැවැත්වුවෙ.
* Heavy Weight Championship
* Intercontinental Championship
* WWE Championship
* ECW Championship
* RCG Championship (Richmond College Galle)
ආදී වශයෙන් විවිධ තරග පැවැත්වුවා. මේ එක එක ඒවාට විවිධ නීති තිබ්බා. ඒවා මරු නීති. ඒ වගේම මේ තරග කරන්න විවිධ ක්ලිප් තමන් විසින්ම හදාගන්න ඕන. ඒ කියන්නෙ ඉටි පුරවලා, වටේට කොළ ඔතලා, පාට කරලා සෙලෝටේප් ගහලා, එහෙම තමයි හදාගත්තෙ.
මේකත් බොක්සිං එකේ අවස්ථාවක්. (RCG, Intercontinental, Heavy Weight) |
Heavy Weight Championship එක සෙල්ලම් කරන්න හොද බර ක්ලිප් එකක් තියෙන්න ඕන. තව සමහර ටයිටල්ස් දිනන්න නම් වෙනත් මැච් දිනලා තියෙන්න ඕන. ඔය හැම එකකම හිමිකාරයෙක් හිටියා. ඒ කෙනාට ඉන්ටර්වල් එකේ හරි ඕෆ් පීරියඩ් එකක හරි චැලේන්ජ් කරන්න පුළුවන් සුදුසුකම් තියන කෙනෙක් ට. ඒ කෙනත් එක්ක ඊට පස්සෙ තරගය පැවැත් වෙනවා මුළු පන්තියම සාක්කි. ඒ කියන්නෙ මුළු පන්තියම බලං ඉන්නවා දෙන්නත් එක්ක ගහගන්න එක. අතින් පයින් නෙමෙයි, ක්ලිප් වලින්. ඔය රෙස්ලිං බලන අය දන්නවා ඇති තියන ටයිටල්ස්. ඒවා ගොඩක් තිබ්බා අපෙත්. ඒ හැම එකකම විශේෂ විදිහක් තිබ්බා ගහන්න. ඒ වගේම දිනුම අයිති කෙනාට අදාල ටයිටල් එක නම යොදාගෙන ක්ලිප් එකක් හදාගන්න අයිතිය තිබ්බා. පෝස්ට් එක පුරාම විවිධ නම් වලින් තියෙන්නෙ ඒවා තමයි.
හොදම වැඩේ කියන්නෙ මේක ගහන්නම කියලා ගොඩක් අය නියපොතු එහෙම වවන්න ගත්තා. මගෙත් මැද ඇගිල්ලෙ නියපොත්ත වැවුවා. ඒ මොකද කියනවා නම් පළවෙනි පාරම එහා පැත්තෙ ඉන්න කෙනාව බිම දාන්න පුළුවන් පොත උඩින් යන ශොට් එකකදි විතරක් නිසා. ක්ලිප් එක ඇතුලට නියපොත්ත දාලා, නැත්නම් ක්ලිප් එකක දාරෙට නියපොත්ත තියලා උඩට ඉස්සෙන්න ගැහුවාම බබා වගේ යනවා පොත උඩින්. කොහොම හරි ඒ කාලෙ මගේ ගාව ක්ලිප් කලෙක්ශන් එකක් තිබ්බා. එක එක ක්ලිප් එක එක පාටට පාට කරලා කොළ අලවලා ලස්සනට හදලා පෙට්ටියක දාලා තිබ්බා. තව ක්ලිප් බර ගානක් එකතුත් කරා. මේ පෝස්ට් එක පුරාම තියෙන්නෙ ඒ කිලිප් තමයි. ඒත් එක්කම ඔය රෙස්ලිං නොබැලුවාට ඒ කාලෙ තිබ්බ හැම ටයිටල් එකක් වගේම මට තමයි අයිති. හෙහ්..
හදන්න තියන ක්ලිප්, අර මගේ කිලිප් දාපු පෙට්ටිය, ක්ලිප් හැඩ කරපු දියසායම් එක |
තරගෙ යෙදෙන අවස්ථාවක් |
ඔය තියෙන්නෙ මගේ කලෙක්ශන් එකේ ක්ලිප් කීපයක් මට අයිති වෙච්ච ටයිටල්ස් කීපයක් ඒ කියන්නෙ (Heavy Weight, RCG, ECW, UMW, Inter Continental) |
ඒ කාලෙ මතක් වෙද්දිත් දුකයි. කොහොම හරි අපේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියේ තමයි මේ ක්ලිප් සංස්කෘතිය මෙච්චර තදේට තිබ්බෙ. ඒ කාලෙ මම, පසිදු, චමෝද, සංකල්ප, දසුන්, දුලාන්, කලන, සැලී, සචින් වගේ අය ප්‍රභල ක්‍රීඩකයො. කට්ටිය දැන් හිතනවා ඇති සාමාන්‍ය පෙළ කට්ටිය කොහොම කරාද දන්නෙ නෑ පන්තියම ක්ලිප් ගහ ගහ ඉදලා කියලා. නෑ නෑ බය වෙන්න කාරි නෑ. අපේ පන්තියේ 44 දෙනයි. 11 දෙනෙක්ට A' 9 යි. (25% කට A' 9 යි කිවුවාම කොහොමද? )කිසි කෙනෙක් ෆේල් නෑ. මම ඔය ඉස්සෙල්ලා කිවුව 8 දෙනාගෙන් 3 දෙනෙක්ටත් A' 9 යි. අනිත් අයට A'6 ට වඩා වැඩියි.
ඒ කාලෙ අපි කළේ ඉගෙනගන්න එක විතරක් නෙවෙයි. ගන්න තිබ්බ ෆන් ඔක්කොම ගත්තා යාළුවො එක්ක පන්තියෙ. අන්තිමට කිසි කෙනෙක්ට කතා නොකියන්න රිසල්ට්ස් නුත් ඉබේම වගේ ආවා. ඇත්තටම ඒ කාලෙ නැතිවෙනවා කියලා දැනෙද්දි පුදුම දුකයි හිතට.
ඒ කාලෙ ක්ලිප් වලින් කරපු තව සෙල්ලං කට්ටියට තියනවා නම් කියලා ගියාව වරදක් නෑ. සුන්දර මතක ගොන්නට වැඩි වෙන්නෙ නෑ එකක් වත් අඩු වුනොත් මිස. :)