Thursday, June 11, 2015

වැස්ස

මාස කිහිපයකට උඩ සිකුරාදාවකි. සුපුරුදු ලෙස කාඩ් ටික එක්කාසු කොට කාඩ් බෝඩ් පෙට්ටියට දමා පසෙක වූ මිතුරෙකුට දුන් මම ඔවුන් සමගම කැම්පස් එක ඉදිරිපස ගේට්ටුව වෙත පිය නැගුවෙමි.


“මචං, උඹ ගාලු යනවා නෙ. මම මේ weekend එකේ යන්නෙ නෑ බං. පොඩි වැඩ වගයක් තියනවා“

යහලුවන්ට සමුදුන් මම බෝඩිම වෙත යන්නට ගමන් ආරම්භ කළෙමි. කිලෝමීටර 2ක් පමණ දුරකින් තිබූ බෝඩිමෙහි මා ප්‍රිය කළ කිසිදු දෙයක් නොවී ය. තනි කාමරයක තනිව සිටි මා හට එය අමුත්තක් වූයේ නැත. මම ගෙදර සිටින්නේ ද නැද්ද යන වග අසල්වාසීන් නොදන්නා සේම බෝඩිම අවට සිටින වුන් ද දැන නොසිටියා යැයි මා හොදින් ම දනී. ඒ ඉතාම කලාතුරකින් නිවසින් හෝ බෝඩිමෙන් එලියට බහිනා නිසා යැයි මට සිතේ. ඒ තනි කාමරයක් තුල ඇති නිදහස අවට නොතිබුන නිසා වන්නට ඇත.

මීටර දෙසියයක් පමන ඉදිරියට යන විට වැස්සක් ඇද වැටෙන්නට පටන් ගත්තේ අහම්බෙන් මෙනි. එදිනත් වෙන බොහෝ දින වල මෙන් ම පයින් බෝඩිමට යන්න ඉටා ගත් මා හට අදහස අත්හරින්නට හිත දුන්නේ නැත. ලියන පොත යහලුවෙක්ට දුන් බව මතක ය. තෙමෙන්නට දෙයක් නැත. පයින් ම ඉදිරියට පිය නැගුවෙමි.

මා ඉදිරියෙන් කලු කුඩයක් ඉහලා ගත් සිසුවියකි. බෑගය ඇගට තුරුලු කොට ප්‍රෙව්සමෙන් අඩි තබමින් ඇය ඉදිරියෙහි ඇති බස් නැවතුම වෙත යන්නී ය. මදක් වේගය වැඩි කෙරූ මා අඩියෙන් දෙකෙන් ඇය ඉස්සර කළෙමි.


මෙසේ වැස්සෙහි ඇවිදින්නට මම ප්‍රිය කරමි. ඒ චාලි චැප්ලින් කියන ආකාරයට කදුළු සගවාගන්නට නොවේ. දූවිල්ල - දුම නැති ඒ නැවුම් බවට ප්‍රිය කරන නිසාවෙනි. වැස්ස මදක් වැඩි කරන්නට වූයෙන් මාගේ උපැස් යුවලෙහි තව තවත් වැසි වතුරෙන් ගැවසී ගෙන ය. උපැස් යුවල ගලවා එක් අණ්ඩක් නවා, අනෙක් අණ්ඩෙන් එය මාගේ ටී-ශර්ට් එකෙයි මැද ගසා ගෙන තවත් ඉදිරියට ඇදුනෙමි.

දකුණු පස කඩයක ඉදිරියෙහි තිබූ කුඩා වහලය තුල මිනිසුන් දෙතුන් දෙනෙක් වැස්සට ආවර්ණ ලබාගෙන ය. වම් පස බයිසිකල් කරුවන් ද එසේම ය. මෙසේ යන විට එක්වරම හෝන් ශබ්ධයක් මට ඇසෙයි. දකුණ බැලූ මට දිස්වූයේ ත්‍රීරෝද රථයකි. එතුල සිටි අයියා කෙනෙක්,
“මල්ලී, මම කඩුවෙල පැත්තට යන්නෙ. නගින්න. මං ගිහින් දාන්නම්“

“නෑ නෑ අයියෙ මගේ බෝඩිමට තව මීටර් 20යි. ඔය ඔතන ඉස්සරහා. Thanks“

ඒ මම ය.

යම් ලෝකයක සිටි මා නැවත වට පිට බැලූ විට මා දුටුවේ ‘වැස්සෙහි තෙමී වතුර වැක්කෙරෙමින් පයින් ඇවිද යන‘ පුද්ගලයෙක් දෙස බලා සිටිනා මිනිසුන් පිරිසකි.

‘නෑ නෑ මගේ ගාව කුඩයක් තියනවා. මට බස් එකේ යන්න සල්ලිත් තියනවා. මම මේ ආස නිසා යි මෙහෙම යන්නෙ. අද සිකුරාදා නෙ. බෑග් එක වේලෙන්න තියන්නත් දවස් දෙකක් තියනවා. I'm fine people, seriously stop staring like that..‘
ඒ මගේ සිත යි.

* * * *

තමන් කෙසේ කුමක් කුමන අරමුණකින් කළ ද සමාජය ඒ දෙස කෙසේ බලන්නේ ද යන්න ඔබ නොදන්නවා වන්නට ඇත. ඇතැම් විට ඔවුන්ගේ ඇසින් එය දැකීමට ඔබට යම් ඉගියක් අවශ්‍ය වනවා ඇත. නමුත් වෙනත් කෙනෙකු තමන් තේරුම්ගන්නා ආකාරයක් වෙනස් කිරීමට ඔබ කරන දෑ නොකර සිටීම පිළියමක් නොවේ. වැදගත් වන්නේ ඔබ කරන දෙය ඔබ තේරුම් ගෙන කිරීම යි.

10 comments:

  1. හරි.....මාත් වැස්සේ කන්ණාඩි දාගෙන තෙමි තෙමී ගිහින් තියෙනවා...ඔ්‍ය වගේම මිනිස්සු මගේ දිහා බලගෙන ඉදලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙනදා නං මට ඕක ගානක් ගිහින් තිබ්බෙ නෑ. අර ත්‍රී වීලර් එකේ ආපු අයියා නවත්තලා ඇහුවාම තමා ඕක හිතුනෙ!

      Delete
  2. මාත් වැස්සට තෙමෙනවා හැබැයි ආසාවටවත් මොකටවත් නෙමෙයි. වැස්ස බලාපොරෙත්තු නොවී ගමන් ගියාම.. කොච්චර තෙමුනත් නවත්තන්නේ නං නෑ.. මේක කෙටි කතාවක් කියල නං කියනන් බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවාට. වැස්ස වහිද්දි එලියට පැනලා තෙමි තෙමි ඉන්නෙ නැතත් වැස්සට අහු උනොත් කොහේවත් නවතින්නෙ නැති පුරුදුදක් නම් මගෙත් තියනවා!
      මාතෘකාව හරි නෑ කියලා තේරුනා. නිකම්ම වැස්ස කියලා දැම්මා.

      Delete
  3. උබ කඩුවෙල?

    කතාවෙන් මට හයිලයිට් වුණේ ඒ ටික :)

    ජය !

    ReplyDelete
    Replies
    1. කඩුවෙල තමයි ඉතිං මේ ටිකේ නං.

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  4. වැස්සේ තෙමන එක තරම් සුන්දර දෙයක් තවත් තියෙනවද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ආං ඒක නෙ දිනේශ් අයියා කියන්නෙ!

      Delete
  5. මේ දවස්වල හැමදාම හවස‍ට වැස්සෙ තමා ගෙදර එන්නෙ අයියෙ ...පොත් ටික තෙමෙන් නැත්නං එච්චරයි..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වැස්සෙ එන එක අමුතුම හැගීමක්. පොත් තෙමෙන එක තමා ඉතිං අවුල.. අසනීපයක් ලෙඩක් දුකක් නැත්තං, තෙමෙන්න වටින කියන දෙයක් නැත්තං, අනිත් දවසට අදින්න ඇදුමක් එහෙමත් තියනවා නං ඉතිං කිසිම ප්‍රස්නයක් නෑ!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....