Thursday, June 30, 2011

අපේ මිස්


කට්ටිය බලනවා ඇති ආගන්තුකයා ට පිස්සු හැදිලා ද මේ පොඩි කාලෙ මාතෘකා තෝරගන්නෙ කියලා. ඒත් ඉතිං මේක ලියන්න ඕන කියලා හිතුනා. අපේ මිස්.. ඒ කියන්නෙ 2012 A/L කරන්න ඉන්න පිස්සු කොලු රොත්තකට උගන්නන අපේ මිස්.. ‍


මිස් අපේ ඉස්කෝලෙට එන්න කලියෙං වැඩ කරලා තියෙන්නෙ අපේ කන්ද උඩ තියෙන ඉස්කෝලෙ ලු නෙ.. මොනා උනත් මිස් අපේ ඉස්කෝලෙට ආව එක නම් අපේ (කාට කෙසේවෙතත් මගේ) වාසනාවක්. එහෙනම් ඉතිං ඔච්චර අගේ කරන් නැතුව ආගන්තුකයා කියන්නම් මිස් ගැන මෙහෙම ලියන්න හිතුනෙ ඇයි කියලා.

ඔන්න දෙවනි වාරෙ Prize Giving එක. ආගන්තුකයා ට Progress Report එක අරන් යන්න  අමතක උනා කියමුකො. මිස් ඇවිත් අහපි, "ආගන්තුකයෝ, මොකෝ මේ මෙහෙම අමතක වෙලා වැඩ කරන්නෙ. ආයෙ පාරක් මේ A/L පන්ති වල Progress Report එකක් ලැබෙන්නෙ නෑ නේද.." කියලා. ආගන්තුකයා ට කියන්න දෙයක් නෑ. ආගන්තුකයා කිවුවා, "මොනවා කරන්නද මිස්, දැන් ඉතිං කමක් නෑ" කියලා. ආගන්තුකයාට ඒ ගැන ගානක් ගියේ නෑ. ඉස්කෝලෙ අරින්න මිනිත්තු 40 කට විතර කලිං මිස් මට එන්න කිවුවා. මාත් ගියා. "පුතේ මේ Progress Report ටික කණ්ඩම්බි ට දෙන්න Principal ට කියලා අත්සන් කරගන්න.. ආ මේ ආගන්තුකයා ගෙ එකත් ඇති. නමයි එඩ්රස් එකයි ලියලා ඒකත් තියන්න" ආගන්තුකයාට කිසි දෙයක් අවබෝධ උනේ නෑ. පස්සෙ ඔක්කොම තේරුනේ. මිස්ගෙ අතින් සල්ලි දාලා මිස් මට රිපෝට් එකක් අරගෙන, ඒකෙ මේ වාරෙ ළකුණු යි ගිය වාරෙ ළකුණු යි සේරම ලියලා. ඒ වෙලේ ආගන්තුකයා ට ඇතිඋනේ මිස් ගැන ලොකු ගෞරවකයක්. ඒත් එක්කම ආගන්තුකයා ගැන ලොකු ලැජ්ජාවක්. අපි අපි ගැන නොහිතුවාට ගුරුවරු අපි ගැන කොච්චර හිතනවාද කියලා එදයි තේරුනේ.

ආගන්තුකයා ට ට්‍රිප් එක යන එක එපා ම වෙලා තිබුනේ. ඒත් අපේ මිස් කියපු නිසා යි යන්න හිතුවේ. ඒත් සල්ලි ටික ලට්ට ලොට්ට පිටින් නැති උනා නෙ.  (දන්නෙ නැත්නම්http://jnsx3nd.blogspot.com/2011/06/blog-post_24.html බලන්නකො) ඒක ඉවරයි. ඔන්න දැන් කට්ටිය ආයෙම ට්‍රිප් එක යනවා ලු. ආගන්තුකයා ට එන්න හිතක් නෑ. ඔක්කොම එපා වෙලා. හෙට ලු යන්නෙ. අද ආගන්තුකයා ඉස්කෝලෙ යන්න නැගිටලා බතුත් කන ගමන් ඔලුවෙ කැක්කුමක් ගත්තා. පුදුම විදිහට. ඊයෙ 9 වෙනකං පන්ති ගිහින් හිටපු නිසා වෙන්න ඇති. කොහොම හරි ආගන්තුකයා නිදාගෙන හාන්සි වෙලා ඉන්නකොට නාදුනන නොම්බරේකිං කෝල් එකක් එනවා. කෝල් එක ගන්න හිතකුත් නෑ. ඒත් ගත්තා. උස්සපු ගමන්,

*ආගන්තුකයෝ ඇයි ඉස්කෝලෙ ආවෙ නැත්තෙ.. සුපුරුදු හඩක්.. ඒ අපේ මිස්...
*අනේ මිස් එන්න ලෑස්ති වෙලා හිටියෙ. ඔලුව රිදෙන්න ගත්තා.. ඊයෙ ත් රෑ වෙනකං පන්ති නෙ මිස්..
*ආ කමක් නෑ.. මේ ළමයි ආගන්තුකයා ගෙ නමත් දාගෙන ඉන්නෙ ට්‍රිප් එක යන්න.. එනවා නෙ..
*අනේ බෑ මිස්.. මට එපා වෙලා තියෙන්නෙ මිස්..
*එහෙම කියන්න එපා දරුවො.. ඔක්කොටම කලිං පැනඩෝල් එකක් බීලා ඉන්න කො.. හැමෝම කියන එකේ යමු. සල්ලි නම් මම උනත් දෙන්නම්.
-ආගන්තුකයා ට කියාගන්න දෙයක් නෑ. මිස් ගෙදරටම කෝල් කරලා එන්න කියනවා. මොනවා කියන්නද-
*අනේ මන්දා මිස්..
*ඔය හිතේ තියන ප්‍රශ්න ඔක්කොම ඇරිලා යයි. ට්‍රිප් එක යමු.
හරි මිස් මම එන්නම්. මිස් සල්ලි දාන්න ඕන නෑ මම දෙන්නම්. ආගන්තුකයා කිවුවා නෙමෙයි කියවුනා.

මිස් කෙරේ තියෙන ගෞරවය හැමදාමත් වැඩි වෙනවා. මිස් ඇත්තටම ආගන්තුකයාට අම්මා කෙනෙක් වගේ. මේ වගේ මිස් කෙනෙක් ලබන්න ආගන්තුකයා වාසනාවන්තයි. ඇත්තටම. හැම ගුරුවරයෙක් ම මෙහෙම උනා නම්....
මිස් කෙනෙක් ගැන රත්තරං අදහසක් කියන්න තියනවානම් කියන්න. ඇත්තටම අපේ මිස් කොච්චර හොදද?

Monday, June 27, 2011

මගේ ළමාවිය


මට නිකං ඉන්න හැම වෙලාවකම මතක් වෙන දෙයක් තියෙකවා. මගේ පුංචි කාලෙ. ඒ කාලෙ කොච්චරනම් සුන්දර ද? මේ හැම දෙයක් එක්ක ම මතක් වෙන අමතක නොවෙන දේකුත් තියෙනවා. මගෙ අම්මා යි තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ආගන්තුකයා ට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.



අපේ ගෙදර පිටිපස්සෙ තියෙන්නෙ රූමස්සල කන්ද. අපි ඒ කාලෙ ගල් වැඩපලක් කරා. මට මතකයි අම්මා මාත් එක්ක වත්ත පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. ඒකෙ වැඩකරපු අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ. දවසක් අම්මා මගේ නියපොතු කපන්න ගියා. මගේ ඇගිලි චූටිම චූටියි. අම්මාගෙ අතින් මගේ ඇගිල්ල කැපිලා ලේ ආවා. මට ඒක දැනුනෙවත් නෑ. ඒත් අම්මා ගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. ඒ ගල් වැඩපලේ මනුස්සයෙක් අලුත් විදිහකට ගල් කඩනවා කියලා ගිහින් ඇහැක් මොකද්ද කරගත්තා. අන්තිමට ඒක නිසාමද කොහෙද ප්‍රශ්න වගයක් ඇවිත් ඒක නතර උනා. ආම්පන්න එහෙම ගත්ත ගත්ත අය එහෙම්මම තියාගෙන. ඒත් වැඩපලේ වැඩකරපු, මට ආදරේ කරපු මිනිස්සු තාම මට කියන්නෙ "පුංචි මහත්තයා" කියලා.


මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ. අම්මා මාව තොටිල්ලේ කොච්චරනම් තියන්න හැදුවත් මම බිමටම පනිනවා ලු. පස්සෙ ලී කෝටු වගයක් ගහලා උසට හිටින්න. ඒකත් උඩින් පැනලා අන්තිමට අඩනවා ලු නෙ. අනේ මන්දා. පුංචිකමට. ඉස්සර තේ පෙනේරෙ අරගෙන හැම තැනම දුවනවා ලු. ස්ට්‍රෝ එකක් අරගෙන වතුර එකක ඔබාගෙන ඉන්නවා ලු මාලු බානවා කියලා. අනේ මන්දා. අම්මා මේවා කියනකොට ඒ කාලෙ කොච්චර ශෝක් ද කියලා හිතෙනවා.




දවසක් මම නිදාගෙන ඉන්න කොට ලොකු පත්තෑයෙක් ඇව්ත් මගේ කොට්ටෙ උඩටම. තාත්තා ඒක දැකපු පාර කොට්ටෙ ත් අරගෙන කාඹරෙන් එලියට පැන්නා ලු. ඒත් මෙච්චර ලෝං ජම්ප් කරලා තියෙන මට හිතාගන්න බෑ එච්චර දුරක් කොහොම පැන්නා ද කියලා. ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.


ආගන්තුකයා හිතන් හිටියෙ පේලියෙන් දෙකෙන් පුංචි කාලෙ ගැන ලියලා දාන්න. ඒත් කොහෙද... ඒ සුන්දර අතීතෙ කොච්චර ලිවුවත් ඉවර නැති පාටයි. තව ගොඩක් දෙවල් ගැන ලියන්න තියනවා. අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්. ආගන්තුකයා ලියලා තියන දේ මහ පිස්සු තොගයක් වෙන්න පුලුවං. ඒත් ඒ ආගන්තුකයා ට එහෙන් මෙහෙන් මතක් වෙච්ච විදියට ලියපු ආගන්තුකයා ගෙ අතීතෙ.

ආගන්තුකයා මේ ලියන විදිහ, මේකෙ තියන අඩුපාඩු පෙන්නනවානම් ආගන්තුකයායෙ ඉදිරියට කරන ලොකු උදවුවක්.

Friday, June 24, 2011

මිනිස්සු ඇත්තටම මොන වගේ ද?

මේ මට ඊයෙ වෙච්ච දෙයක්..

පෙරේදා මට උදේ ඉදන් 9 වෙනකන් පන්ති. බොහොම මහන්සියෙන් ගෙදර ඇවිත් 12 ට විතර නිදාගන්න ගියේ ඊයෙ දවසෙ තිබ්බ Primary English Day 2011 එකට අපිට Duty දීලා තිබ්බ නිසා.. උදේ පාන්දර කලබලෙන් වගේ ගෙදරින් එලිය‍ට බැහැලා Purse එක බෑග් එකේ දාගෙන ආවෙ පොතකුත් ගන්න තියන නිසා. මම පොතත් අරගෙන උඩට යනකොට Prefects ලා වගයක් පුටු අදිනවා පල්ලෙහා හෝල් එකට.. ඒක දැකපු මම මගේ පන්තියත් එතන තියන නිසා බෑග් එක පන්තියේම තියලා ගියා ඒ වැඩ වලට උදවු වෙන්න.. පුටු ඇදිදා.. පිත්තල පහන බ්‍රාසෝ කලා.. මල් වැල් හැදුවා.. ඒත් එක්කම Group Song එකේ Practice වලට ගියා.. පන්තියට ආවම දැනගන්න ලැබුනා ආයෙ ට්‍රිප් එක කැන්සල් කියලා.. හිත රිදිච්ච පාර එහෙම්මම Auditorium එකට ගියා.. ළමයි silence කරලා ඒ වැඩ ටික කරා.

ඔක්කොමත් කරලා හවස class යන්න card එක ගන්න බලනකොට Purse එක නෑ. මම හොදටම කලබල උනා. කරන්න කිසි දෙයක් නෑ. ට්‍රිප් එක යන්න කියලා ගෙනාව සල්ලි ඔක්කොම තිබුනෙ ඒකෙ. පන්ති වල කාඩ්ස්, මගේ ID එක, Debit Card එක, ඒ සේරම ඒකෙ.. මම ගිහින් වයිස් ප්‍රින්සිපල් සර් ට කිවුවා. මගෙන් සර් විස්තර අහලා ඇහුවා "පුතා දැන් යන පන්තියේ දි කාඩ් එක නැතුව ප්‍රශ්ණයක් උනොතින්.. මේක තියාගන්න.." කියලා ආයාසයෙන්ම රු 500 ක් දුන්නා. මට කරන්න දෙයක් නෑ. මම පන්තියට ගියපු ගමන් සර් ගෙ කතාව ඇත්ත කියලා මට තේරුනා. මාව නෝන්ඩි කරන්න ආව ටික්කා ව මට්ටු කරන්න මට පුලුවන් උනේ සර් මට කියපු දේවල් වලින්.

මම ඉස්කෝලේ ඉදන් තිග්මා එකට පුරුදු විදිහටම පයින් ගියා. ඒත් නුපුරුදු විදිහට තිග්මා එකේ ඉදන් හපුගල තිබ්බ ඊලග පන්තියට ත් පයින් ගියා.. ගොඩක් දුරයි. ඉස්කෝලෙ ඇදුම පිටින්මයි මම ඒ වෙනකොටත්. 5 හේ ඉදන් විනාඩි 35 ක් විතර යකකොට මම අනිත් පන්තියට ආවා. ඒ පන්තියත් ඉවර වෙලා ගෙදර ගියා. සිද්ධ වෙච්ච හැමදේම කිවුවා. අම්මා මට කියපු දෙයින් මගේ ඇස් දෙකත් තෙත් උනා..

"පුතේ, මම උදේ 3 ට නැගිටලා හැමෝටම කන්න උයලා මුලු දවස් ගානක් මැරිලා මැරිලා ඡන්ද වැඩ වලින් හම්බවෙච්ච සල්ලි තමයි මම පුතා ට දුන්නෙ"

මම ජීවිතේට විදලා නැති අමුතුම දුකක් ඇති උනා. මට මං ගැන කලකිරුනා.. මම කොච්චරනම් කාලකන්නියෙක් ද? මට මගේ පන්තිය ගැනත් පුදුම විදිහට දුකයි. ඇයි එහෙම දෙයක් උනේ. මම කවමදාවත් හිතුවෙ නෑ ඒ වගේ දෙයක් වෙයි කියලා.

මේ ආගන්තුකයා ට්‍රිප් එක යන්න නෙමෙයි හිටියේ.. අම්මලා දෙන්නෙක් වගේ ඉන්න අපේ පන්තියෙ මිස් නුයි අපේ chemistry මිස් නුයි මට බල කරපු නිසා යි මම යන්න තීරණය කරේ. අන්තිමට හැම දෙයක් ම ඉවරයි.

මම මහ කාලකන්නියෙක්.. දෙමවුපියන්ට එච්චර දුකක් දුන්න මමයි ආගන්තුකයා.