Saturday, December 31, 2011

අපේ අයත් ලියන්නයි ඉන්නේ A/L ලබන අවුරුද්දේ

මෙම වසරේ උසස් පෙළ විභාගය අවසන් වූ වහාම සියල්ලන්ගේ ම මුවින් නැගුනේ පෙර වර්ශ වලට සාපේක්ෂව ඉක්මනින්, විධිමත් ලෙස ප්‍රථිඵල නිකුත් කරන බවයි. නමුත් මෙයත් තවත් එක් ඡන්ද පොරෙන්දුවක් ආකාරයෙන්ම හැඩගැසී ඇති ආකාරය අප හට දිස් වූයේ පසුව යි. නමුත් එය එසේ තිබියදීත් අප විශ්වාස නොකළ අමුතු අන්දමේ ප්‍රශ්නයක් පැණනැගෙන ආකාරයක් පසුව දක්නට ලැබින. එය "Z" ළකුණ මත පදනම් වූවකි. නව විශය නිර්දේෂය හා පැරණි විශය නිර්දේෂය යන දෙකට "Z" ළකුණු 2ක් ලබා දී අවසානයේ ඒවා සමපාත කරගන්නේ කෙසේද යන්න යි. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම  "Z" ළකුණ පිළිබද තමාට ද නොතේරෙන බවයි. 


ඔහු එවැනි ප්‍රකාෂයක් කිරීමේදී උසස් පෙළ කරන සිසුන් හට මොනවා නම් සිතෙන්නට ඇත් ද? ගණිතය උසස් පෙළට හැදෑරුවෙක් ට නම් අනිවාර්යයෙන්ම "මූ වගේ එකෙක් ද අපේ උසස් අධ්‍යාපනේ ගැන බලන්න ඉන්නේ?" යයි කීම සාධාරණ ය. එසේ වන්නට හේතුව නම්, තමුන් ගේ වයස මෙන් තුන් ගුණයක් පමණ වයසැති, රටේ උසස් අධ්‍යාපනය ට වගකියන පුද්ගලයෙක්, තමුන් ද මැනවින් දන්නා, උසස් අධ්‍යාපන ප්‍රවේශයට මංපෙත් සලසන වැදගත්ම සමීකරණය නොදැනීම යි. 

බලධාරියෙක් යනු යම් දෙයක් නිසි පරිදි කිරීමෙහිලා මුල් තැන ගෙන කටයුතු කරන පුද්ගලයෙකි. නිසි දෙය අනිසි ලෙස සිදු කළ විට ගැරහුම් ලබන්නට සිදුවනු නොඅනුමාන ය. නමුත් එයට තමුන් ද වගකිවයුතු යැයි නිහතමානීව පවසා එය නිවැරදි කරනු වෙනුවට මොවුන් තමුන්ගේ නිරුවත වසා ගැනීමට තවත් ජනයා මංමුලා කිරීමට සැරසෙයි. විද්‍යා විශයධාරාවන් කළ අය ට කළා ප්‍රථිඵල ලැබීම හාස්‍යයට නොව භීතියට කරුණකි. එසේ තමුන් නොකළ විශයක ප්‍රතිඵල තමුන්ට ලැබේ නම්, තමුන් කළා යයි කියන විශයේ ප්‍රතිඵල තමාගේම ද යන්න ගැටළු සහගත විය හැකි ය. එක් සුළු අතපසුවීමකින් තමාට, තමාගේ ආනයට එහා ආසනයේ සිටි කෙනාගේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාව ඉහළ අගයක පවතින්නේ තමුන් නොකළ විශයධාරාවකින් තමුන්ගේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාවට වඩා එය ඉහල අගයක් ගන්නා බැවිනි. 

ඒ අතර තවත් කවුරුන්දෝ කියා සිටින්නේ එසේ ප්‍රතිඵල ලැබූවන් සියල්ල ඇතුලත් කර තිබෙන්නේ GIT විභාග අංකය බවයි. මෙම ප්‍රකාෂයේ බරපතල කම මෙපමණක් යයි කිව නොහැක. පළමු කරුණ නම් තම ජීවිතයේ වැදගත්ම විභාගයෙහි ප්‍රතිඵල ලබාගැනීමට සිසුවෙක් වැරදි විභාග අංකයක් භාවිතා කරන්නේ යයි පැවසීමෙහි ගම්‍ය වී ඇත්තේ උ.පෙළ කරන සිසුන් ද තමුන් වන් ම බත් කන බූරුවන් රොත්තක් යයි බලධරයින් විසින් සිතා සිටීම යි. අනෙක නම් බූරුවන් තප්පුලද්දී ඉන්නා යමක් කමක් තේරෙන බුද්ධිමතුන් යයි කියාගන්නා පිරිස කරබාගෙන සිටීම යි. අනෙක නම් GIT විභාග අංකය ඇතුල් කළ විට ලැබිය යුත්තේ "
මෙය වුවත් වෙනත් ප්‍රතිඵලයක් ලැබීම හාස්‍යයට කරුණක් යයි තේරුම් ගැනීමට තරම් අපේ අධ්‍යාපනය ගැන හිතන ලොකු පුටු වල ලොක්කන්ට නොතේරීම යි.
මේ සියල්ලම අස්සේ ළමුන්ට කුමක් සිදුවන්නේ ද යන්න එක බලධාරියෙක් වත් නොසිතන්නට ඇත. තමුන් උදෑසන ඉන්ජිනේරුවෙක්, දොස්තර කෙනෙක් යයි තමුන්ට හැබෑකරදුන් සිහිනය සවස් වෙද්දී වෙනස් වීමෙහි ඇති බලපෑම තේ‍රෙන්නට නම් ඒ අය ද ඡන්දයේ ප්‍රථිඵල වලින් තමුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් යයි වරෙක පවසා පසුව එය එසේ නොවන බව පැවසීම ම කළ යුතු වේ. එවිට ඔවුන් මිණී මරාගන්නට පෙළඹෙනු ඇත. එය නොඅනුමාන ය. නමුත් ජීවිතයේ වැදගත්ම ප්‍රථිඵලයක් වැරැද්දීම, ලෝකයම පිලිගන්නා අපේ උසස් පෙළ හාස්‍යයට ලක් කිරීම, එ‍සේ කර ඒ වැරදි වසාගන්නට මතක් වෙන හැම බොරුවම කියා ජනතාව මුලා කිරීමේ හාස්‍යජනක උත්සාහයක නිරත වීම, විභාගයක් කරන්නට පෙර සිතිය යුතු දෑ පසුව සිතන්නට ගොස් ළමුන් මෙපමණ පීඩනයකට පත් කිරීම කොතරම් සදාචාරසම්පන්නද? සාමාන්‍ය වායුගෝපීය පීඩනය 1x10^5 Pa වන විශාල පීඩනය මිනිස් සිරුර ට දරාගත හැකි වුවද මනසට, සිතිවිලි වලට එල්ල කරන මෙම පීඩනය මිනිසෙක් ට විශේෂයෙන්ම ළමයෙකු ට දරාගන්නට නොහැකි වන්නට පුළුවන. 


අපේ යහළුවන් ලබන වසරේ උසස් පෙල කරන්නට සිටී. ඔවුන් හට මොනවා සිතෙනවා ඇත් ද? ලබන වසරේ ද මෙවන් ම "Z" ළකුණ පිළිබද ප්‍රශ්නයක් සිදු නොවන බවට ඇති සහතිකය කුමක් ද? වැරදි අංක ඇතුල් කළ විට පමණක් වැරදි ප්‍රතිඵල ලැබෙන්නේ යයි පවසා තමුන්ගේ වැරදි වසා ගන්නා  පිරිසකගෙන් තමාගේ නිවැරදි ප්‍රථිඵලය ලැබෙන බවට ඇති සහතිකය කුමක් ද? මේ සියල්ලෙන් විනාශ වී යන්නේ කෙනෙක් ගේ අනාගතයක් යයි මොවුන් තේරුම් ගන්නේ කවදා ද? 

2 comments:

  1. මේ වගේ දේවල් සිද්ධ වෙච්ච පලවෙනිම අවස්ථාව මේක නම් නෙමෙඋඉ. ඔයිට කලින් 2005දී (මතක විදිහට) උනා. ආයෙම නොවෙයි කියලා හිතන්නවත් අමාරුයි.

    ReplyDelete
  2. අනේ මන්දා අයියේ.. ඇයි ඇත්තටම මෙහෙම ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....