Saturday, March 31, 2012

වාර විභාගයට පෙර


යම් චලිතයක් නියත w කෝණික ප්‍රවේගයෙන් යුතුව සිදුවුවත්, කේන්ද්‍රයේ ලක්ෂීය ප්‍රවේගය ශූන්‍ය වන අතර කේන්ද්‍රයේ සිට අනන්ත දුරකින් ඇති ලක්ෂයක එම ප්‍රවේගය අනන්තය කරා ලගා වේ. 0.7 ට වඩා අඩු වෝල්ටීයතාවයකින් යුත් විභව අන්තරයක් යෙදෙන සිලිකන් වර්ගයේ ඩයෝඩයක් පෙරනැඹුරු නොවේ. පැලේඩියම් / බේරියම් සල්ෆේට් / සල්ෆර් / ක්වීනෝලීන් යන සියල්ල සමග හයිඩ්‍රිජනීකරන්නා වූ ඇල්කීනයක් පමණක් ඇල්කේනයක් බවට පත් වේ. යම් සයින් අගයක් එම සයින් අගයට අනුරූප කෝණයෙන් බෙදා එම කෝණයේ අගය ශූන්‍ය කරා ලගාවත්ම, මුළු අගය 1 ට ආසන්න වේ. සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් හරහා ධාරාවන් ප්‍රතිරෝධ වල පරස්පරයේ අනුපාතයට බෙදෙන අතර ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් හරහා ‍වෝල්ටීයතාව ප්‍රතිරෝධ වල අනුපාතයට බෙදී යයි. අන්තර් අණුක ආකර්ශන බල භෞතික සාධක වලට බලපාන අතර අන්තඃ අණුක ආකර්ෂණ බල රසායනික ගුණ කෙ‍රෙහි බලපායි. සල්ෆර්, කාබන්, පොස්පරස් ආදය බහුරූපි ආකාර පෙන්වයි. උත්තල කාචයක් ආලෝකය අභිසාරී කරන අතර අවතල කාචයක් ආලෝකය අපසාරී කරයි. මේ සියල්ල මෙසේ සිදුවද්දී සෝඩියම් ක්ලෝරයිඩ් වෙළදපලට නිකුත් කිරීමට පෙර අයඩීන් 20-30 ppm මිශ්‍ර කළ යුතු නිසා යොදන පොටෑසියම් අයඩේට් වෙනුවට  පොටෑසියම් අයඩයිඩ් යෙදූ විට එහි ඇති අයඩයිඩ් අයන වායුගෝලීය ඔක්සිජන් සමග එක්ව අයඩීන් බවට පත් ව, ඌර්ධවපාතනයෙන් ඉවත්වන්නා සේ මම ද වන්නේ නම් යෙහෙකැයි විටෙක හැගේ..

Friday, March 30, 2012

යාළුවො ලියපු ඒවා (2) (A TRAUMA)

මේක ලියපු කෙනාගෙ නම හෙලි කරන්න කැමති නෑ. ඒ කෙනා අකමැති වෙයි. ඉංග්‍රීසි පීරියඩ් එකකදි තමයි ඔහු අතින් මේක ලියවුනේ. ඒ ලියපු කොලේ මගේ ගාව. ඒ දේ නැතිවෙන්න කලින් මේ විදිහට ලියන්න කල්පනා කරා. මේ දේ කියවද්දි මොකක්ද දැනෙන්නෙ?


A boy happens to see a girl one day...
Not just with the eyes, but also with the mind...
Then he pretends to win her soul...
But don't know why.. So really high..


It's Ironic why he doesn't smile or speak with her..
As well as why he doesn't even look at her at times..
The reason behind this abnormal piece of love is..
He thinks that it would harm her chastity if he does so..


Words cannot express a genuine love..
A smile cannot express a genuine love..
But for sure, a pen wold bear testimony for the mind..
Just like what I'm doing now..


Really, no one knows how much he controls himself for the sake of her..
The emotions, likes and desires he just control are himalayan..
For sure, if there's someone controlling this world..
proved to be round..
That lord may offer her to him, just because of his sorrows..


Knowing the fact that she and the gang hates him..
Knowing the fact that it won't be a success..
Yet believing the truth and his genuine love..
May ultimately result in a strong time for far ahead years..


Everyone knows there's a limit for everything..
A limit for his emotions, thoughts as well as desires..
But following up the flight of no return,
Yet he might say that there isn't a limit for his genuine love..

යාළුවො ලියපු ඒවා (1)

නිල් අහස හමු වේද
අත පොවන මානයේ

දිය ගගුල නිමවේද
ඇස ගැටෙන මානයේ

වැලි කතර තෙත් වේද
පැන් බිදෙන් ප්‍රේමයේ

හිමකැටිය දියවේද 
උණුසුමින් මවකගේ

මල් කැකුළු පිබ්දේද
බැල්මකින් දයාවේ

මළ මුහුද පිරේවිද
කදුලකින් සෙනෙහසේ

ගණ අදුර දුරුවේද
කිරණෙකින් සත්‍යයේ..

- ඊ.ඇම්.ඇස්.ඇස් එකේ (ක්‍රියේටිවු හස්තය(08/09/2011)) 

Saturday, March 17, 2012

19 වෙනි උපන්දිනේ | අම්මාගෙ කේක් ගෙඩිය | ඉලංදාරියා

ආගන්තුකයාට අදට අවුරුදු 19යි කියමුකො. ඊයෙ කිවුවානෙ අද වෙන්නෙ මොනාද කියලා කියනවා කියලා. ඔන්න එ‍හෙනම්. අද නම් 8.30 යි නිල වශයෙන් ඇහැරෙනකොට. ගිහින් ඉස්සෙල්ලාම බැලුවෙ කේක‍් ගෙඩිය. හිතාගන්න පුළුවන් ද මොකක්ද කියලා. අම්මා මේ පාර කේක් එක හදලා තිබ්බේ Blogger Theme එකට. ඒ කියන්නෙ මගේ "සිංහල බ්ලොග්කරණය" කියන ව්‍යාපෘති කවරෙ වගේ ඒක අයිසිං කරලා තිබ්බේ. පැත්තකින් ආගන්තුකයෙක් බංකුවක් උඩ ඉදගෙන ඉන්න එකක්. ඒක දැක්කාම නම් කපන්න හිතුනෙ නෑ අප්පා.

කොහොම හරි ඉතිං උ‍දේ පාන්දරින්ම යාළුවෙක් මිස් කෝල් එකක් ගැහුවා කියමුකෝ. මුං මිස් කෝල් ගහන්නෙ මම ආයෙ කෝල් කරන නිසා. 12 ඉදන් හවස 6 වෙනකං මොබිටෙල් ෆ්රී නේ උපහාර නිසා. මං ඉතිං කෝල් කරන්න ගියේ නෑ. පස්සෙ ඉතිං සත 13ක් කපාගෙන මට බැන බැන මැසේජ් එකක් ගහලා තිවුනා "හැපී බර්ත්ඩේ ජනී" කියලා. මං නොදන්නවැයි ඕකුංගෙ හැටි. මොනා උනත් අපරාදෙ කියන්න බෑ මැසේජ් 2ක් ම ආවා. තව කෝල් එකක් ආවා හැපි බර්ත්ඩේ කියලා මේ වෙනකොට. ඒක අස්සෙ හිම හංසි අක්කා මිස් කෝල් එකකුත් ගැහුවා. ඒ නං බර්ත්ඩේ එක මතක් වෙලා වෙන්න බෑ.


කොහොම හරි ඉතිං ඊට පස්සෙ පංති ගියා කියමුකෝ. මොකෙක්ටවත් මතක නෑ බර්ත්ඩේ එක. කමක් නෑ ඉතිං එක අතකට හොදයි මොකද නැත්තං පොකට් එක හිස් වෙනකං මුං මට හැපි බර්ත්ඩේ කියනවා නේ. පස්සෙ ගෙදර ආවායෙන් පස්සෙ කොම්පියුටරේ දැම්මා. ඒක ඕෆ් උනේ නැතැයි. බැන බැන ඒක හැදුවා ගලෝගෙන. හදාගන්නම බැරි උනා. පස්සෙ එකෙක් මිස් කෝල් ගහනෝ ගහනෝ මාත් ගත්තා. "අඩෝ.. ප්‍රොජෙක්ට් එකට මොකෝ කරන්නෙ?" හත්තිලවුවයි ගෲප් ප්‍රොජෙක්ට් එක කරාට ලිවුවෙ නෑ නේ. පස්සෙ ගරු සභාපතිතුමා වශයෙන් ගරු ලේකම් සිරිගෝරිස් උන්නැහේට කෝල් කරා කියමුකෝ. උන්දැ මට හැපි බර්ත්ඩේ කියපි. ඇයි යකෝ හරියට මං කෝල් කරලා කියවගත්තා වගේ. පස්සෙ බැලින්නං සිරිගෝරිස් උන්නැහේගෙ මෑණියන්දෑ ගෙත් උපන්දිනේ ලු. මම කිවුවා ඉතිං එතුමියටත් සුභ උපන්දිනයක් වේවා කියපාපාපාං කියලා.

ගිය අවුරුද්දේ නං ෆේස් බුකියෙ 160+ ක් හැපි බර්ත්ඩේ කියලා තිවුනා. වැඩේ කියන්නෙ එකට බත් කන උන්ටත් මතක නෑ කියන එකනේ. කමන්නෑ ඉතිං කොහොමත් වයර් මාරු වෙලා ඉන්නේ කට්ටියගේ විභාගෙට මාස 4 ක් නිසා. 

කොහොමින් කොහොම හරි, අද ඉලන්දාරියාගෙත් උපන්දිනේ ලු නේ. අනේ ඒ අයියත් අද අපිත් එක්ක හිටියා නම්. එහෙනම් කොච්චර ශෝක් ද. දැන් ඉන්න ලෝකෙක ඉදන් අපි දිහා බලන් ඇති නෙ ඉලන්දාරි අයියත්‍. අයියටත් සුභ උපන්දිනයක්‍.   

ඉස්සෙල්ලා ආපු අයට

ටිකක් පහු උන අයට

සුභපතපු හැමෝටමත් අනිත් හැමෝටමත් ගොඩක් ස්තූතියි ඈ...

Friday, March 16, 2012

ආගන්තුකයාට හෙටට 19 යි

ආගන්තුකයා කියන්නේ කිසි දෙයක් නොදැන බ්ලොග් අවකාශෙට ගොඩවැදුනු කෙනෙක්. කොහොමින් කොහොම හරි කාලෙ ගෙවුනා දැනුනෙත් නෑ. මීට අවුරුද්දකට කලිං ආගන්තුකයා කිවුවේ "අද තමයි මම නිල වශයෙන් ළමයෙක් කියන්න පුළුවන් අන්තිම දවස" කියලා. අද කියන්න තියෙන්නේ "වැඩිහිටියෙක් වෙලා ඉදලා පළවෙනි අවුරුද්දයි මේ ගෙවුනේ" කියලා.

වැල්වටාරං ඕන නෑ. හෙට මයෙ බ(ර්)ත්ඩේ එක. අම්මා කේක් එකක් හදලා ඇති. ඒක දැක්කෙ නම් නෑ. බලන්න ඕනෙ හෙට උදේවත්. මෙච්චර කාලෙකට ඉතිං ආගන්තුකයා බර්ත්ඩේ පාටි අරවා මේවා දාන්නෙ නෑ. එච්චර හැකියාවක් නෑ නේ. පොඩි ආසාවක් තියනවා දානයක් දෙන්න මහළු නිවාසෙකට. ඒත් මේ පාර නම් කරන්න වෙන්නෙ නෑ. මාසෙකට හොද ගාණක් යනවා ටියුශන් වලට.

හ්ම්ම්.. කියන්න දේකුත් නෑ. මේ තමා බ්ලොග් අවකාශෙට ආවාට පස්සෙ පළවෙනි පර්ත්ඩේ එක. මොනා මොනා වෙයි ද දන්නෙ නෑ හෙට. මොකක් උනත් අපි මේ උඩදාගෙන සැමරුවාට අපි මේ සමරන්නෙ තව අවුරුද්දකින් මරණට ලං වෙන දවසක්. :) මම නම් කියන්නෙ බ(ර්)ත්ඩේ එකකට අපි වියදම් කරන දේවල් කියන කරන දේවල් ඇත්තෙන්ම වැඩියි. මම වගේ ගෙදර අය එක්ක එකතු වෙලා කේක් එකක් එහෙම කපලා කනවා වගේ නෙමෙයි. පාටි දාලා ඉන්න හැමෝම ගෙන්නගෙන ඒ අයට කන්න බොන්න දීලා නටලා විනෝද වෙද්දී බත් කටක් කන්න බැරුව මැරෙන ළමයි දාස්ගානක් ඉන්නවා. ෆොටෝ එකක් දැක්කම "අනේ පවු" කියලා කමෙන්ට් කරන අපිට, පිස්සු නටනකොට ඒ මිනිස්සුන්ව අමතකයි.

කොහොම හරි හෙට 19යි කියලා වෙනසක් නෑ ඉතිං මට. තවත් එක දවසක්. ඒත් කිවුවේ අනිත් අය මොනා මොනා කියයිද කියලා දන්නැති නිසා. "ආ මල්ලි කියන්නෙම නැතුව බර්ත්ඩේ එක ගත්තා නේ" කිවුවොත් මොන දෙයියන්ට කියන්නද. කොහොම හරි මේ ටිකේ ආගන්තුකයා සාම්ප්‍රදායික බ්ලොග් කෙරුවාවෙන් ජූංජක් විතර අපගමනය වෙන පෝස්ට් දෙක තුනක් ගැහුවා. ඒ ඉතිං ඉස්කෝලෙ ගැන කැක්කුමක් තියන නිසා මිස වෙනස් වෙලා නම් නෙමෙයි ඕන්. අපි දැන් ඉතිං 13 වසරේ අන්තිම හරිය නේ. ඉස්කෝලෙ දාලා යන්න දුකයි අප්පා. දුකටත් එක්ක ‍ඒවා ගැහුනෙ. සමාවෙන්ඩ ඈ..

කොහොම හරි, හැපි බර්ත්ඩේ ටූ මී.....!!! 

Tuesday, March 13, 2012

ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද සාධාරණත්වය සහ අවස්ථාවාදය


මේ කියන්නට යන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ 12.03.2012 දින Live at 8 ප්‍රවෘත්ති විකාෂයේ "දවසේ වැරැද්ද" ට පෙන්වන ලද "පොදු දේපල කඩන්නට උත්සාහා කරන රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙකුගේ කතාව" පමණක්ම නොවෙයි. එයින් ඔබ්බට ගිය අවස්ථාවාදය පිළිබද කරන විග්‍රහයකි‍. සියල්ල සමතයකට පත් කර "රිච්මන්ඩ් හා මහින්ද සහෝදරත්වය" නංවාලීම සම්බන්ධ වූ කරුණ නිකරුනේ නැති කරන්නට නොයෙකුත් හස්ත ක්‍රියාත්මක වන බවත් එය පිළිකුල් සහගතව හෙලා දකින බවත් පැවසිය යුතුම ය. මෙහි අඩංගු වන්නේ මා විසින් මෙය දකින ආකාරය පමණි.

සිදුවූයේ මෙයයි. Live at 8 ප්‍රවෘත්ති විකාෂයේ "දවසේ වැරැද්ද" විශේෂාංගයට රිච්මන්ඩ් පැත්තේ සිටි බීමත් පුද්ගලයෙක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි තාප්පයේ තිබූ යකඩ කම්බි එහාට මෙහාට නවමින් කඩන්නට තැත් කිරීම සම්බන්ධ දර්ශන කිහිපයක් සමග එය එසේ නොවිය යුතු ය යන්න අවධාරණය කරන්නට යෙදුනි. එහිදී ඔවුන් පැවසුවේ "කෑවානම් බිවුවානම් පැත්තකට වෙලා හිටියොත් නේද හොද මහත්තයෝ" කියා ය. නමුත් එහිදී ඒ රිච්මන්ඩ් සගයෙක් කියා වත්, රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් කියා වත්, කොටින්ම රිච්මන්ඩ් නාමය වත් නොපවසන ලදී. නමුත් ඔවුන් විසින් ඒ ඉදිරිපිට දමා තිබූ රිච්මන්ඩ් ධජයක් කිහිපවතාවක්ම පෙන්විය. ඒ සිදු වූ දෙය කවුරු විසින් කළත් අපි සියළුදෙනාම එය වැරදි යැයි දකිමු. පොදු දේපලට එලෙස අලාභහානි කිරීම කිසි කෙනෙකුට කළ නොහැකි වේ. නමුත් මෙහි තවත් පැතිකඩක් වේ.

මෙය පෙන්වීමෙන් අනතුරුව ඇති වූ තත්වය මම දෙආකාරයකට දකිමි.




පළමු ආකාරය නම් මෙයයි. මා විසින් ඉහත ලිපියක සදහන් කර තිබූ පරිදි මහින්ද විද්‍යාලයට පහර පිට පහර වදින සමයක කරකියාගන්නට දෙයක් නැතිව ඔවුන් අතින් සිදුවූ සිද්ධිය වැරදි ලෙස නොදැක සමාව අයැදින්නට කොන්දක් නොමැති වූ ඇතැම් මහින්දයන් (සැබෑ මහින්දීයයන් ලෙස රිච්මන්ඩ් අපි නොපිලිගන්නා) මේ විකාෂයෙන් අනතුරුව "රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් විසින් පොදු දේපල කඩනවා ඊයෙ රටම දැක්කා" යනුවෙන් සදහන් කර පින්තූර කිහිපයක් එක් කර තිබින. එය හුදෙක් නිවට ක්‍රියාවක් ලෙස හෙලා දකින්නේ එම ක්‍රීඩාංගනයේදී සිදු වූ සියල්ල ඔවුන් දන්නා බැවිනි. එහිදී සිදුවූ දෑ දැන දැනත් මුළු රිච්මන්ඩ් ප්‍රජාවටම අවමන් කර ඔවුන් ලබාගන්නා තෘප්තිය කුමක්ද? එය හුදෙක් ඔවුන් අතින් අප හට වූ වැරදි වලට කියන්නට දෙයක් නොලද මොහොතක ලද අස්වැසිල්ලක් ලෙස සැලකුවා වන්නට ඇත.


කෙසේ වෙතත් මෙය දෙවැනි ආකාරයයි. රිච්මන්ඩ් - මහින්ද, ගාල්ලේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් මංගල්‍යයෙහි මිනිසුන් හැසිරෙන්නේ මේ ආකාරයටයි. එය ස්වර්ණවාහිනී මාධ්‍යය දකින ආකාරයයි. නමුත් එය එසේම ද? ආදරවන්තයන්ගේ සටන යනු හුදෙක් බීමත් මිනිසුන් පොදු දේපළ වලට හානි කරන ස්ථානයක් කියා නොකියා කියන ස්වර්ණවාහානිය ඔවුන්ට දුරින් ඇති ගාල්ල ගැන කියන්නට පෙර යාබද පාසල් වල තිබෙන බිග් මැච් අක්‍රමිකතා කියන්නට උත්සාහයක් නොගන්නේ මන් ද? කොළඹ පාසල් වල වන්නේ කම්බිකූරු නැවීමට එහා දේ බැවින් ඒවා දැමීම ශිෂ්ඨසම්පන්න නැති ද? දුර ඇති ගාල්ලේ පාසල් වල බිග්මැච් අක්‍රමිකතා පටිගත වන ස්වර්ණවාහිනියේ කැමරා කාච තුළ ඔය ළග ළග පාසල් වල අක්‍රමිකතා පටිගත වන්නේම නැද්ද? නැත්නම් එසේ කරන්නේ නැත් ද? කාන්තා පාසල් තුලට ගොස් ඇතැම් ප්‍රමුඛ පෙලේ පාසල් වල සිසුන් නටා ඇති නාඩගම් "කම්බිකූරු දිගඇර කෙලින් කිරීම" තරම් වැරදි නොවන්නට ඇත. එය එසේ වන නිසා ඒ පිළිබද ඔවැනි නෝන්ඩි අයුරින් කතා නොකරන්නට ඇත. 

Sirasa News First පැමිණි පසු තමන් එය ටිකක් සංශෝධනය කර News වලින් First කියාගත්තේ ස්වර්ණවාහිනිය යි. Sirasa Super Star ඇරඹූ පසු එය කොපි කර ඔය එක එක තරු මැවුවේ ස්වර්ණවාහානියයි. දැන් කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් පිළිබද මුනිවත රකිමින් ගාල්ල ආදරවන්තයන්ගේ සටන පිළිබද පමණක් දෝශාරෝපනය කරන්නට පෙළඹෙන්නේ ස්වර්ණවාහානියයි. මෙය හුදෙක් රිච්මන්ඩ් විද්‍යාලයට පමණක් නොව, මුළුමහත් ගාල්ලටම කරන ලද අවමානයකි. එය අවමානයක් ලෙස දකින්නේ කොටසකගේ (එනම් ලොක්කන්ගේ) වැරදි වසමින් වෙනත් අයගේ වැරදි පමණක් පෙන්වා හුදෙක් ප්‍රවෘත්තියට කුමක් හෝ දමාගැනීමට සිදුකළ දෙයක් වන නිසාවෙනි. ප්‍රවෘත්තියක් යනු හුදෙක් සමබර දෙයක් රටට පෙන්වන්නට කරන්නා වූ ව්‍යායාමයක් නමුත් පක්ෂපාතී ලෙස කොළඹට කිරි අපට කැකිරි සංකල්පය ඔපවත්කරන්නට කරන්නක් ලෙස මම නොදකී. 

ඔබ මෙයට එකග වන්නේ නම් මේ පිළිබද දැනුවත් කරන්න. සියල්ලන්ටම සාධාරණ වන පුවතක් දැනගැනීමේ අයිතිය සුරකින්න කටයුතු කරන්න. 

රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලයේ කම්බිකෑරු නැවීමේ ක්‍රියාව කොළඹ සිදුවන සැවොම දන්නා රහස් වලට වඩා පළකරන්නට වැදගත් නම්, ඉදිරියේ පුවතක් නොමැති වූ විටෙක ගාල්ලේම යම් පාසලක සිසුවෙක් බිමට ටොපි කොළයක් දැමීමද පාපතර ක්‍රියාවක් ලෙස හුවා නොදක්වන්නේ යයි කියන්නට කිසිම හේතුවක් මා විසින් නොදකී. 

වරෙක මා විසින් දුටු දවසේ වැරැද්දක් නම්, 49cc යතුරුපැදියක හෙල්මටයක් නොපැලද යන පුද්ගලයෙක් ව පෙන්වා ඔහු පිළිබද හැකිතාක් වැරදි කියා සිටීමයි. නමුත් 49cc යතුරුපැදි වලට එම කාලයේදී ලයිසන්-ඉන්ශුවරන්ස් හෝ හෙල්මට් අවැසි නොවීය. හුදෙක් එම පුද්ගලයා රටක් ඉදිරියේ නිගරු වින්දේ කළ වැරැද්දකට නොවේ. මෙසේ තමන්ට දාන්නට යමක් නැති විට කුමක් හෝ දමාගන්නා ඔවුන් ඒ ප්‍රවෘත්ති එක් කරන්නට යන්නේ මාර්ග නීති වත් නොදැනගෙන බව අද රටක් දනී.


ස්වර්ණවාහිනියේ කියනා ඇතැම් පුවත් වලට වඩා අගනා පුවත් මා විසින් රිච්මන්ඩ් උදා පුවත් සිංහල හා ඉංග්‍රීසි විකාශ වල දිනපතා අසන්නට යෙදෙයි.
රිච්මන්ඩ් වේවා මහින්ද වේවා කුමන පාසලක හෝ වේවා සියල්ලන්ම ‍මෙම ක්‍රියාව සහ ජනමාධ්‍ය නිදහස පළිබද දෙවරක් සිතිය යුතු වන්නේ ය.


එමෙන්ම මේ පිළිබද පින්තූර එක් කළ අයටද කියන්නට ඇත්තේ ඇත්ත දැන අවස්ථාවාදීන් නොවී "ආදරවන්තයන්ගේ සටන හා ගාල්ලේ ගෞරවය" හමුවේ නැගී සිටින ලෙසයි.

මා කියුවේ මා හට හැගුනු දෙයක් විනා කිසි කෙනෙක් කියූ දෙයක් නොවේ. අදහස් පළ කිරීමට පිලිගැනීමට හෝ නොගැනීමට අයිතිය සියල්ලන්ම සතු ය.  


ප.ලි. : මේ කියන්නට යෙදුනු අක්‍රමිකතාවය සෑම කෙනෙක්ම වටහා නොගන්නේ නම් කරන්නට දෙයක් නැත‍. එම බීමත් පුද්ගලයා කළ ක්‍රියාව පහත් ‍ක්‍රියාවක් ලෙස අපි ද දකිමු. නමුත් මහින්ද විද්‍යාලයේ ඇතැමෙක් එය අවස්ථාවාදීව යොදාගැනීම සාධාරණ ද? ඔබ සිටි පැත්තේ යකඩ වැට නිරුපද්‍රිතව තිබුනා ද? යකඩ වැටේ කම්බි කූරු කැඩීමේ සිද්ධිය පහත් ලෙස දකින ඇතැමෙක්ට මහින්ද විද්‍යාලයේ සිසුන් පිටිය මැදට පැමිණ ටර්ෆ් එකට කළ හානිය පහත් ලෙස නොදකින්නේ මන් ද? මහින්ද පිලේ බීමතින් කවුරුන්වත් කිසිම වැරැද්දක් නොකළේ ද? මෙහිදී තවත් එක් විශේෂයක් නම් රිච්මන්ඩ් විද්‍යාලයට අපහාස වන අයුරින් පින්තූර එක් වද්දී, පාසල ඉදිරිපිටට පැමිණ ජෝගි නටද්දී එය නොදැක මුනිවත රැකි දෙනා මෙම කරුණේදී ඉදිරියට පැමැණ ඇති බවයි. එය හුදෙක් අවස්ථාවාදය නොවන්නේ ද? ඔවුන්ට පහර පිට පහර වදින විට කිසිත් නොකියා සිටි ඇතැමෙක් ස්වර්ණවාහානියේ මෙය පළ වීමත් සමගම ඔවුන් පවසන අන්දමට "ඔටෝ චූන්" වී ඇත. මැච් එකේදී සෑම කෙනෙක් අතින්ම වැරදි වූවා යයි නොපිලිගන්නා මුක්ධයින් මෙය අවස්ථාවාදයක් කරගත් බව ප්‍රත්‍යක්ෂ වේ.


අනෙක් කරුණ නම් මෙහිදී රිච්මන්ඩ් වත් මහින්ද වත් විශේෂ නොකොට ආදරවන්තයන්ගේ සටන "මේ ආකාර" යයි ස්වර්ණවාහිනිය පෙන්වූ බව අමතක නොකළ යුතු වන්නේය. ඔවුන් මෙසේ ආදරවන්තයන්ගේ සටන ම විශේෂ කොට දක්වන්නේ ඇයි? "දවසේ වැරැද්දට" කොළඹ ප්‍රධාන පෙලේ පාසලක කිසිවෙක් කරන ලද වැරැද්දක් පෙන්වූවා ඔබ දුටුවා ද? එතරම් වැරදි එහි වෙද්දී ගාල්ලට පමණක් දොස් නගන්නට ඔවුන් ඉදිරිපත් වී ඇත්තේ ඇයි? 


මහින්ද පිළේ කෙනෙක් මේ ක්‍රියාව කරනු පෙන්වූවේ නම් ඇතැම් රිච්මන්ඩ්වරු එය අවස්ථාවාදයක් කරගන්නවා නිසැක කරුණකි. එය හුදෙක් එය දුටු නිසා ඇතිවූ හැගීම නිසාය. නමුත් තරගය පිළිබද කරුණු දන්නා කෙනෙක් නම් එය එසේ නොකරන්නේ දෙපිලෙන්ම වැරදි සිදු වූ බව හෘදසාක්ෂිය දන්නා බැවිනි. එසේ අවස්ථාවාදයක් මතුකරන්නට කෙනෙක් උත්සාහා දැරුවේ නම් අප විසින්ම ඔහුට කරුණු වටහා දී එය නිවැරදි කරන්නට යෙදෙන බව ප්‍රකාෂ කිරීමට කැමැත්තෙමි.


"උඹලා අපේ ඉස්කෝලෙ නෝන්ඩි කරපු නිසයි අපිත් කරේ" කියන්නන්ට කීමට ඇත්තේ ඇත්තෙන්ම ඔවුන් නෝන්ඩි කරන්නේ රිච්මන්ඩ් විද්‍යාලය නොව වසර 107 ක් පුරා පැවති ආදරවන්තයන්ගේ සටන බව යි. එමෙන්ම ඔවුන් හෑල්ලුවට ලක් කරන්නේ මුළු ගාල්ලේම අභිමානයයි. ඔවුන් එකග වන්නේ "කොළඹට කිරි අපට කැකිරි" සංකල්පයට යි.  අවබෝධකරගන්නට නුවනැත්තන් අවබෝධ කරගනු යෙහෙකි. 


අවබෝධ වූවා නම් ඔය අවස්ථාවාදී චින්තනයෙන් ඔබ්බට ගොස් යතාර්ථය දැක සත්‍යයට මුහුණ දෙන මෙන් සියල්ලන්ටම ආරාධනය කරමි.

Sunday, March 11, 2012

රිච්මන්ඩ් - මහින්ද සටන දැන් නම් හොදටම ඇති

මේ ලිපිය ලියන්නේ නැවතත් රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනට සමගාමීව සිදු වූ Parade සම්බන්ධ අක්‍රමිකතා සහ සමාජ ජාල වෙබ් අඩවි වල පළ වූ ඇතැම් දෑ පිළිබද නැවත හාරවුස්සන්නට නොවේ. නමුත් මෙසේ දෙයක් කලෙක සිදු විය. නැවත එවැන්නක් සිදු නොවේ ය යන්න තහවුරු කරලීමට ය. ඕනෑම පාසලකට මෙය පොදු කරුණක් ලෙස දකිමි. සිදු වූ දේ කියන්නේ නැතිව එයට පිළියම් සෙවීම කළ නොහැකි වන නිසා සිදුවූ දෙය සැකවින් ගෙන එමි.

2012 මාර්තු මාසයේ 9 හා 10 දෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනේ 107 වන ආදරවන්තයන්ගේ මහා සටන යි. මුළු ගාල්ල ප්‍රදේශය මෙන් ම මුළුමහත් ශ්‍රී ලංකාවේම අවධානය දිනාගත් ක්‍රිකට් තරගයක් වන මෙය ඉතාමත් උත්කර්ෂවත් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනි. Big Match සංස්කෘතියේ ලක්ෂන මෙහි ද දක්නට විය. මේ කාලය ආසන්න වන විට රිච්මන්ඩ් හා මහින්ද කොඩි වලින් දකුණු ලක අගනගරය පිරී යන්නට විය. සෑම රිච්මන්ඩ්වරයෙක් හා මහින්දීයයෙක් ම තම අනන්‍යතාවය පෙන්වන පරිදි බෑංගල් බැදීමටත් වෙදාට වඩා පන්ති වලදී තමන්ගේ පිල ගැන කතාබහ කිරීමටත් උනන්දු වී සිටි බව කිව යුතු ය. 

ඊට සමගාමීව පැවැත්වූ අනෙක් අංග නම් රිච්මන්ඩ් මහින්ද ශිෂ්‍යනායක සුහද 20-20 ක්‍රිකට් තරගය, රිච්මන්ඩ් හා මහින්ද සුහද විවාදය හා රිච්මන්ඩ් හා මහින්ද Parade එක. ප්‍රථමයෙන්ම පැවති 20-20 ක්‍රිකට් තරගය මහින්ද පිළ ජයග්‍රහනය කරන්නට යෙදුන බව මතක් කර සිටිමි. ඒ සම්බන්ධ උණුසුමු සුභපැතුම් ඔවුන්ට පුද කරන්නට කැමැත්තෙමු. එමෙන්ම මෙවර සුහද විවාදය රිච්මන්ඩ් විද්‍යාලයේ C.W.W. කණ්නංගර බහුකාර්යශාලාවේදී පැවැත්විය. එය ද සාමකාමීව නිමා විය. පසුව පසුගිය අගහරුවාදා (6.3.12) රිච්මන්ඩ් පැරඩ් එක පැවැත්වූවත් එයින් මහජනතාවට හා අප සහෝදර මහින්ද විද්‍යාලයට අපහසුතාවයක් ‍සිදු වූ බවට කිසිදු රාවයක් දක්නට නොලැබුනි. 

නමුත් පසු දින අසන්නට ලැබුනේ ඉතාම කණගාටුදායක සිද්ධියකි. කාවින්ද හර්ෂ ගනේවත්ත (Kavinda Harsha Ganewattha) නැමැති මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විසින් රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව දැඩි ලෙස සිත් රිදුම් දෙන ඡායාරූප කිහිපයක් එක් කර තිබුනි. ඒ සිද්ධියට උරණ වූ රිච්මන්ඩ් විද්‍යාලයේ සියල්ලන්ම ඒ කාරණය දැඩි ලෙස හෙලා දකින්නට විය. එමෙන්ම එය තම මෑණියන්ට කළ අපහසයක් සේ සලකා ලේ රත් වූ රිච්මන්ඩ්වරුන් විසින් කෝපය දරාගත ‍නොහැකිව විවිධාකාරයෙන් එය පළ කරන්නට විය. කෙසේ හෝ එම පුද්ගලයාට හෝරා කිහිපයකට වඩා තම ප්‍රොෆයිල් එක තබාගැනීමට නොහැකි තත්වයක් ඇති විය. ඔහු දැන් සොයාගැනීමටවත් නැත. 


මේ සිද්ධිය රිච්මන්ඩ්වරුන්ගේ සිත් තුළ රැවු දෙද්දී ඉන් පසු දින (8) මහින්ද විද්‍යාලයේ පෙරඩ් එකත් සමග පැමිණි යම් පිරිසක් රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ පාසලේ තාප්පය උඩ නැග විසුළු ආකාරයට රිච්මන්ඩ් විද්‍යාලයට අපහස වන පරිදි හැසිරී ගොස් තිබින. එමෙන්ම ඔවුන් විසින් පාසලේ තාප්පයේ කාන්තා යට ඇදුම් එල්ලා ගොස් තිබූ බවට පසුව ආරංචි වී තිබින. එපරිදි පාසලකට පැමිණ හැසිරී තම නිවෙස් කරා ගොස් එම පින්තූර හුදෙක් විහිලුවක් ලෙස සලකා අන්තර්ජාලයට ද එක් කර තිබුනේ ඔවුන් කළ ඒ අපහසය නිසා ඔවුන් "වැඩකරුවන්" පිරිසක් යයි ඔවුන්‍ගේ පහත් මානසිකත්වයට හැගුනු නිසා වන්නට ඇත. මින් උරණ වූ රිච්මන්ඩ්වරුන් ඔවුන‍ගේ කෝපය විවිධාකාරයෙන් ඉදිරිපත් කළ අතර මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින්නට විය. මෙය තවමත් විහිලුවක් යයි සිතා "එල මචං මැක්සා වැඩේ" යයි කියන්නට ඇතැම් මහින්දයන්(නියම මහින්දයන් යයි නොසලකන) කුහක වූ බවත්, ඒ අතර රිච්මන්ඩ් විද්‍යාලයට සිදුවූ අපහාසයට ඇත්තෙන්ම විරුද්ධ වූ "නියම මහින්දයන්" විසින් සමාව ඇයදූ බව ත් එය ප්‍රශංසනීය බවත් කිව යුතු ය.

සිදුවූයේ මෙයයි. එය සිදු විය යුත්තක් නොවුවත් එය දැන් සිදු වී අවසන් බව කිව යුතු ය. කළ යුත්තේ එය හඹා ගොස් පහර පිට පහර ගැසීම නොවේ. එය නිවැරදි කරගැනීම සහ මෙවන් දෑ නැවත සිදුවීම වැලැක්වීමයි. මෙය අවසානයක් කරමු. නැවත මෙවන් සිද්ධි සිදුවීමට ඉඩ නොදෙමු. එමෙන්ම මහින්ද විද්‍යාලය ඉහත සදහන් කළ පුද්ගලයා කළ ක්‍රියාව හමුවේ සමස්ථ රිච්මන්ඩ් ප්‍රජාවගෙන්ම සමාව අයැද සිටීම ප්‍රශංසනීය බව කිව යුතු ය. 

රිච්මන්ඩ් හා මහින්ද යන විද්‍යාල දෙක අතින්ම එකිනෙකාව වැරදි සිදුවී නැතුවා නොවේ.. එම නිසා සියලුම දෙනා මේ සම්බන්ධව තවත් වාද නොකර ඒ අමිහිරි මතකයන් අතීතයටම එක් කර වර්ථමානයේ හා අනාගතයේ මෙවන් දෙයක් සිදු නොවීමට වග බලාගන්නා ලෙස සියළුම දෙනාගෙන් අයැද සිටිමි. රටට වැඩක් කළ හැකි පාසල් දෙකක් ප්‍රධාන කර්තව්‍ය වන එයින් මිදී මෙලෙස විවාද කරගැනීම නවත්වා රට බබලවන්නට කටයුතු කරමු.

108 වන ආදරවන්තයන්ගේ සටන අපි සියල්ලන්ම සමරමු අභිමානයෙන්...!!!
ස්තුතියි

ඔබ මේ සමග එකග ද? නැද්ද?

Friday, March 9, 2012

Big Match උණුසුම සහ පාසල් වල කීර්තිනාමය කෙලෙසීම

මේ දවස් කීපයේම රිච්මන්ඩ් මහින්ද වගේම අනිත් බිග් මැච් තියන පාසල් වලත් තත්වය උණුසුම් වැඩි වෙමින් පැවතිලා බිග් මැච් එකට කලින් දවස් කීපයේම ඒ උණුසුම උපරිම අගයකට ලගා උනා කිවුවොත් නිවැරදියි. බොහෝ දෙනෙක් තමුන්ගේ පාසලටයි මේ වසරේ ජය ලැබෙන්නෙ කියලා තමන්ගේ status පුරවගෙන තිබ්බා. ඒත් එක්කම තමන්ගේ පාසලේ ලාංඡනය යොදාගෙන තිබ්බා. ඒ අතරෙදි තවත් පිරිසක් අනිත් ඉස්කෝල වලට මඩ ගහන්න නින්දිත විදිහේ උපක්‍රම භාවිත කරලා තිබ්බා. ඒ ගැනයි මේ අවධානය.

ඇත්තෙන්ම බිල් මැච් කාලෙ තමන්ගේ පාසල් ගැන කියවෙන්න ඕන.. ලියවෙන්න ඕන.. පෙරඩ් යන්න ඕන.. පොඩ්ඩක් කෑ කෝ ගහන්න ඕන.. විවාද කරගන්න ඕන.. කොඩි දාන්න ඕන.. බෑංගල් බදින්න ඕන.. නැත්නම් බිග් මැච් එකක් තියන එකෙන් කිසි වැඩක් වෙන්නෙ නෑ. ඒත් එක දෙයක්.. තමන් තමන්ගේ පාසල ගැන කියනවා කියන්නේ කවදාවත් අනිත් පාසල පහත හෙලනවා කියන එක නෙමෙයි. ඒ දේ තේරුම්ගන්න ඕන අපි හැමෝම.. බිග් මැච් කාලෙට විතරක් නෙමෙයි ඕනම වෙලාවකදී.

මම අවුරුදු 13 ක් තිස්සෙ යන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයට. රිච්මන්ඩ් එක මම සලකන්නෙ මගේ දෙවනි අම්මා විදිහට. රිච්මන්ඩ් එක ගැන මොකක් හරි වැරදි දෙයක් යනවා නම් මට ඉවසන් ඉන්න බෑ. තමන්ගේ අම්මාට ආදරේ ඕන කෙනෙක් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එහෙම වෙන කෙනෙක්ගේ අම්මා කෙනෙක්ට කිසි වරදක් නැතුව කියවන්න තරම් මානසිකත්වයක් කොහෙන් සමහරුන්ට ලැබෙනවා ද කියන එක මට නම් ප්‍රශ්නයක්. රිච්මන්ඩ් අම්මා නම් කවදාවත් අපිට ඒ විදිහට කියලාදීලා නෑ. රිච්මන්ඩ් එකේ අපි කරන්නේ නම් අපේ ඉස්කෝලේ ගැන ටිකක් පම්පෝරි ගහගන්න එක. ඇත්තටම එහෙම කරන්නෙ පම්පෝරි ගහන්න තරම් වැදගත්කමක් රිච්මන්ඩ් විද්‍යාලයට තියන නිසා. අනිත් ඉස්කෝල වල අයත් එහෙම කරන්නේ ඒ හේතුව නිසාම කියලා මම දන්නවා. 

ඇත්තෙන්ම මේක ලියන්න හේතු වුනේ පහුගිය දවස් ටිකේ යම් පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් ෆේස්බුක් වෙබ් අඩවියේ රිච්මන්ඩ් විද්‍යාලයට අවමන් වෙන විදිහේ දේවල් නින්දිත විදිහට පළ කරලා තිබීම. ඇත්තෙන්ම මේ කතාව දැනගත්තාම ලොකු කේන්තියකුත් කළකිරීමකුත් ආවා. ඒ නිසයි මේ දේ ලියන්නේ. පාසලක් කියන්නෙ තමන්ට හොද නරක කියලා දීලා ගුණවත් නැණවත් මිනිස්සු පිරිසක් මේ සමාජෙට දායාද කරන තැනක්. ඒත් ඒ පාසලට යන ළමයින් කරන්නේ අනිත් ඉස්කෝල වලට නින්දා වෙන්න වැඩ කරන එක නම් ඕනම කෙනෙක් ඒක හෙලා දකින්න ඕන. රිච්මන්ඩ් එකේ කෙනෙක් ඒ විදිහේ වැඩක් කරත් ඒක අන්තිම වැරදියි. ඒ වගේ අය ගැන අනිත් පාසල් බලාගන්න කලින් අපිම බලාගන්නවා. මොකද ඒ අපිට රිච්මන්ඩ් අම්මා කියලා දුන්න පාඩම් වලට අදාල දෙයක් නොවන නිසා. 


ඒ දේ අනිත් ඉස්කෝල වලිනුත් අපි ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. මේ වගේ නින්දිත වැඩ කරන අය ගැන ඒ පාස‍ල් වලම දැනුම් තේරුම් තියන අය බලාගන්නවා නම් ගොඩක්ම හොදයි. මේ වගේම නින්දිත වැඩක් කලිනුත් කරලා තිබ්බා රිච්මන්ඩ් විද්‍යාලයට. ඒ පාර පාඩමක් ඉගෙන නොගන්න ඇති. ඇත්තටම තමන්ගෙ අම්මාට ගරහද්දි ඕන කෙනෙක්ගෙ ලේ රත් වෙනවා. ඒ කෝපය කොයි ආකාරයෙන් පිටවෙයි ද කියන එක කාටවත් කියන්න බෑ. යම් පාසලකට, පාසලක කොඩියකට, නිල ලාංඡනයකට අවමන් කරන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න. 

මේ දේවල් කරපු පුද්ගලයෙකුගේ ප්‍රොෆයිල් එක අද හොයාගන්නත් නෑ. 
ඒ නිසා තමන් මොනවා කරත් තමන්ගෙත් අනුන්ගෙත් ගෞරවය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න..
ජාති ආගම් කුල භේධයක් නෑ..
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො..
අපි හැමෝම අපේ අම්මාට ආදරෙයි..

Never mind a knock or two.. 
Never Fear the Fight..
Get up on your fit again, 
for RICHMOND's honor bright.. 

Thursday, March 8, 2012

Big Match නොදුටු පැත්ත | ගිය අවුරුද්දෙ අද වගේ දවසක

මේක ලියන්න පටන්ගන්නකොට රෑ 10.00 යි. මීට අවුරුද්දකට කලින් රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනට කලින් දවසේ රෑ මේ වෙලාව වෙද්දි මම හිටියෙ රිච්මන්ඩ් ටෙන්ට් එක උඩ තොරණ සරසන ගමන්. ගිය අවුරුද්දේ තොරණ ඇත්තටම ගොඩක් ලස්සනයි. කොහොම හරි අපි උදේ 6 වෙනකනුත් තොරණ උඩ. 5 ට විතර මහ වැස්සක් කඩං හැලුනා. ඒ වෙද්දි මම කණුවක් උඩ නැගලා කටවුට් එකක් අල්ලගෙන. කොහොම හරි වැස්ස ඉවරවෙද්දි අපි හොදටම තෙතබරියං වෙලා‍. ඒත් අපේ අවුරුද්දෙ හිටපු සබ් ප්‍රිෆෙක්ට්ස් ලා යි සීනිය(ර්) ප්‍රිෆෙක්ට්ස් ලයි වැඩේ අත්තරින්නැතුව දිගටම කරගෙන ගියා. 

අන්තිමේදි ඔක්කොම වැඩ ඉවර වෙද්දි උදේ වෙලා. මම 6 පහු වෙලා ගෙදර ගිහින් අනිත් දවසේ 9 වෙද්දි ආවා එදා ඩියුටි කරන්න. කොහොම හරි (මහින්දෙ යන අය තරහා වෙන්න නම් එපා මෙහෙම කිවුවාට) අපේ ටෙන්ට් එක ගොඩක් ලස්සනට තිබුනා. ඒක තනිකර ලී වලිනුයි ‍බෝඩ් වලිනුයි තමයි ගහලා තිබ්බේ. ලස්සනට පාට කරලා ගොඩක් මහන්සි උනා මුළු ශිෂ්‍ය නායක මණ්ඩලයම ඒ වෙනුවෙන්. මහින්දෙ ටෙන්ට් එක අවතක්සේරු කරනවා නම් නෙමෙයි. ඒත් ඒක ගහලා තිබ්බේ රෙදි වලින්. කටවුට් 3 ක් විතරයි ගහලා තිබ්බේ. හැබැයි අපි තරම් වෙලා ගි‍යේ නෑ ඒක ගලවන්න ගහන්න එහෙම. 

අයියෝ අයියෝ මම මේක ගහන්න හිතුවෙ කාටවත් මඩ ගහන්න නෙමෙයි. ඒත් කෙනෙක්ගෙ දෙයක් ගැන හොද කියද්දි අනිත් අයට දුක හිතෙනවා. ඒක ස්වභාවය. ඇත්තටම රිච්මන්ඩ් එකේ මහින්දෙ කොල්ලොන්ට ඒ දේ දැනෙන්නෙ අනිත් මොකක් නිසාවත් නෙවෙයි, තමන්ගෙ ඉස්කෝලෙට තියන ආදරේ නිසා. ඇත්තටම නොදුටු පැත්ත ගැන කියලා මේ ලිපිය ලියන්නෙ ශිෂ්‍යනායක මණ්ඩලේට සුභ පතන්න හිතාගෙන. ඒ අය බිග් මැච් එක වෙනුවෙන් කොච්චර නම් දේවල් කරනවා ද කියලා සමහර විට හිතාගන්නවත් බෑ.



ඇත්තෙන්ම බිග් මැච් එක විතරක් නෙමෙයි, First Flag එක දාන්න කොච්චර මහන්සි වෙනවා ද, Prize Giving එකක් තියන්න කොච්චර මහන්සි වෙනවා ද, Assembly එකක් තියන්න කොච්චර මහන්සි වෙනවා ද, ඒ වගේම වැදගත්ම දේ තමයි ඉස්කෝලෙ විනය කියන එක රැකගන්න කොච්චර මහන්සි වෙනවා ද කියන එක ගොඩක් අය දන්නෙ නෑ.

හෙට බිග් මැච් එක නිසාත් අද ලාස්ට් නයිට් එක නිසාත් තමයි මේක ගැහුවේ. 
එහෙනම් ටෙන්ට් උඩ නැගගෙන දැං කට්ට කන රිච්මන්ඩ් එකේ ප්‍රිෆෙක්ට්ස් ලාට යි මේ..
උඹලා එක්ක ගිය අවුරුද්දෙ මම හිටියා.. අද මං නැති උනා කියලා අවුලක් නෑ නේ..
මං අද පන්ති ගිහිං එන ගමන් බලාගෙනයි ආවෙ.. උඹලා ඒ වෙද්දිත් කණු උඩ.. 
දුකේ බෑ.. දැක්කාම නගින්න හිතෙනවා ගිය අවුරුද්දෙ වගේ..
කොහොම හරි,
දෙපැත්තෙම ප්‍රිෆෙක්ට්ස්ලාට,
පෙන්නපල්ලා කොල්ලනේ ගාල්ලෙ කොල්ලංගෙ වැඩ..
උඹලාට සුභපැතුම්..

අපි සමරමු රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන හැමදාම වගේ..
අභිමානයෙන්...!!!  

නිවට ඇනොනිමස්ලා සහ කොන්දක් නැති ෆේක(ර්)ස් ලා

පළමුවෙන්ම කියන්න ඕන මේ කියන්න යන්නෙ කාටවත් වරදක් නැති ඇනොනිමස්ලා ගැන වත් තමන් ගැන ලෝකෙට හැංගුවාට කිසි කෙනෙක්ට වරදක් කරන්න හිතන්නෙ නැති ෆේක් ප්‍රොෆයිල්ස් තියන අය ගැන වත් නොවන බව. මේ කියන්න යන්නෙ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති කෙනෙක්ගෙ සිතුවිලි වලට රිද්දලා කාළකණ්නි සතුටක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොන්දෙ වක්‍රතා අරය විචල්‍ය අගයන් ගන්න නිවට ඇනොනිමස් අයයි ෆේක(ර්)ස් ලා ගැන.

අද ගොඩක් අය ෆේක් ප්‍රොෆයිල්ස් හදාගෙනයි ෆේස් බුක් එකේ ඉන්න හදන්නේ. මේ අතරින් තමන්ගෙ නම ගම විස්තර හංගගෙන කාටවත් වදයක් නැතුව ජීවත් වෙන මිනිස්සු වගේම මහා සල්ලාල ගති පැවතුමු තියන අමන රොත්තකුත් නැතුවාම නෙවෙයි. ඒත් එක්කම විශේෂයෙන්ම ෆේස් බුක් සමාජ ජාල අඩවියේ ඉන්න සමහරු කෙල්ලන් විදිහට පෙනී ඉන්න පුදුම කැමැත්තුයි දක්වන්නෙ. කෙල්ලො විදිහට තමන්ව පෙන්නලා අනිත් කෙල්ලොන්ගෙ පෞද්ගලික තොරතුරු දැනගන්න නරුමයොත් ඉන්නවා මේ අතරෙ. සමහරු කෙල්ලො වගේ පෙනී ඉදලා කොල්ලොත් එක්ක කතා කරන්නෙ එක්කො අනිත් එකාව ගොනාට අන්දන්න, නැත්නම් මූග්‍යමය ලාභයක් හොයාගන්න, ඒත් නැත්නම් අනිත් කෙනාව බ්ලැක්මේල් කරලා අපහසුතාවයට පත් කරන්න. ඒ අයගෙ කියුම් කෙරුම් වලින් බැටකාපු අය නම් නොදන්න අය ඇඩ් කරගන්න කලින් දැනට තමන්ගෙ ප්‍රොෆයිල් එකේ ඉන්න නොදන්න අය අයින් කරන්න වග බලාගන්නවා. 

ඒත් එක්කම බ්ලොග(ර්) එකේ ඇනොනිමස් ලා ගැන කියන්න කැමතියි. බ්ලොග් කියවමින් සැරිසරන අතරතුරේදි තමන්ට හම්බුවෙන හොද නිර්මාණ වලට අදහස් පළ කරන්න ඇනොනිමස්ලා ටත් ගොඩක් අය ඉඩ දීලා තියනවා. ඒ නිදහසෙන් තමන්ට දැනෙන දේ හොද නරක කියලා යන අය වගේම ඒ මනුස්සකමට දීලා තියන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරුමයොත් ඉන්නවා. හොද බ්ලොග් ලිපියක් දැක්කාම ඇතිවෙන අමුතු උත්තේජනයක් නිසා ඔවුන් හදන්නේ ඒක කොහොම හරි විනාස කරලා දාන්න. ලෝකෙ නැති ජරා වචන ඔක්කොම ඒකෙ ගහලා ඒක කරපු නිර්මාණකරුවාට කළකිරීමක් වගේම දුකක් එක් කරන විදිහෙ වැඩක් කරාම ඒ කෙනාට මොනවගේ සතුටක් දැනෙනවා ද කියන එක නම් ප්‍රශ්නයක්. 

ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙ දක්ෂතා, හැකියාවන් වලට ඊරිසියා කරන, තමන්ට ඒ දේ කරගන්න බැරි වෙන්න හේතු නොසොයා අනිත් කෙනා ගෙ හැකියාවන්, දක්ෂතාවයන්ට ගරහන්න නිර්ලජ්ජාසහගත කමෙන්ට් එකතු කරන අය නැතුවාම නොවෙයි.  

ඇත්තටම ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියන එක ප්‍රශ්නයක්. මම දකින විදිහට නම් දෙයක් කෙලින් කියන්න කොන්දක් නැති කෙනෙක්, ඒකෙනා කියන දේ කියන්න ඕන පුද්ගලයාගෙ පෞර්ශය ඉස්සරහා කියාගන්න බැරි නිවටයින් තමයි  එහෙම දේවල් කරන්නෙ. ඒත් එක්කම කියන්න ඕන මේ දේවල් වැඩිපුර සිද්ධ වෙන්නෙ පිරිමි පාර්ශවය අතින්. ඇත්තටම ඒ වගේ නිවටයින්ට "පිරිමි" කියන එක පිරිම්කමට කෙරෙන අවමානයක්. පිරිමියෙක් නැත්නම් හොද මිනිහෙක් කියන්නෙ ම දකින විදිහට නම් කිසිම දේකට පැකිලෙන්නෙ නැති කෙනෙක්ට. තමන්ට හරි කියලා හිතෙන දේ ඒ විදිහට පිලිගන්නත් වැරදියි කියන දේ ඒ විදිහට පිලිගන්නත් ඔහුට හැකියාවක් තියෙන්න ඕන. ඔහුට ඒ වෙනුවෙන් නැගී සිටින්න ඕන නම් ඔහු කරන්න ඕන ඒ දේ ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරන එක මිසක්, තමන්ගේ නිවට බව පෙන්නන්න (ඕකට කියන හරි ම වචනෙ දන්නවා නෙ) ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන තමන්ව හංගගෙන මෙලෝ සතෙක්ට වැඩක් නැති ලැජ්ජ නැති කමෙන්ට් ගහන එක නෙමෙයි. 

එකග ද?
නැද්ද?


මට යමක් කරන්න ඕන නම් මං ඒ දේ කරන්නෙ කෙලින්. ඒ මගේ හැටි. මට මේ විදිහට හිතුනෙ ඒ නිසා වෙන්න ඇති...

ප.ලි. : මේක කාලෙකට කලිං ලියපු එකක් අද පබ්ලිශ් කරාට..  


ප.ප.ලි : මේ ලියන්නේ ඇනෝ නමින් පෙනී ඉදන් කමෙන්ට් කරන අය හැමෝ ගැනම නෙමෙයි. මේකෙන් අවධානය යොමු කරලා තියෙන්නෙ බ්ලොග් අඩවි විනාස කරන්න උත්සාහා කරන ලැජ්ජ නැති අය ගැන. තමුන් ඇනෝ කෙනෙක් විදිහට පෙනීසිටීමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ. නමුත් ඒ පෙනී ඉන්නෙ වැරදි චේතනාවකින් නම්, ඒ ගැනයි මම අවධානය යොමු කරේ..

අවසර නැත අද


වරෙක දිවිය සරසන්නවුන් අපේ මයි අප හට හැගේ..


විටෙක ඔවුන් කොතෙක් ළග නොරැදුනද, ළග ඇත්තා සේ හැගේ..


කිසිවිටෙන ඔවුන් ගැන මතකයන් අමතක නොවේ..


එහෙත් ඔවුන් ගැන කෙදිනකවත් මතක් කරනට නොවෙහෙසේ..


කලක් ගත වන තුරුම ඔවුන් අසලම රැදේ..


කොතෙක් වෙනසක් වුවත් එය සිතට නොම දැනේ..


දිනක් තවෙකක් නිරතුරුව මුන නොගැසුනත්,


ජීවිතේ  කිසිදු වෙනසක් අපට නොම දැනේ..


කලක් ගත වී ගොසින් මතකයන් අවදි කර..


සිටී සිත් රැදුනවුන් කොයිබදැයි අප සොයයි..


හඩයි වැලපෙයි එදින කිසි දිනෙක නොම දැනුන..


හැගීමක් අප සතුව පුලිගුවක් සේ පනියි..


දුටු විටදි කලක් තිස්සේ සිතේ රැදුනවුන්..


විදින විට සුව පහස..


තමන් හට නොකියාම..


සොහොන් කොත තුළට වී..




Wednesday, March 7, 2012

මම නාකි වෙනවා වගෙයි | මේ අවුරුද්දෙ නැතිවුන දේවල්

ආගන්තුකයා ලොකු ලොකු කතා ලිවුවාට තාම අවුරුදු 18 යි. ඒ අවුරුදු 18 තිස්සේ ලබපු අත්දැකීමි නම් එමටයි. වැඩිපුරම අත්දැකීම් එකතු කරගත්තෙ ඉස්කෝලෙන්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඒ දේවල් ජීවිත කාලයකට අමතක වෙන්නෙ නෑ. ‍මේ 17 වෙනිදා ආගන්තුකයා ට අවුරුදු 19 යි. ඒ කියන්නෙ තව අවුරුද්දකින් නාකි වෙනවා. ආයු කාලෙ අවුරුදු 65 ක් නම් තව අවුරුද්දකින් මරණෙට ලං වෙනවා. මැරෙන්න කලිං ජීවත් වෙන්න ඕන නිසා ජීවි‍තේ ජීවත් උන කාලෙ ගැන පසු විපරම් ගොඩක් බ්ලොගයේ කරලා තියන නිසා ත් මොනවාම හරි කරන්න ඕන නිසා ත් තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.

මෙච්චර කාලෙකට ආගන්තුකයා ගැන කරපු පසු විපරම් තමයි මේ,

මේ දේවල් ජීවිතේ තියන මතකයන්. මේ අවුරුද්දේ ආගන්තුකයා ගොඩක් දේවල් නැති කරගත්තා. ඇත්තෙන්ම ගොඩක් දේවල් වලට සමු දුන්නා. ඒ වගේම ගොඩක් දේවල් ගැන කළකිරුනා. ඒ නිසා මේ උපන්දිනේදි තව මොනවා නැති වෙයි ද කියලා දන්නෙ නම් නෑ.

අවුරුද්ද පටන් ගත්ත ගමන්ම තිබ්බේ වාර විභාගෙ. මෙච්චර කාලයකට ආගන්තුකයා ගත්ත අඩුම ළකුණු ගාන අරගෙන පන්තියේ මෙච්චර කාලෙකට ගත්ත අඩුම තැනට (8 වෙනියාට) වැටුනා. ඊට පස්සෙ තිබ්බෙ ආගන්තුකයා අවුරුදු ගාණක් තිස්සේ කරන්න පුළුවන් හැමදේම කරනවා කියලා හිතන් උන්න "රිච්මන්ඩ් සයන්ස් ඩේ" එක. ගිය අවුරුද්දෙ රිච්මන්ඩ් ප්‍රිමියර් ලීග් එකේ සභාපති විදිහට වැඩ කරලා ඒක සාර්ථකව නිම කරලා, 2011 නිවාසාන්තර ක්‍රීඩා උළලේ අපේ නිවාසෙ නායකයා විදිහට වැඩ කරලා මතක ඇති කාලෙක අන්තිම තැනින් උඩට නාපු "ස්මෝල්" නිවාසෙ දෙවෙනි තැනට අරගෙන (පළවෙනි තැන ගන්න ඕන උනේ ළකුණු 6 ක් හරි 7ක් හරි. අපෙයි 3 වෙනි තැනයි අතර පරතරය ළකුණු 20 කටත් වැඩියි) ඒකත් සාර්ථකව කරලා, ප්‍රාසාංගි එකේ භාරදුන්න සංගීත කණ්ඩායම දවස් 3 කටත් අඩුවෙන් පුහුණු කරලා හොද මට්ටමකට අරගෙන, රිච්මන්ඩ් එකේ ප්‍රයිස් ගිවින් එකේදි ශිෂ්‍යනායක මණ්ඩලේට ලොකු තැනක් ගන්න වැඩ කරලා (පෞද්ගලිකවම මිස්ලා සර් ලා හාමුදුරුවරු ඒ දේ නොහිතපු තරම් ඉහලින් අගය කරා) ලොකු ආත්ම විශ්වාසෙකින් යුතුවයි "සයන්ස් ඩේ" එක සුපිරියට කරනවා කියලා හිතාගෙන හිටියෙ. ඒත් ඒකෙ වැඩ පටන් ගත්ත ගමන්ම බොරු බේගල් වගයක් කියලා මට "සයන්ස් ඩේ" එකයි කොල්ලොන්වයි එපා කෙරෙවුවා. ඇත්තෙන්ම එච්චර බලාපොරොත්තු තියන් හිටි දෙයක් අත්තැරියෙ හිතට ආපු කළකිරීම නිසාමයි. 

මට ඒක කොච්චර නම් එපා උනා ද කියනවා නම් අච්චරම ආසාවෙන් කරනවා කියලා හිතපු දෙයක් බලන්නවත් යන්නෙ නෑ කියන තැනට මම පත්වුනා. ඒත් කොල්ලො මැරීගෙන වැඩ කරද්දි ගොඩක් දුක හිතුනා ඇත්තෙන්ම. ඩේ එකට කලින් දවස් දෙකේ නයිට් එකට මම ගියා. මට කරන්න පුළුවන් හැමදේම මම කරලා දුන්නා හිතේ කහටක් තියාගන්නෙ නැතුව. ඒ වෙද්දි යාළුවො මට කිය කිය හිටියෙ, 

Sunday, March 4, 2012

බැරි දේ කරන්නට යාම (සින්දු කියනවා වගේ :/)

ආගන්තුකයා ගොඩක් කැමතියි පරණ සින්දු වලට. ඇත්තෙන්ම අද කාලෙ සංගීතෙ විරලව තියන අර්ථ රසය පුදුම විදිහට ගැබ් වෙලා තියනවා ඒ සින්දු වල. අපි "දැන් සින්දුවකට" කොච්චර කැමතියි කිවුවත්, ඒ කාලෙ සින්දු තාමත් අපේ හිත් වල තාමත් රැවු දෙනවා. ආගන්තුකයා හැබැයි නිකං ඉන්න ජාතියෙ කෙනෙක් නම් නෙමෙයි. කොහොම හරි සින්දුවක් මතක් උනා නම් මුමුණනවාම තමයි. 

ආගන්තුකයා ගේ වේදිකාව තමයි බාත්රූම් එක. "මේ ලෝකය බාත්රූම් එකක් උනා නම් මා හට ද ගායකයෙක් වන්නට තිබුනා" කියලා ආගන්තුකයාටත් නොහිතුනා නොවෙයි. ඒත් ආගන්තුකයා පොඩි අලුත් පියවරක් තියන්න තීරණය කළා. ඒ තමයි "බාත්රූම් එකෙන් ඔබ්බට" කියන සංකල්පෙ ගේන එක. මොකක්ද කියලා තේරෙයි දැන්.. 

Friday, March 2, 2012

බ්ලොග් හිට්ස් 10,000+ | සිංහල බ්ලොග්කරණය


ගිය අවුරුද්දෙ (2011) මැයි මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්ත මම මාව එදා ඉදන්ම හදුන්වගත්තෙ ආගන්තුකයා විදිහට. මම මේ ලිපිය ලියන්නේ මගේ බ්ලොග් අඩවියේ හිට්ස් 10,000 සීමාව අද සම්පූර්ණ උන නිසා. ඇත්තටම මට පුදුමයි එච්චර වතාවක් මගේ බ්ලොග් එක බැලුනා කිවුවාමත්. ඇත්තමට මම වෙලාවකට ලියනවා, තව සති ගාණක් අත්තැරලා දාලා ඉන්නවා, බ්ලොග් එක ඩිලීටි කරනවා.. මේ හැම දෙයක්ම අස්සෙ බ්ලොග් එක මෙච්චර ගාණක් බැලුවා කිවුවාම පුදුමයි. කො‍හොම උනත් අදවෙනකන් (සහ ඉදිරියටත්) මම මගේ බ්ලොග් එකේ ලියන්නේ මට දැනිච්ච දේවල් සහ මගේම නිර්මාණ. ඒක ගැන මට සතුටුයි. 

Thursday, March 1, 2012

සිංහල බ්ලොග්කරුවන්ටයි මේ ස්තුතිය...


"සිංහල බ්ලොග්කරණය | Sinhala Art of Blogging" මගේ උසස් පෙළ ව්‍යාපෘතියේ ඔක්කොම වැඩ ඉවර කරලා භාර දුන්නා මේ සදුදා. මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ ඒකට උදවු කරපු බ්ලොග් අවකාෂයේ මගේ මිතුරන්ට ස්තුති කරන්න. ඔක්කොටම කලිං කියලා ඉන්නම් කවුරු කවුරු ගැන ද මගේ  ප්‍රොජෙක්ට්  එකේ ලියවුනේ කියලා.


හිම හංසි
සිත් විනිවිද
සිත් අහස
වැහි පොදක්.
කූල් චිරාන්
මතක වස්තුව